53 හර්තාලය

324

(1953 හර්තාලයට අදට වසරක් පිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

සැබවින්ම 1953 හර්තාලයේ සැබෑ පළමු වෙඩි මුරය අගොස්තු 10 දින නිකුත් කිරීමේ ගෞරවය හිමිවන්නේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ ස්ත්‍රීන්ටය. හරියටම සටන ඇරඹී තිබුණේ රන්දොඹේ ඔලගමට හැරෙන හංදියෙනි. එවකට එගම ලංකා සම සමාජ පක්ෂ ශාඛා සමිතියේ සභාපති වූයේ විදුහල්පති වී.සී.මාදූවගේය. ලේකම් සිරිල් වික්‍රමසේකරය. හර්තාලයේ ප්‍රාදේශීය කැඳවුම්කරුවන් වූ මොවුන් විසින් උපක්‍රමශීලීව ගමේ හාල් තුනපහ ගන්නා සමුපකාරයේ රාත්‍රී කාලයේදී දැන්වීමක් අලවා තිබුණේය. එයින් කියැවුණේ අය-වැයෙන් හාල් සේරුවක මිල ශත 70 දක්වා වැඩිකර ඇති බවය. කොහු කර්මාන්තය එකම ආදායම් මාර්ගය කරගත් කාන්තාවන් මේ ආරංචියෙන් කලබල වී ශත 25ට ලබා දුන් හාල් ශත 70ට ගන්නේ කොහොමද යන්න ප්‍රශ්න කරමින් සමුපකාරය වට කර කෑ කෝ ගසන්නට වූහ.

1953 අගෝස්තු 12

පැරණි වාමාංශික දේශපාලන පක්ෂ විසින් ප්‍රථම වරට මෙහෙයවන ලද ලංකා ඉතිහාසයේ තීරණාත්මක මහජන නැඟිටීමක් වශයෙන් සලකනු ලබන 1953 අගෝස්තු 12 හර්තාලයට බලපාන ලද මූලික හේතුන් පළමුව විමසා බැලීම වැදගත් වේ.

අගමැති ඩී.ඇස්. සේනානායකගේ (1884-1952) අභාවයත් සමගම 1952 අප්‍රියෙල් 8 දින පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණය මැයි මස 24, 26, 28, 30 යන දිනයන්හිදී පැවැත්වීමට තීරණය කර තිබිණි. එකී මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් 81දෙනෙකු ජන්ද 1,026,005ක් (44.08%) ලබා ආසන 54ක බලය හිමිකර ගෙන ඩඩ්ලි සේනානායක යටතේ නව ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය. මේ අන්දමින් එජාපයට විශිෂ්ට ජයක් හිමිවෙද්දි විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 48ක් තරග කර අපේක්ෂකයන් 9 දෙනෙකු ජයග්‍රහණය කරනු ලැබුවේ ඡන්ද 361,250ක් (15.52%) ලබා ගනිමිනි. එසේම ලංකා සමාජ පක්ෂය ආසන 9ක් දිනා ඡන්ද 305,133ක් (13.11%) ලබා ගත්හ. එයට අමතරව කොමියුනිස්ට් විප්ලවකාරී සම සමාජ පෙරමුණ ආසන 4ක් ජයග්‍රහණය කර ඡන්ද 1,34,528ක් (05.78% ) ද, (ද්‍රවිඩ සංගමය හෙවත් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය ආසන 4ක් දිනා ඡන්ද 64512ක් (02.77%) ද ලබා ගනු ලැබීය. පෙඩරල් පක්ෂය හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය ආසන 2ක් දිනා ඡන්ද 45331ක් (01.95%) ද ලබා ගනිද්දී අමතරව ඒ.ඊ. ගුණසිංහගේ ලංකා කම්කරු පක්ෂය ඡන්ද 27096ක් (01.42%) ගෙන එක් අසුනකට හිමිකම් කියද්දී ඡන්ද 326,783ක් (14.04%) ලබා ගෙන ස්වාධීන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පත්වූහ. ( Result of Parliamentary General Election 1952 (PDF) Department of Elections, Sri Lanka. Archived from the original (PDF) on 24 september 2015)

මේ අන්දමින් බලයට පත්වූ අගමැති ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව 1952 ජුනි මස 19 දින 14 දෙනෙකුගෙන් යුත් කැබිනට්ටුවක් පත් කර ගනු ලැබූවද වැඩිකල් යන්නට පෙර එනම් තෙමසක් යන්නට පෙර දැඩි ආර්ථික අර්බුදයක් ඇති වන්නට විය. 1951 රුපියල් මිලියන 345ක් වූ වෙළෙඳ අතිරික්තය 1953 රුපියල් මිලියන 200ක හිඟයක් බවට පත්වේ. සාමාන්‍යයෙන් රටක වෙළඳ හිඟයක් ඇති වන්නේ සියලු ආනයන වටිනාකම් සියලු අපනයන වටිනාකම් ඉක්මවා ගිය විටකදීය. එමෙන්ම වෙළඳ ශේෂය යන්නෙන් අදහස් කරනුයේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ රටක ආනයන හා අපනයනය පිළිබඳ වාර්තාවය. එය භාණ්ඩයේ ශේෂය ලෙස ද හැඳින්වේ. මේ තත්ත්වය තුළ රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ගොදුරුව සමාජ අර්බුදයක් හට ගත්තේය. ඒ සමගම ඩඩ්ලි සේනානායකගේ සහකරුවා මෙන්ම තරගකරුවාද වූ ජෝන් ලයනල් කොතලාවල 1952 එජාපය ලැබූ පාර්ලිමේන්තු ජයග්‍රහණය වංචාසහගතව හිමිකර ගත් එකක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද කර තිබුණේය. ඊට හේතු වී තිබුණේ ඒ වනවිට එජාපය රටේ නියම ආර්ථික තත්ත්වයත් පාලනයේ මුදල් ශක්තියත් ජනතාවගෙන් සඟවා තබමින් ඉෂ්ට කළ නොහැකි බොරු පොරොන්දු රාශියක් සිය පූර්ව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ජනතාවට ලබා දී තිබු නිසාය. තවද, එජාපයේ නිල පුවත්පත වූ ‘සියරට පත්‍රය’ විසින් මේ ආණ්ඩුව තිබෙන තුරු හාල් සේරුව ශත 25 යි යනුවෙන් පෙර මෙන්ම පසුව ද පළකර තිබුණේය.

මේ අනුව අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස් කළ හැකි අන්දමේ ඡන්ද සංඛ්‍යාවක් ඩඩ්ලි සේනානායක ආණ්ඩුව සතු වී තිබුණේය. මේ හමුවේ ඩඩ්ලි සේනානායක පාලනය බිඳහෙළිය නොහැකි මට්ටමේ ශක්තිමත් එකක් බවට පත් වී තිබුණේය.

බලයට පත් එජාපය ජනතාවට දුන් පොරොන්දු කඩ කළ ආකාරය පළල්ව මහජනතාවට පෙන්වූ මුල් අවස්ථාව උදා වූයේ 1952 සැප්තැම්බර් මස සීනි රාත්තල ශත 15කින් වැඩි කිරීමත් සමගය. සති දෙකක් තුළ මේ ක්‍රියාවට එරෙහිව යෝධ පෙත්සමකට අත්සන් 70,000ක් ලංකා සම සමාජ පක්ෂය එකතු කළේය.

1953 ජුලි මස 7 වැනිදා අගමැති ඩඩ්ලි සේනානායක පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පවත්වමින් පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ජනතා සහන කප්පාදු කිරීමට සිදුවන බව ප්‍රකාශයට පත් කළේය. එසේම 1953 ජුලි 7 පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි (1887 -1971) ප්‍රකාශ කළේ ශත 25ක් වූ හාල් සේරුව ශත 70 දක්වා වැඩිකරන බවත්, පාසල් ළමුන්ට ලබා දෙන දිවා ආහාර වේල ලබන පාසල් වාරයේ මුල සිට නොලැබෙන බවය. අග්‍රාණ්ඩුකාරවරයාගේ මේ ප්‍රකාශය සනාථ කරමින් 1953 ජුලි 23 වන දින මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අය – වැය යෝජනාවලින් දරුවන් පවා එජාප ප්‍රතිපත්තියට ගොදුරු කර ගනිමින් කිරි සහ බනිස්වලින් යුත් පාසල් දිවා ආහාරය අහෝසි කළේය. මෙම දිවා ආහාර වේල කප්පාදුව පාසල් ළමුන් 75,000කට පමණ බලපාන්නට විය. ඉන් නොනැවතුණු රජය ශත 25ට තිබූ හාල් සේරුව ශත 70 දක්වා වැඩි කළේය. අනාථ ආධාර දීමනාවද අඩු කළේය. දුම්රිය හා තැපැල් ගාස්තු සහ දුරකථන ඇමතුම් ගාස්තු වැඩි කිරීමට ද පියවර ගනිමින් රෙදි මිල හා අඩු මිලට තිබූ සිගරට් මිලද ඉහළ දැමීය.

මේ අන්දමින් ලෝක බැංකුවේ උපදෙස් මත ප්‍රථම අය-වැය යෝජනාවලියෙන් ජනතා සහනාධාර විශාල වශයෙන් කප්පාදුවට ලක් වෙද්දි මෙරටට පැමිණ සිටි ලෝක බැංකුවේ නියෝජිත පිරිසේ නායක ශ්‍රීමත් සිඩ්නි කේන් ( Sir Sydney Caine, 1902-1991) විසින් අය-වැය යෝජනා නිර්භීතව පිළියෙල කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ සමගම මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන අය-වැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී කියා සිටියේ මෙම සහන ඉවත් කළේ ලෝක බැංකු උපදෙස් මත බවය. මේ මිල වැඩිවීම් ඍජුවම ලංකාවේ කම්කරු පංතියට බලපෑවේය. හාල් මිල වැඩිකිරීමට එරෙහි ජනතා විරෝධය කුලු ගැන්වුණු අතර මොරටුව හා වාද්දුව නගර සභා හාල් මිල වැඩි කිරීමට එරෙහිව යෝජනා සම්මත කර ගත්තේය. 1953 ජුලි 18 යාපන නගරයේ මහජන විරෝධතා රැස්වීමක් පැවති අතර එහිදී ශත 25කට වත් හාල් සේරුව මිලදී ගත නොහැකි ජනතාවක් යාපනයේ සිටින බව ප්‍රකාශ විය.

මේ හර්තාලය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණය ගනු ලැබුවේ ලංකා කම්කරු සමිති සම්මේලනයේ මෙහෙය වීමෙන් 1953 ජුලි 20 දින පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සාකච්ඡාවේදීය. ඒ අනුව එජාප ආණ්ඩුවේ උක්ත ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට විරෝධය දක්වමින් එක් දින සංකේත වර්ජනයක් රට පුරා පැවැත්වීමට තීරණය කරන ලදි. ඊට පෙරහුරුවක් වශයෙන් 1953 ජුලි 21 කොළඹ වරාය කම්කරුවන් දහස් ගණනක් එකතුවී පැය තුනක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරමින් හර්තාලයේ පූර්ව වෙඩි මුරය නිකුත් කළේය. ඊට සමගාමීව කොළඹ වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවන් වරුවක වැඩ වැරුමක නිරත වෙද්දි රත්මලාන දුම්රිය කම්කරුවෝ ද එදිනම සිය කාර්යාලය වටලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

විශේෂයෙන් එජාප ආණ්ඩුවට එරෙහිව ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කර තිබූ අත්සන් හැත්තෑ පන්දහස පෙත්සම පෑලියගොඩ තරුණ සංගමය විසින් ප්‍රදේශයේ මන්ත්‍රීට භාර දීමට ද එදින කටයුතු කර තිබුණේය. ඒ සමගම එදා ආණ්ඩුවේ ජනමාධ්‍ය මෙම උද්ඝෝෂණයන් රාජ්‍ය විරෝධී කඩාකප්පල්කාරී ක්‍රියා වශයෙන් හඳුන්වා දුන්හ.

එමෙන්ම අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජුලි 23 දින ගාලු මුවදොර පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිට විරෝධතා රැලියක් සංවිධානය කොට තිබුණි. ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ඒකාබද්ධව ඇරඹි රැස්වීමට 50,000කට අධික විශාල ජන පිරිසක් සහභාගී වී සිටියහ. පොලීසිය එයට බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. රැස්වීම් පැවැත්වෙන අතරතුර ගෝල්ෆේස් පිටියට කඩා වැදි පාබළ හා අශ්වාරෝහක පොලිස් භටයෝ සහභාගීත්ව ජන සෙනඟට දිගට හරහට අමානුෂික අන්දමින් පහර දුන්හ. මේ ප්‍රහාර කෙතරම් ම්ලේච්ඡ හා ප්‍රචණ්ඩ වී ද කියතොත් ඇතැමුන් බේරේ වැවට පැන දිවි බේරා ගත්හ. එහෙත් නැවත ගැහැනු හා පිරිමි ගෝල්ෆේස් කරා පැමිණෙන්නට වූයේ ගල් අතට ගෙනය.

ඉන් බියට පත් වූ පොලීසිය කඳුළු ගෑස් හා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේය. ලංකා සමාජ පක්ෂයේ නායකයින් වූ කොල්වින් ආර්. ද සිල්වා, එඩ්මන්ඩ් සමරක්කොඩි හා බාලා තම්පෝ මැදිහත්ව තරමක් දුරට තත්ත්වය සමථයකට ගෙන ඒමට සමත් වූහ. මේ අතර රැස්වීම ඇමතූ ලංකා සමාජ පක්ෂ නායක ඇන්. ඇම්. පෙරේරා විසින් ලාභයට සහල් ගැනීම පිළිබඳව අරගලයේදී ගන්නා පියවර විස්තර කළේය. එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අය- වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස ද බල කළේය. කෙසේ නමුත් රැස්වීම අවසාන භාගයේ නැවතත් ජනතාව හා පොලිසිය අතර ගැටුම් ඇතිවූ විට 50,000ක පමණ පිරිසක් පාර්ලිමේන්තුව වැටලූ බව කියමින් පොලිසිය සිය උපරිම බලය යොදවමින් පිරිස පලවා හැරීමට කටයුතු කරන ලදි.

53 හර්තාලය

මේ අතර අය-වැය යෝජනා අගෝස්තු 7 දින පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන වැඩි ඡන්ද 23කින් දෙවන වර කියවා සම්මත කළේය.

හර්තාලය අගෝස්තු 12 උච්චස්ථානයට පත් වීමත් සමග ආණ්ඩුව විසින් ආරක්ෂාව සඳහා විශේෂ සංචාරක පොලිස් බල ඇණි 500කට අධික ගණනක් කැඳවනු ලැබීය. මේ තත්ත්වය හමුවේ බස්නාහිර, නිරිතදිග පළාත්වල හා ඇතැම් මුහුදුබඩ පළාත්වල හර්තාලය දැඩි සටන්කාමී ස්වභාවයක් ගෙන තිබුණේය.

මේ තත්ත්වය තුළ නිතැතින්ම රජයේ නීතිය හා බලය අතර ජනතා ඝට්ටනයක් නිර්මාණය වන්නට විය. ඒ තුළ රටේ නීතිය හා බලය යන ද්විත්වය අවඥාවට ලක්වීම නොවැළැක්විය හැකි වූවක් බවට පත්වී තිබුණි. අගෝස්තු 12 දින පෙරවරු 8 පමණ වනවිට විශාල වශයෙන් තරුණ පිරිස් කොළඹ පිටකොටුව ප්‍රදේශයට ඒකරාශි වන්නට වූහ. නමුත් ඔවුනට හර්තාලය පිළිබඳව හරිහමන් වැටහීමක් හෝ ඒ පිළිබඳ පූර්ව අත්දැකීමක් නොවීය. එහෙත් ධනපති ආණ්ඩුව හා ආණ්ඩුව ගෙන යන දුර්දාන්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බරපතළ විරෝධාකල්පයක් ඔවුන් තුළ වූයේය. රැස්වූ කම්කරුවන් ප්‍රමුඛ සෑම තරාතිරමකම ජනතාව රජයට විරුද්ධව තමන් සතු හැම බලයක්ම යෙදවූහ. සාමකාමී පෙළඹවීම් පමණක් නොව අනෙක් විවිධ ක්‍රම ද අනුගමනය කරන්නට වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස පොලීසිය හා ජනතාව අතර ගැටුම් ඇති වන්නට විය. පොලිසිය බස් රථවලින් පැමිණ නගරයට රැස්වූ පිරිස් පලවා හරින්නට විය.

ඒ අතර විශේෂත්වයක් ද දක්නට ලැබුණි. එනම් මේ අති විශාල සටන්කාමී ජනතාව අතර සටන ප්‍රකාශයට පත් කර ඊට නායකත්වය ලබා දුන් ලංකා සම සමාජ පක්ෂයේ සාමාජිකයන් සිට ඇත්තේ 80ක් 85ක් තරම් සුළු පිරිසක් වීමය. සම සමාජ පක්ෂ ක්‍රියාධරයකු වූ රෙජි මෙන්ඩිස්ට අනුව, සුළු පිරිසක් වූ අපේ පැත්තට ඉතාම කෙටි වේලාවක් තුළ විශාල පිරිසක් ඇදී ආහ. මේ පසුබිම තුළ පොලීසිය බැරැක්කවලට දුවන්නටත් ජනයා පසුබසින විට යළි ඉදිරියට එන්න ද විය. ජනතාව සතුව තිබුණේ පොලු හා ගල්ය. කොළඹ පිටකොටුව නාටාමිවරුන් සිය කූඩවලින් ජනතාවට ගල් ගෙනැවිත් දෙන්නට විය.

මෙහිදී ලංකා සම සමාජ පක්ෂ වෘත්තීය සමිති නායකයකු හමුදා වෙඩි පහරින් මිය ගියේය.

සැබවින්ම 1953 හර්තාලයේ සැබෑ පළමු වෙඩි මුරය අගොස්තු 10 දින නිකුත් කිරීමේ ගෞරවය හිමිවන්නේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ ස්ත්‍රීන්ටය. හරියටම සටන ඇරඹී තිබුණේ රන්දොඹේ ඔලගමට හැරෙන හංදියෙනි. එවකට එගම ලංකා සම සමාජ පක්ෂ ශාඛා සමිතියේ සභාපති වූයේ විදුහල්පති වී.සී.මාදූවගේය. ලේකම් සිරිල් වික්‍රමසේකරය. හර්තාලයේ ප්‍රාදේශීය කැඳවුම්කරුවන් වූ මොවුන් විසින් උපක්‍රමශීලීව ගමේ හාල් තුනපහ ගන්නා සමුපකාරයේ රාත්‍රී කාලයේදී දැන්වීමක් අලවා තිබුණේය. එයින් කියැවුණේ අය-වැයෙන් හාල් සේරුවක මිල ශත 70 දක්වා වැඩිකර ඇති බවය. කොහු කර්මාන්තය එකම ආදායම් මාර්ගය කරගත් කාන්තාවන් මේ ආරංචියෙන් කලබල වී ශත 25ට ලබා දුන් හාල් ශත 70ට ගන්නේ කොහොමද යන්න ප්‍රශ්න කරමින් සමුපකාරය වට කර කෑ කෝ ගසන්නට වූහ.

එසැණින් යකාටවත් බිය නැති කපාපු සම සමාජකාරියක් වූ ජොන්නක්කා කොහු පොල්ල අතින් ගෙන එම ස්ථානයට ළඟාවත්ම කාන්තාවෝ ඔල්වරසන් දී ඇය පිළිගෙන සිද්ධිය ඇයට පවසන්නට වුහ. ඉන් කෝපාවිෂ්ට වූ මේ වීර කාන්තාව, “සමුපේ වටකරන් මොනවා කරන්න ද බොලව්, යම්ව් මහ පාරට, පොල් ලෙලි අරන් වරෙව්, පාරෙන් තියන් තලපියව්” යන ඉල්ලීම කරත්ම ලෙයි අප්පු, බේලින් අය්යා හා ඩීමන් අය්යා යන පිරිමින් පොල් ලෙලි වළවල්වලින් ගෙනැවිත් දෙමින් උදව් කරන්නට වීය. ප්‍රදේශයේ සමසමාජ නායක ලෙයිඅප්පු මහපාරේ රබන් වයන විට පිරිමි ද සටනට රොද බැඳ ගන්නට වූහ. ඩාලින්නෝනා, නෝනක්කා, මැන්දිස්නෝනා, ඇල්පිනෝනා, නන්දාවතී ද සොයිසා යන්නවුන්ගේ නායකත්වය මැද කාන්තා බල ඇණිය පොල් ලෙලි මහ පාරේ තියන් තලමින් විරෝධය පානවාට අමතරව ඔරුවල රුවල්වලින් ආවරණ සකසා ගෙන ඒවා යට ඉඳ ගෙන රොටි පුච්චනු ලැබුවේය. මෙලෙස රන්දොඹේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සමූහයක් ලෙසින් එක්ව හාල් මිල වැඩි කිරීමට එරෙහිව පාරේ වැතිර “ ඇමැතිවරුන්ට රස බොජුන් ජනතාවට පාන් වාටි” යනුවෙන් සටන් පාඨ තෙපළමින් රථවාහන ගමනාගමනය අඩාල කර එකාවන්ව සටන් කළහ. ස්ත්‍රීන් විශාල පිරිසක් ඉතාමත්ම සටන්කාමීව මේ විරෝධතාවට එක්ව සිටියහ.

මොරටුව කොරළවැල්ලේදී ගාලු පාර අවහිර කළ සටන්කාමීන් ලුනාවේදී ඉන්ධන ගෙන ගිය දුම්රිය පෙට්ටියකට ගිනි දමන විට කළුතර ද ගැහැනු-පිරිමි එකතුව ගාලු පාරේ රථවාහන ගමනාගමනය වළක්වන ලදි.

තවද කිරුලපන සිදු කළ හමුදා වෙඩි තැබීමකින් ටී. සිරිසේන නමැති සටන්කාමියා රෝහල් ගත කීරිමෙන් අනතුරුව මියගොස් තිබුණේය.

බොහෝ තැන්වලදී පොලිසිය විසින් සටන්කාමී හර්තාල්කරුවන්ට බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ක්‍රියා කිරීමේ දී බියගුලු ලෙස පසුබැස නොගිය ජනතාව ද පෙරළා පොලිසියට ගල්මුල්වලින් ප්‍රති ප්‍රහාර එල්ල කළහ. තවද මර්දනයට යොදා ගත් පොලිස් හිංසා ක්‍රියා නිසා කුපිත වූ ජනතාව රටපුරා කඩසාප්පු, කාර්යාල වසා දමා දුම්රිය හා බස් සේවාව අකර්මණ්‍ය කිරීමට හැකි උපරිමයෙන් සෑම බලයක්ම යෙද වූහ.

හර්තාලය තුළ සිදු වූ දුම්රිය හා බස් ගමනාගමන පද්ධතිය අඩාල කිරීමේ දෙවැදෑරුම් ක්‍රියාමාර්ගයේදී ක්‍රියාවිරහිතව තිබූ මුළු දුම්රිය පද්ධතියම යළි යථා තත්ත්වයට ගෙන ඒමට දින ගණනාවක් ගතවන තත්ත්වයක් උදාවී තිබුණේය.

එහෙත් බස් සේවය අඩාල කිරීම සඳහා සටන්කාමීන් වඩාත් දරුණු ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබුවේය. එයට හේතුවී තිබුණේ ඇතැම් පෞද්ගලික බස් රථ සමාගම් හිමියන් විසින් කුමන වෘත්තීය ක්‍රියාමාර්ගයක් තුළ වුවද තම බස් ධාවනය කරන බවට කර තිබූ දැඩි ප්‍රකාශයයි. එම බරපතළ අනතුරු ඇඟවීම කළ බස් හිමියන් වූ ගාමිණි බස් සමාගම හා හයිලෙවල් බස් සමාගම එදා එජාප ආණ්ඩුවේ දේශපාලන බලකණු මෙන්ම මුදල් පසුම්බි ද වූ නිසා ජනතාවගේ කෝපාග්නිය තව තවත් වැඩි වන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව පළමුව එකී බස් නතර කොට ගල් ගසා විනාශ කළේය. දෙවනුව බස් ගමන් ගන්නා මාර්ග ගස් කපා දමා අවහිර කිරීමෙන් හා ඇතැම් මාර්ගවල තිබූ ලෑලි පාලම් කඩා බිඳ දැමීමෙන් සහ කුඩා යකඩ කොන්ක්‍රීට් පාලම් ඩයිනමයිට් දමා පිපිරවීමෙන් පොලිස් හා හමුදා වාහනවලට පවා ඉක්මනින් ළඟාවිය නොහැකි තත්ත්වයක් උදාවී තිබුණේය. කෙසේ නමුත් හර්තාලයට විරුද්ධ නොවූ සිරිල් ද සොයිසාගේ සවුත් වෙස්ටන් බස් සමාගමට කිසිදු අලාභ හානියක් සිදු නොවුවා සේම හර්තාලයෙන් පසු කතරගම – කොළඹ හා කොළඹ – අනුරාධපුර ඔවුන්ගේ බස් ගමන් මාර්ගයේ සුපුරුදු පරිදි බස් ධාවනය කළ හැකි විය.

ආචාර්ය දේව මයිකල් ද සිල්වා
ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment