ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජාතික තෛපොංගල් උත්සවයේ කියයි
සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනාට එකට ජීවත්වන රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමිසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (15දා) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.
නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛපොංගල් උත්සවයට එක් විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී,
ආගම්වාදී සහ බංකොළොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ. අපි සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා අපි නැවත
ගමන් කළයුතුයි.
උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා කිව්වේ අපි මේ රට එකට එක් කරන්න වැඩකරමු. සංහිඳියාව යළි ඇතිකරමු කියලා. මම පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මම පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.
මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහල විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. ඒකයි පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබාගැනීම සිදු කරන්නේ. අපි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරදන්වුවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දෙන්න, සත්‍ය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.
ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි නව නීතියක්
ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. එහෙම නෙවයි, අපි මේක යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මේක දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අපි නව නීති ගේනවා.
ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා. අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමැතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වසර දෙකේදී අපි මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු. අද දිළිඳුකම, බඩගින්න, විරුකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අපි සියලුදෙනා දුක් විඳිනවා. අපි සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කුලසිංහම් තිලීපන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, උතුරු පළාත් පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු උත්සවයට එක්ව සිටියහ.