හෝටලයයි – ක්‍රීඩා පිටියයි අතර දුර විනාඩි 100යි – ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දොස් කියති

278

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ මුහුණ දෙන ප්‍රධාන තරග දෙකෙන් දෙවැනි තරගය අද (08 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගයයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලැබුවේ නම් තරගාවලියේ ඉදිරිය පිළිබඳ හොඳ ලකුණකි. එහෙත් ශ්‍රී ලංකාව ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ නම් ලැබුවේ නින්දා සහගත පරාජයකි. එමෙන්ම එය අමතක නොකළ හැකි පරාජයකි. ශ්‍රී ලංකාවේ සියල්ලෝ ලකුණු 77 කට දැවී ගොස් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ලියැවිණි. එසේ දකුණු අප්‍රිකාව එදා ලැබුවේ ශ්‍රී ලංකාවට එරෙහි අඛන්ඩ 07 වැනි පන්දු වාර 20-20 තරග ජයග්‍රහණයයි. එම ජයග්‍රහණ සංඛ්‍යාව ඕනෑම රටක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව අඛණ්ඩව ලැබූ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව වේ.

ශ්‍රී ලංකාව 2014 වසරේ මේ තරග අංශයේ ලෝක ශූරයෝ වෙති. එමෙන්ම ලෝක කුසලාන තරගවල වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව එනම් ජයග්‍රහණ තිස් එකක් ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී ඇත. එහෙත් අවාසනාවක මහත නම් 2014 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක පිළුමලුන් පිටුදැකීමේ තරග වටයකට සුදුසුකම් ලබා නොමැත. මෙවරද ශ්‍රී ලංකාව හමුවේ එම අභියෝගය ඇත. කෙසේ වුවද ඇරඹුම දැන් වැරදී ඇත. දකුණු අප්‍රිකාව හිතුවටත් වඩා දරුණු වූයේය. ඊටත් වඩා නිව්යෝර්ක් තණතීරුව ප්‍රචණ්ඩ වූ අතර සියල්ලට නොදෙවෙනි හිතුවක්කාර පිතිහරඹයක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පරාජය ගෙලෙහි පැළඳ ගත්හ. එම නිව්යෝර්ක් තණතීරුව මතු නොව තරගාවලියේ සෑම තැනම ශ්‍රී ලංකාවට හිමි වූයේ කුඩම්මාගේ සැලකිලි බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අදහස වෙයි. කොටින්ම ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන තරග කාලසටහන සම්බන්ධයෙන් ද පවතින්නේ ප්‍රශංසනීය හැඟීමක් නොවේ. ඊට හේතු වී ඇත්තේ තරගාවලියේ මූලික වටයේදී සහභාගිවන තරග 4 ක්‍රීඩාංගණය 4 කදී ක්‍රීඩා කිරීමට සිදුව ඇති කණ්ඩයාම් දෙකෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබීමය. කණ්ඩායම් 20 ක් ලෙස වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වදින ලෝක කුසලාන තරගාවලිය මෙය වේ. ඒ අනුව කණ්ඩායම් 20 කින් එලෙස අගතියට පත්ව ඇති එක් කණ්ඩායමක් ශ්‍රී ලංකාව වේ. සෙසු කණ්ඩායම නෙදර්ලන්තය වන අතර ඉතිරි කණ්ඩායම් සියල්ලටම ඔවුන්ගේ මූලික වටයේ තරග 4 න් 2 ක් හෝ එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ.

මේ අතර ඉන්දියාවට, දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට ඔවුන් ක්‍රීඩා කරන මූලික වටයේ තරග 4 න් 3 බැගින් එකම ක්‍රීඩාංගණයකදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි සංවිධායකයන් තරග කාලසටහන සකසා තිබීම කැපී පෙනෙන සිදුවීමකි. එක තැනකට හුරු වූ විට එය වාසියකි. එසේ නොවුණහොත් එහි අනෙක් පැත්ත ඉහළට පැමිණේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් ගමන්වල සිට දැඩි ප්‍රමාදයක් ඇති විය.

පුහුණු තරග සඳහා ෆ්ලෝරීඩා ප්‍රාන්තය වෙත ගොස් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු තරගයට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණියේ පැය ගණනක ගුවන් යානා ප්‍රමාදයකින්ද පසුවය. එපමණක් නොව නිව්යෝක්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවාතැන් ගැනීම සඳහා වෙන්කර තිබූ හෝටලය, ක්‍රීඩාංගණයේ සිට පැයකුත් විනාඩි 40 ක පමණ දුරකින් පිහිටා තිබූ බවද තවත් චෝදනාවකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයට පෙර නිව්යෝක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තිබූ පුහුණු සැසි දෙකෙන් එකක් අවලංගු කර දැමීමටද සිදුවිය.

“අපිට මූලික වටයේ තරග තියෙන්නෙ ක්‍රීඩාංගණ හතරක. ඒ නිසා අපිට හැමදාම තරගයෙන් පස්සෙ වෙනත් තැනකට පිටත්ව යන්න වෙනවා. එය හරිම අපහසුයි, වෙහෙසකාරී. අපිට ෆ්ලෝරිඩාවල මියාමි ගුවන් තොටුපළෙත් පැය අටක් පමණ රැඳී සිටීමට සිදු වුණා. අපි එහෙන් පිටත් වීමට නියමිතව තිබුණේ රාත්‍රී 8.00 ට, නමුත් අපිට ගුවන් යානය ලැබුණේ උදේ 5.00 ට. ඒක ඇත්තටම අපිට වුණ ලොකු අසාධාරණයක්. ඒත් ක්‍රීඩා කරන විට ඒක අදාළ නැහැ.”

“එකම ස්ථානයේ නැවතිලා ඉන්න අවස්ථාව ලැබිලා තියෙන කණ්ඩායම්වල නම් කියන්න මට බැහැ, ඒත් ඔවුන්ගේ හෝටල් ක්‍රීඩාංගණවලට විනාඩි 15 ක පමණ දුරකින්. අපේ හෝටලයට ක්‍රීඩාංගණයෙ ඉඳන් පැයකුත්, විනාඩි 40 ක් වගේ යන්න තියෙනවා. ඒ නිසා දකුණු අප්‍රිකානු තරගය තිබුණේ උදේ 10.30 වුණත් අපිට පාන්දර 5.00 ට විතර හෝටලයෙන් එන්න වුණා යැයි සිය කණ්ඩායම නිව්යෝක් නුවරට පැමිණීමේදී සහ පැමිණි පසු මුහුණදුන් අසීරුතාවන් ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් කියා සිටියේය.

මූලික වටයේ තරග විවිධ ක්‍රීඩාංගණවලදී ක්‍රීඩා කිරීමෙන් ශ්‍රී ලංකාවට එම ක්‍රීඩාංගණවල තණතීරු හැසිරෙන ආකාරය දැන ගැනීමට හෝ තක්සේරු කිරීමට ඇති අවස්ථාව අහිමි වේ.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝක් ක්‍රීඩාංගණය පිළිබඳව යම් වැටහීමක් ඇතත් බංග්ලාදේශයට එරෙහිව ඊයේ තරග වැදීමට සිදුව තිබුණේ ඩලස් ක්‍රීඩාංගණයේදී වන අතර එම ක්‍රීඩාංගණයේදී පිළිබඳව ද ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු පූර්ව නිගමනයකට පැමිණීමට නොහැකි වී තිබේ. ඔවුන්ට යම් තරමක හෝ අවබෝධයක් සහ අත්දැකීමක් ඇත්නම් ඒ පෙරහුරු තරග දෙක ක්‍රීඩා කළ ෆ්ලෝරීඩා ක්‍රීඩාංගණය පිළිබඳව පමණි.

“අපේ තරග හතර තියෙන්නෙ ක්‍රීඩාංගණ හතරක. ඒක හරිම අමාරුයි. අපි මේ ක්‍රීඩාංගණවල තත්ත්වයන් ගැන කලින් දැනන් හිටියේ නෑ. අපි නිව්යෝක්වලදී ක්‍රීඩා කරපු පළමු තරගය එයයි. මීළඟ තරගය තියන ඩලස් තණතීරුවත් අපිට අලුත්. තුන්වැනි තරගය තියෙන ෆ්ලොරිඩාවල නම් අපි පෙරහුරු තරග දෙකක් ක්‍රීඩා කළා. ඒක තමයි අපිට තියෙන එකම ධනාත්මක ලකුණ. ඒත් සමහර කණ්ඩායම් ඔවුන්ගේ මූලික වටයේ තරග 2 ක් නැත්නම් 3 ක් එකම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්න ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහරු ඔවුන්ගේ පෙරහුරු තරග ක්‍රීඩා කළෙත් ඒ ක්‍රීඩාංගණවලදීමයි. ඒක ඔවුන්ට ලොකු වාසියක්.” එම ක්‍රීඩකයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග ද පළමු තරගයේ පරාජයෙන් පසුව මේ බව ප්‍රකාශ කර තිබුණි.

“අපට එය පැවසිය නොහැකියි. නමුත් විශේෂයෙන්ම පසුගිය දින කීපය තුළ අපට දුෂ්කර කාල තිබුණා. අපි තවමත් උදේ පැය එකහමාරක් ගමන් කරනවා. අපගේ පළමු වටයේ තරග හතරක් ස්ථාන හතරක තමයි තිබෙන්නේ. එය දුෂ්කරයි. අපි අපට ලැබෙන කඩුලු ගැන දන්නේ නෑ. මෙය නිව්යෝර්ක්හි අපේ පළමු තරගය යි. අපට ඊළඟ තරගය තිබෙන්නේ ඩලස්වල. අපට ෆ්ලොරිඩාවේ පුහුණුවීම් තරග දෙකක් ක්‍රීඩා කරනවා, ඒක තමයි අපිට තියෙන එකම ප්ලස් පොයින්ට් එක.”

තරගාවලියේ දී ලැබුණු ක්‍රීඩාංගණ සහ අනෙක් පහසුකම් පිළිබඳව වනිඳු අදහස් දැක්වූයේ එසේය. කෙසේ වුවද පළමු තරග පරාජයෙන් පසුව ශ්‍රී ලංකාව තීරණාත්මක අදියරකට අඩිය තැබීය. දැන් තවත් පරදින්නට පුළුවන් කමක් ශ්‍රී ලංකාවට නොවේ. අද ඩලස් හි පැවත්වෙන දෙවැනි තරගය සහ ඉන් පසුව ලබන 11 වැනිදා පැවැත්වෙන නේපාල තරගයද ශ්‍රී ලංකාව ජය ගත යුතු වේ. 16 වැනිදා පැවැත්වෙන මූලික වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව සඳහා ශාන්ත ලුසියා හිදී ද ජයග්‍රහණය ලැබිය යුතුය. මේ එක් තරගයක් හෝ පරාජය වුවහොත් සෙසු කණ්ඩායම් දිනන පරදින දෙස පසෙකට වී බලා සිටීමට සිදු වේ. මන්ද සුපිරි 8 වටයට මූලික වටයෙන් සුදුසුකම් ලබන්නේ හොඳම දක්ෂතාවන් පෙන්නුම් කළ කණ්ඩායම් දෙක පමණක් නිසාය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment