හෝමාගම සහ ගල්කිස්ස අනතුරු දෙකකින් කාන්තාවෝ දෙදෙනෙක් මියයති

458

හෝමාගම සහ ගල්කිස්ස යන ප්‍රදේශවලදී සිදුවූ රිය අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත් වී ඇතැයි පොලිසිය කියයි.

එක් අනතුරක් සිදුවී තිබුණේ පෙරේදා (10 දා) සවස හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදීය. මෙහිදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු හෝමාගම දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක හැපී තිබේ. අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේදී එක් කාන්තාවක මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ උඩවලව, වලවේගම පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාවකි. අනෙක් කාන්තාව බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් වෑන්රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි. අනෙක් අනතුර සිදුවී තිබුණේ ගල්කිස්ස, අත්තිඩිය මාර්ගයේදීය.

පෙරේදා (10 දා) රාත්‍රි බෙල්ලන්තර දෙස සිට අත්තිඩිය බේකරිය හන්දිය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියකට මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක හැපී මියගොස් තිබේ. 71 හැවිරිදි කාන්තාව අත්තිඩිය, කව්ඩාන පාරේ පදිංචිකාරියකි. අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳ ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment