‘ෆර්දාව පැලඳ විභාග ලියූ සිසුවියන්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීම මානව අයිතීන්ට කළ නිගරුවක් – කලිලුර් රහ්මාන්

46

විභාග ශාලාවේ කන් වසාගෙන තම සාම්ප්‍රදායික හිස් වැසුම ෆර්දාව පැලඳ විභාග ලිවීම චෝදනාවක් කොට ගනිමින් විභාග ප්‍රතිඵල අත්හිටුවීමට විභාග බලධාරීන් කටයුතු කිරීම ඔවුනගේ මානව අයිතිවාසිකම්වලට අත තබා ‘බෙදුම්වාදී ආකල්ප ඉස්මතු කිරීමේ ඛේදනීය උත්සාහයක් බව ජනාධිපති කාර්ය සාධක බළකායේ හිටපු සාමාජික හිටපු කොළඹ නාගරික මන්ත්‍රි එක්සත් සාම සන්ධානයේ කලීලුර් රහ්මාන් මහතා නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

ත්‍රිකුණාමලය සහිරා විදුහලේ ඉකුත්දා සිදුව ඇති සිදුවීම ගැන නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ. මුස්ලිම් දැරිවියන් විභාග ශාලාවේ කන් වසාගෙන විභාග ලිවීම නොහොත් තමන්ගේ සම්ප්‍රදායික හිස්වැසුම නම් ෆර්දාව පැලැඳ විභාගයට ලියූවැයි චෝදනාව ගොනු කරමින් මෙම ප්‍රතිඵල අත්හිටුවීම කර ඇත. මෙලෙස සිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩදිය නොහැක. විභාග ශාලාව තුළට සිසුන් ඇතුළත් කරනුයේ අනන්‍යතාව ඇතුළු සියලු පරීක්ෂා කිරීම්වලින් අනතුරුව නම් විභාග ප්‍රතිඵල අත්හිටුවීමට හේතුව කුමක්ද?

දරුවන් නවීන තාක්ෂණය භාවිතා කරමින් එනම්, කන් තුළ තාක්ෂණික අංගඋපාංග භාවිතාවක් සිදු කරනවා යැයි සැකයක් පැවතියේ නම් සිදුකළ යුතුව තිබුණේ විභාග ශාලාව තුළදීම නැවත දැඩි පරීක්ෂාවක් සිදුකර සැකය දුරු කිරීමයි. එසේ සැකය දුරු නොකට දරුවන්ගේ සමස්ත ප්‍රතිඵලය අත්හිටුවීම යනු සාධාරණ ක්‍රමවේදයක් නොවේ. එය මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි. විභාග ශාලාව තුළදී ක්ෂණිකව විසඳිය හැකි මෙම ප්‍රශ්නය ප්‍රතිඵල අත්හිටුවීමට තරම් බලධාරීන් මෙය රළු කිරීම අධ්‍යාපනික වෘත්තිකත්වය හෑල්ලු කිරීමකි. එකම භාෂාව කතා කරන සහෝදර ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම්වලට සහෝදරත්වයේ මෙවැනි බිහිසුණු ඇඟිලි ගැසීම සෞඛ්‍ය සම්පන්න නොවේ.

නැති ප්‍රශ්න අවුලවා ඒවා තුළින් නව දේශපාලන සටන් පාඨ නිර්මාණය කර සමාජය භේදභින්න කිරීමට දරන උත්සාහය සියලු මානව වාදීන් එක්ව පරාජය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment