kaushi එක්ක අමිල මාලේ හෝල්වලට – මේක සත්‍ය කතාවක්

137

මංගල දර්ශනයට මම හෙට ලංකාවෙන් යනවා

ෆේස් ටු ෆේස්, පෝරිසාදයා, මොනාලිසා වැනි සිනමා නිර්මාණවලින් ඔබ හමුවට පැමිණි අමිල කරුණාරත්න මේ දිනවල තිරගත වන ‘ගුත්තිල’ සිනමා පටය තුළින් ද දැකගන්න ලැබෙනවා. නමුත් අපි මේ කියන්න හදන්නේ අමිල රංගනයෙන් දායක වුණ ලංකාවේ චිත්‍රපටයක් ගැන නම් නෙමෙයි. එළැඹෙන ජුලි 19 වැනිදා සිට මාලදිවයිනේ තිරගත වීමට නියමිත ‘kaushi’ සිනමා නිර්මාණය ගැනයි.

‘kaushi’ නිසා අමිල හෙට ලංකාවෙන් පිටත් වෙනවා. මේ ඊට කලින් අමිල කියපු කතාව.

Seaxan Ali කියන්නේ මාලදිවයිනේ අංක එකේ අධ්‍යක්‍ෂවරයෙක්. 2019 වසරේ ලංකාවේ පැවැති සාර්ක් සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂණය ඛාණ්ඩයේ දෙවැනි ස්ථානය ඔහුට හිමිවෙනවා. මේ උළෙලෙන් පස්සෙ ඔහු තීරණය කරනවා ලංකාවේ කලාකරුවන් යොදාගෙන ඔහුගේ රටේ සිදු වුණ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන සිනමා නිර්මාණයක් කරන්න. ඒකත් එක්ක තමයි මට මේ kaushi චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව උදා වුණේ. එළැඹෙන 19 වැනිදා සිට මාලදිවයින් භාෂාවෙන් ඒ රටේ තිරගත කළාට පස්සෙ සිංහල භාෂාවෙන් අපේ රටේ තිරගත කරන්න කටයුතු කරනවා.

kaushi එක්ක අමිල මාලේ හෝල්වලට - මේක සත්‍ය කතාවක්

ජූලි 19 වැනිදා තිරගත කෙරෙන මංගල දර්ශනයට මෙහි ප්‍රධාන නළුවා විදිහට මම සහ ප්‍රධාන නිළිය වන රංගි රාජපක්‍ෂ සහභාගී වෙනවා. දූපත් කිහිපයක තිබෙන සිනමාහල්වල තමයි මේ චිත්‍රපටය තිරගත කරන්නෙ. මාලේ දූපතේ ඔලිමාපස් සිනමාශාලාවේදී මංගල දර්ශනය පැවැත් වෙනවා. ඒකට සහභාගි වෙන්න 17 වැනිදා ලංකාවෙන් පිටත්ව යනවා. 19 වැනිදා මංගල දර්ශනයට සහභාගී වෙලා නැවත 21 වැනිදා ලංකාවට එනවා.

මේක මට අලුත් අත්දැකීමක්. Seaxan Ali කියන අධ්‍යක්‍ෂවරයා සමග කතාබහ කළාම තමයි දැනගත්තෙ ලංකාවේ නළුනිළියන් සම්බන්ධ කරගෙන නිර්මාණය කරන චිත්‍රපටයක් පළමු වතාවට තමයි මාලදිවයිනේ ප්‍රදර්ශනය කරන්නෙ කියන එක. ඇත්තටම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණ කාර්මික ශිල්පීන් වගේම සහාය අධ්‍යක්‍ෂවරයාත් ලාංකිකයෙක්. මේ රටවල් දෙකම එකතුවෙලා කළ වැඩක්. ලංකාවේ ෂූටිං කළේ සිංහල භාෂාවෙන්. නමුත් මුලින්ම මාලදිවයිනේ ප්‍රදර්ශනය කරන නිසා ඒ රටේ භාෂාවෙන් හඬකැව්වා.

kaushi එක්ක අමිල මාලේ හෝල්වලට - මේක සත්‍ය කතාවක්

ඇත්තටම මේ ලැබුණ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි. අපි නිර්මාණ කරනවාට වඩා වෙනස්ම ශෛලියකින් තමයි ඒ රටේ කාර්මික ශිල්පීන් පවා නිර්මාණයට දායක වෙන්නෙ. මේ අවස්ථාව මගේ රංගන ජීවිතයේ හීනයක් සැබෑ වුණා හා සමානයි. වෙනස් භාෂාවකින් කතාකරන, වෙනත් රටක අපේ රටේ කලාකරුවන්ගෙ පෝස්ටර් ගහල තියෙනකොට ඇත්තටම සතුටුයි. මේක නළුවකුට හෝ නිළියකට ලැබෙන දුලබ අවස්ථාවක්.

ඒ අතින් මම හරි වාසනාවන්තයි. පළමු වතාවට තමයි ලංකාවෙන් පිට මංගල දර්ශනයකට සහභාගි වෙන්නෙ. ඒ අතිදැකීම මොනවගේද කියල දැනගන්න සතුටින් බලාගෙන ඉන්නව.

මේක හොරර් ශානරයේ චිත්‍රපටයක්. තමන්ගේ ආදරය ප්‍රකාශ කරගන්න බැරි සාමාන්‍ය තත්ත්වයක නොසිටින පුද්ගලයකුගේ චරිතයක් තමයි මට ලැබුණේ. තනියම හැදුන වැඩුණ මේ පුද්ගලයා එක කාන්තාවකට ප්‍රේම කරනව. නමුත් ඒක කියාගන්න ඔහුට අවස්ථාවක් ලැබෙන්නෙ නැතිවම මිය යනව. ඒ මරණයත් සමග තමයි මේ කතාව පටන්ගන්නෙ.

මෙහි පිටපත් රචකයා වගේම අධ්‍යක්‍ෂවරයාත් පැවසුවේ මේ කතාව මාලදිවයිනේ සිදු වුණ සත්‍ය කතාවක් බවයි.

මේ අවුරුද්දේදීම ලංකාවේ සිනමා රසිකයන්ටත් kaushi සිනමාපටයේ අත්දැකීම විඳගන්න අවස්ථාවක් ලැබේවි කියල හිතනව.

ලංකාවේ අධ්‍යක්‍ෂවරු මගෙන් වැඩක් ගන්නෙ නැහැ කියලත් කියන්න බැහැ. නමුත් මේ චිත්‍රපටය ලංකාවේ රසිකයන්ට දැකබලාගන්න ලැබුණම කියයි හරි වෙනස් නිර්මාණයක් කියල. මොකක් හරි හේතුවකට මට මේ වන තුරු වෙනස් චරිත ලැබිල තියෙනව. මගේ ලොකුම බලාපොරොත්තුව ලාංකීය සිනමාව වෙනුවෙන් කැපවෙන්න. නැවතත් ජාත්‍යන්තරයෙන් ආරාධනයක් ලැබුණොත් අතහරින්නෙ නැහැ.

මම රංගනයෙන් දායක වුණ ගුත්තිල සිනමා පටයේ සක්‍රදේවේන්ද්‍රයාගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අධ්‍යක්‍ෂවරුන් මං ගැන පොඩි හරි විශ්වාසයක් තියල තියෙන නිසානෙ මේ වගේ චරිත ලබා දෙන්නෙ.

මේ දවස්වල ‘කම්බිලි’ කියන වාණිජමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. තවත් එක දවසකින් පමණ රූගතකිරීම් අවසන් වේවි.

මෙතෙක් මට ලැබුණ චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්කමක් නැහැ. මම දන්නෙ නැහැ ඒකට හේතුව මොකක්ද කියල. මම තුළ මං ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් හේතුවක් මට ලැබිල නැහැ. මාව මම දකින්නෙ මේන්ටේන් එකක් සහිතව දවසින් දවස ඩිවලොප් වෙන රංගන ශිල්පියෙක් හැටියට. ඉදිරියේදී තව තවත් හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment