ආණ්ඩුවට එරෙහිව කුණාටුවක්

3003

අධික වර්ෂාව, නාය යෑම් හා ජලගැලීම් නිසා ඇති වූ ස්වාභාවික විපත් මැද ගෙවී ගිය ආපදාමය සතියක් ලෙස පසුගිය දින කීපය ඉතා වේගයෙන් ගෙවී ගියේය. කාලගුණය කොතරම් අයහපත් වුවත් කොළඹ කේන්ද්‍රීයව සිදු කෙරුණු දේශපාලන කටයුතුවල නම් කිසිදු අඩුවක් නොවීය. විශේෂයෙන්ම පසුගිය 21 වන බ්‍රහස්පතින්දා පළමු වරට වැඩ ආරම්භ කරමින් පාර්ලිමේන්තුවට එක්රොක් වූ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ බහුතර ආණ්ඩුව අයහපත් කාලගුණික තත්ත්වය නොසලකා අප්‍රමාදව වැඩ පටන් ගත්තේය.

මේ වන විට ඇමැති මණ්ඩලය පත්කර අවසන්ය. නියෝජ්‍ය ඇමැතිවරු පත්කර අවසන්ය. අමාත්‍යාංශවලට අවශ්‍ය ලේකම්වරු මේ වන විට බොහෝ දුරට පත් කර අවසන්ය. ඒ ඒ ඇමැතිවරුන්ට අදාළ විෂය පථ මෙන්ම ඒ විෂය පථයන්ට අදාළ ආයතන ගැසට් කිරීමද බොහෝ දුරට අවසන්ය. දැන් උදා වී ඇත්තේ ආණ්ඩුව වැඩ ආරම්භ කරන සමයයි. අනුරගේ පුනරුද ආණ්ඩුවට ඉසිඹුලමින් බලා සිටින්නට කාලයක් නැත. වහා වැඩ ආරම්භ කළ යුතු බැවින් අයහපත් දේශගුණික තත්ත්වයේ වුව ආණ්ඩුව ලහි ලහියේ වැඩ ආරම්භ කරන ආකාරය අප කොයි කාටත් පසුගිය දිනවල දැකගත හැකි වූහ.

එහෙත් එහිදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ අභියෝග සුළුපටු නොවේ. එක් අතකින් ස්වභාවික විපත් මුළු රටටම බලපවත්වන පරිදි සතියක් තුළ වේගවත් වන්නට පටන් ගත්තේය. වැඩි වශයෙන් වී වගාව සිදුකරන අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, මඩකලපුව, කුරුණෑගල, වවුනියා දිස්ත්‍රික්කවල මහ කන්නයේ කුඹුරු වැඩ පටන් ගන්නට ඔන්න මෙන්න තිබියදී ඇතිවූ ජල ගැලීම් නිසා සිදුවූ වගා හානිය සුළුපටු නොවේ. අධික වැසි හේතුවෙන් යාපනය හා ත්‍රිකුණාමලය ප්‍රදේශවල ඇතිවූ ජලගැලීම් නිසා ජන ජීවිතය මහා පරිමාණයෙන් අවුල් වියවුල් වූයේ ඔවුන්ගේ ආදායම් මාර්ගද අහුරා තබමිනි. යාපනයේ සිදු වූ වගා හානිය ද සුළු පටු නොවේ. ඒ අතර කඳුරට එළවළු භව භෝග වගාවට වැස්සෙන් හා සුළඟින් සිදුවූ හානියෙන් කියාපෑවේ නුදුරු දිනකින්ම යළි උඩරට එළවළු මිලද පාලනය කරගත නොහැකි තත්ත්වයකට ඉහළ යනු ඇති බවයි. මේ අතර රටටම බලපෑ පොදු ප්‍රශ්නයක් ලෙස සහල් හිඟයක් ද ඇති විය. සහල් හිඟය වර්ෂාව පටන් ගන්නට පෙර ඇතිවූ ප්‍රශ්නයක් ලෙස බලපවත්වන්නට විය. මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයන් විසින් සහල් සඟවා ඇතැයි උපකල්පනය කරමින් ඒවා හොයන්නට මුලදී වෙහෙස වූ පාරිභෝගික අධිකාරිය සතුටුදායක උත්තරයක් පෙන්නුම් කළේ නැත. අවසානයේ රජය තීන්දුවක් ගත්තේ රටේ හාල් මිල පාලනය කරමින් රටට අවශ්‍ය හාල් හිඟයකින් තොරව පවත්වාගෙන යෑමට නම් සහල් යම් ප්‍රමාණයක් ආනයනය කළ යුතු බවකි.

පහුගිය කාලයේ මැතිවරණ වේදිකාවන්හි සහල් මිල පාලනය සහ සහල් ගෙන්වීම ගැන මොන මොන කතා කීවත් ජනතාවට වන අපහසුතාව මඟහැරවීමට රජය අකමැත්තෙන් වුව යම් යම් තීන්දු ගනිමින් තිබුණු බව පසුගිය සතියේ අපට දැකගත හැකිවූහ.

ඒ අතර රජය වෙත විපක්ෂයේ පාර්ශ්වයන්වලින් හා සමාජයෙන් නැඟෙන්නට වූ විවේචන නම් සුළු පටු නොවීය. සහල් ගෙන්වීමට ගත් තීන්දුව ගැන වෙනම විවේචන පැමිණියේය. තවත් දෙයක් සම්බන්ධයෙන් සමජයේ අවධානය යොමු විය. ඒ වූ කලී කොළඹ ගල්කිස්සේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති එක්තරා බටහිර පන්නයේ සංදර්ශනයක් බලන්නට අගමැතිනි හරිනි අමරසූරිය, ඇමැති විජිත හේරත්, ජවිපෙ මහ ලේකම් ටිල්වින් ඇතුළු කණ්ඩායමක් සහභාගිවී ගනු ලැබූ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය මගින් ඒ මේ අත සංසරණය වන්නට පටන් ගැනීමයි. ඒ සම්බන්ධයෙන් සමාජයේ එක්තරා පිරිසක් වෙතින් නැඟුණු විවේචන බහුලවීම මෙන්ම ඒ විවේචනවලට එරෙහිව නැඟුණු විවේචනද සුළුපටු නොවීම හේතුවෙන් සමාජයේ එම සිද්ධිය වෙත ලැබුණු අවධානය හා ප්‍රසිද්ධිය තව තවත් වර්ධනය විය. එම සහභාගිත්වය එකී සංදර්ශන සංවිධායකයන් විසින් කරන ලද ආරාධනාවකට අනුව කළ ගෞරවනීය සහභාගිත්වයක් මිස මුදල් ගෙවා ප්‍රවේශපත් ලබාගෙන කළ කාලය හා ධනය නාස්තියක් නොවන බව පෙන්වා දුන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෝ විවේචකයන්ට පන්න පන්නා පහර දෙන ආකාරයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබිණි.

ජලගැල්මක් සේ ආ මහජන මතය..

කවර ආකාරයේ අභියෝග හා විවේචන පැමිණියත් ජනාධිපති අනුර කුමාර ප්‍රමුඛ අලුත් ආණ්ඩුවට ඒ කිසිවක් ප්‍රශ්නයක් නොවීය. මහජන මතය ජලගැල්මක් ලෙස දෝර ගලා යද්දී ජනාධිපති අනුර කුමාර දිසානායකයන් ඒ මත ආණ්ඩුව නැමැති යාත්‍රාව මාලිමාවේ පෙන්වන නිවැරදි දිශාවට පදවමින් තිබෙන බව ඇතැම් සමාජ දේශපාලන විශ්ලේෂකයෝ විවරණ ඉදිරිපත් කරන්නට වූහ.

ඒ අතර සමාජයේ කතාබහට ලක්වූ තවත් සිදුවීමක් වූයේ උතුරුකරයේ පසුගිය දිනවල පැවැති මහාවීර සැමරුම්ය.

රාජපක්ෂ ආණ්ඩුව බලයේ සිටි සෑම කල්හිම නොවැම්බර් මාසය වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දක්නට ලැබුණු අනිවාර්ය කලබලයකි’ මහාවීර සමරුම. රාජපක්ෂ ආණ්ඩු ඒ සඳහා උතුරේ කිසිදු ඉඩකඩක් ලබා දුන්නේ නැත. උතුරේ දේශපාලඥයෝ මැදිහත්ව බලහත්කාරයෙන් එම සැමරුම් පවත්වන්නට උතුරේ ජනතාවට අනුග්‍රහය දැක්වූ ආකාරය අපට මතකය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයේ සිටි කාලවකවානුවල ඒ සඳහා යම් ලිහිල් ප්‍රතිපත්තියක් දැකගත හැකි වුවද තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එහි නායක ප්‍රභාකරන් සැමරීමට කිසිදු ඉඩකඩක් නීත්‍යානුකූලව ලබා නොදෙන්නට ඔහුද වග බලා ගත්තේය.

එහෙත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බහුතර ජන බලයක් ලබාගෙන බලයට පත්වූ මාලිමාවේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන වැඩපිළිවෙළ කුමක්දැයි කියා බොහෝ බලවේග මග බලා සිටියහ. පසුගිය දා පැවැත්වුණු මාධ්‍ය හමුවලදී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසා සිටින්නට පවා උත්සුක වූහ.

“ව්‍යවස්ථාවේ සඳහන් පරිදි තහනම් සංවිධානයක් හෝ තහනම් සංවිධානයක කිසිදු නායකයෙක් සමරන්නට හෝ ප්‍රවර්ධනය කරන්නට කිසිදු අවසරයක් නෑ. අකුරටම නීතිය ක්‍රියාවේ යොදවනවා. හැබැයි මියගිය අය සමරන එක සම්බන්ධයෙන් අපට විරුද්ධ වෙන්න බෑ…”

පසුගිය සතියේ යාපනය හා මුලතිව් ප්‍රදේශවල මහා විරු සැමරුම් සිදුවූයේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කියූ පරිදිය. ප්‍රභාකරන්ගේ ඡායාරූප හා ඊළම ඇඟවෙන පින්තූර කිහිපයක් භාවිතා කරන්නට උත්සාහ ගනිද්දී පොලිසිය මැදිහත්ව ඒවා ඉවත් කර තිබීම විශේෂත්වයකි. එහෙත් මහා පරිමාණයෙන් සිදුකෙරුණු විරු සැමරුම්වල අඩුවක් නොවීය. ප්‍රභාකරන්ගේ පින්තූර ඉවත් කරන්නට පොලිසිය මැදිහත් වූවා කියා ඔවුන් හා කලහ කර ගන්නට ජනතාව ඉදිරිපත් වූයේද නැත.

මේ අතර උතුරේ සිදුකෙරෙන මහවිරු සැමරුම් එල්.ටී.ටී.ඊ. සැමරුම් ලෙස හඳුනා ගනිමින් රජය ඒවාට ඉඩදීම සම්බන්ධයෙන් විරෝධය පාමින් පසුගිය දිනක දකුණේ රණවිරු සංවිධානයක් සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. 2009 පුදුකුඩුඉරිප්පු සටනේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වූ ඩබ්ලිව්. ඇම්. ඩී. මංජුල රණවිරුවා සත්‍යග්‍රහයෙහි වාඩි වූ අතර ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය මේ සඳහා නායකත්වය සපයා දී ඇති අයුරු පෙනෙන්නට විය.

රණවිරු මංජුල, ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයේ දුලාර ගුණතිලක ඇතුළු පිරිසක් 29 වැනිදා ජනාධිපති කාර්යාලයට ගොස් මේ පිළිබඳ ජනාධිපතිවරයාට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව එම සත්‍යග්‍රහයද අවසන් විය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලට මහවැසි ඇද වැටී ජන ජීවිතය අඩාල වූ බැවින් මහ විරු සැමරුම්වලට වෙනදා තරම් මහා සෙනඟක් හා උණුසුමක් මෙවර තිබුණේ නැත. උතුරු නැගෙනහිර ජනතාව බීමට පිරිසිදු පානීය ජලයවත් නැති තත්ත්වයට අසරණ වූහ.

මීට වඩා අඩු ආපදාවකදී වුව එවන් අවස්ථාවල පානීය ජලය ආහාරපාන ඇඳුම් පැළඳුම් රැගෙන සහෝදරත්වයේ දෑත් දිගු කරමින් ලොරි පෙළපාලිවලින් උතුරට යන්නේ දකුණේ ජනතාවයි. ඒ සඳහා අනුග්‍රහය හා මෙහෙයවීම කරනු ලැබුවේ බොහෝ විට දකුණේ සුප්‍රකට පුද්ගලික මාධ්‍ය ජාලයන්ය.

එහෙත් මේසා විශාල විපතක් සිදුවී ජනතාව ලක්ෂ ගණනින් ආපදාවකට පත්වුවත් දකුණේ ජනතාවගේ හෝ දකුණේ මාධ්‍ය ආයතනවල අවධානය ඒ සඳහා යොමු නොවූයේ මන්දැයි බෝහෝ දෙනා කතාබහ කරති. උතුරේ ජනතාව අන් දේශපාලන ව්‍යාපාර හා සමාජ බලවේග අමතක කරමින් මාලිමාව වෙත පමණක් විශ්වාසය පළ කිරීම ඊට හේතුවක් වී දැයි ඇතැම් විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති.

ඉඳුනිල් මිය යයිද සජිත් බයවෙයි…!

සමගි ජනබලවේගය ජනාධිපතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රමාණය මහ මැතිවරණයේදී රැකගන්නට ඔවුන්ට නොහැකි විය. මහ මැතිවරණයෙන් ඔවුන්ට හිමි වූයේ ඒ අනුව ඡන්දයෙන් මන්ත්‍රී ධුර 34කි. ජාතික ලැයිස්තුවෙන්ද ඔවුන්ට මන්ත්‍රී ධුර 5ක් හිමිව තිබිණි. හිටපු මන්ත්‍රීවරු එකොළොස් දෙනෙක් මෙවර පරාජය වී සිටියහ…

සමගි ජනබලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක, බුද්ධික පතිරණ, මනෝ ගනේෂන්, ඉරාන් වික්‍රමරත්න, තුෂාර ඉඳුනිල්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක අබේසිංහ ආදී කැපී පෙනෙන චරිත රැසක් ද ඒ අතර සිටියහ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 තෝරද්දී සමගි ජන සන්ධානයේ මුලින් තිබූ එකඟතාවය වූයේ ජාතික ලැයිස්තුවේ නම් කරපු අය අතරින් මිස මොනම හේතුවක් නිසාවත් පරාජය වූ කිසිවෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරන්නේ නැති බවය. ඒත් දෙමළ ජාතික නියෝජනයක් සඳහා මනෝ ගනේෂන් පත් නොවීම නිසා ජාතික පදනම මත බොහෝ දෙනකුගේ ඉල්ලීමක් තිබිණි. ඒ වූ කලී ජාතික ලැයිස්තුවේ පස් දෙනා අතරට මනෝව පත්කරන්නැයි කියාය.

එහෙත් මනෝව පත්කිරීම සම්බන්ධයෙන් සජිත්ට ගැටලු මතු විය. ලැයිස්තුවේ ඡන්ද ලැබූ අනු පිළිවෙළ අනුව 11 වැනියා වන මනෝව ඇතුළට ගන්නේ නම් පස් වැනියා වන ඉරාන්වත් ඇතුළට ගන්නයි කියා තර්කයක් මතුවිය. ඊළඟට සිටින්නේ හිරුණිකා නිසා ඇයටත් ඇතුළට එන්නට තර්කයක් තිබිණි. එසේ වුවහොත් නුවර ලැයිස්තුවේ ඊළඟයා තිස්ස අත්තනායකය. ඔහුගේ පැත්තෙනුත් ඉල්ලීමක් පැමිණියේය. එවන් යෝජනා බර ගණනාවක් නිසා සජිත්ට ජාතික ලැයිස්තුවේ පත්කිරීම් පහෙන් හතරක් පත් කරන්නට ප්‍රශ්න මතුවිය.

ඒ අතර පසුගිය දිනක තුෂාර ඉඳුනිල් සජිත් ප්‍රේමදාස හමුවන්නට පැමිණ ඔහු හා තනිව සාකච්ඡා කළේය…

“අනිත් හැම පළාතකටම වඩා අපි ඡන්ද ගත්තා. ලංකාවෙන්ම සජබ මනාප ලාභීන් අතර මම ඉන්නවා පළවෙනි දහ දෙනා අතරට. 46,000ක් මනාප. ලැයිස්තුවට පිටින් හරි ගන්නවා නම් අනිවාර්යෙන්ම මාවත් ගන්නම ඕන. නැත්නම් මට වෙනත් දැඩි තීන්දුවක් ගන්න වෙනවා…”

සාකච්ඡාවේදී සජිත් කලබල වූයේ නැත. ඔහු සාවධානව අසා සිටියේය. කළ යුතු හොඳම දේ කරන බවට ඔහු උත්තර දුන්නේය.

තුෂාර ඉඳුනිල් එළියට පැමිණ ජනමාධ්‍ය සමග කතා කරන අතරතුර මාධ්‍යවේදීන් ඇසුවේ ඔබ ගන්නවයි කී දැඩි තීන්දුව කුමක්ද කියාය… තමන්ව ගත්තේ නැත්තම් නිසැක වශයෙන්ම තමන් සිය දිවි හානි කර ගන්නවාය යන කාරණාව තුෂාර ඉඳුනිල් එළියට දැම්මේ ඒ මොහොතේය…

මෙම අදහස ඇසූ මොහොතේ සජිත් ඉහේ අත ගසා ගත්තේය. ප්‍රශ්නයක් වෙලාවකදී මෙහෙමද අපේ දේශපාලනඥයෝ කල්පනා කරන්නේ… ඔහු එසේ සිතන්නට ඇත.

තුෂාර කී කතාව සජිත්ට කෙසේ වෙතත් දේශපාලන කරළියේ ලොකු සංවාදයක් ඇති කරන්නට සමත් විය. මන්ත්‍රී කමක් වෙනුවෙන් සිය දිවි හානි කර ගන්නට යන ජනතා සේවය පිණිස කකියන තුෂාර ඉඳුනිල්ගේ හදවත ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වූයේ ඉන් පසුවයි…

උරුමවූ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන්නට පටන් ගත්තේය. ඔහුට මුලින්ම අවශ්‍ය වූයේ පළාත් මට්ටමින් ආසන සංවිධායකයන් ගෙන්වා සිදුවූ පරාජය ගැන ඔවුන් හා කතා බහ කරන්නටය…

ඒ අනුව පසුගිය සතියේ දකුණු පළාතේ මාතර ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේ සජබ අපේක්ෂකයෝ සජිත් හමුවන්නට කොළඹ පැමිණ සිටියහ. රැස්වීමේදී ඔවුන් සෑම කෙනකුටම නිදහසේ කතාබස් කරන්නට අවස්ථාවක් හිමිවිය…

“පිටින් ඇවිල්ලා මේකේ ඇතුළාන්තය විවේචනය කරනවා කියලා හිතන්න එපා. අවස්ථාවක් ලැබුණ නිසයි කතා කරන්නේ. එහෙම නැත්තං කවදාවත් මේ අඩුපාඩු හැදෙන්නේ නෑ…”

මට නම් මේ ලැබුණු ප්‍රතිඵලයත් පුදුමයක්. මේ පක්ෂයට සාමාජිකයො කියල දෙයක් නැහැ. තමන්ට නිත්‍ය සාමාජිකයෝ කොච්චර ඉන්නවද කියලා පක්ෂය දන්නේ නෑ. ඊළඟට මේ පක්ෂයේ යට ඉඳලා උඩට ව්‍යුහයක් නෑ. ඡන්දපළ මට්ටමේ ශාඛා සමිතිවල ඉඳලා ආසන මට්ටමට දිස්ත්‍රික් මට්ටමට පළාත් මට්ටමට හා ජාතික මට්ටමට යන ව්‍යුහයක් පක්ෂයකට අවශ්‍යයි.

ඊළඟට පක්ෂයට කියලා කිසිම ප්‍රතිපත්ති මාලාවක් නෑ. වැඩ කරන විදිහක් නෑ. ඔහේ නිකන් වියදම් කර කර වැඩ කරා විතරයි. ජනාධිපතිවරණයට කරපු වැඩ ටිකත් මහ මැතිවරණයේදී අතෑරලා දැම්මා. ඒක නිසා ජනාධිපතිවරණයේදී ලබපු ප්‍රතිඵලයවත් මහ මැතිවරණයේදී ගන්න බැරි වුණා. පොඩි පොඩි මට්ටමින් රැස්වීම් තිබ්බා ඇරෙන්න දිස්ත්‍රික් මට්ටමින් වත් රැලියක් තියාගන්නවත් මේ පක්ෂයට බැරිවුණා. ඒකයි පාක්ෂිකයෝ මේක අතහැරලා ගියේ. ඡන්ද දායකයක් ගෙදරින් ඡන්ද පළට අරන් යන්න වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒකට ඔවුන්ට හේතුවක් තිබුණේ නෑ. ඒ වගේ හේතු ගොඩක් නිසා මට නම් මේ ප්‍රතිඵලයත් පුදුමයක්…”

මේ අයුරින් සෑම අපේක්ෂකයකුටම තමන්ට දැනෙන විවේචනය ඉදිරිපත් කරන්නට සජිත් හොඳ අවස්ථාවක් ලබාදීම විශේෂත්වයකි. පසුව ඊළඟට මධ්‍යම පළාතට අවස්ථාවක් ලැබී තිබිණි. මේ දිනවල දිගින් දිගටම ඔහු කරනු ලැබුවේ එසේ පළාත් මට්ටමින් අපේක්ෂකයන් හමුවී අඩුපාඩු ගැන කතාබස් කිරීමයි. ඒවා සකසා ගනිමින් නොදුරේ එන පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සජිත්ගේ අභිප්‍රාය වූයේය….

මේ අයුරින් පක්ෂයේ අඩුපාඩු ගැන කතා කරන්නට පක්ෂයේ ආසන සංවිධායකයන්ට පසුගිය සතියේ අවස්ථා කිහිපයක්ම උදාවිය.

ඒ අතරතුර ආසන සංවිධායකවරු තම තමන්ගේ අඩුපාඩු ගැන එකතු වී කතාබස් කරනු ලැබුවේ මෙසේය. ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ධුර හතර නම් කිරීම ගැන ඔවුන් මෙසේ සිය අදහස් පළ කළහ…

“ජාතික ලැයිස්තුව දේශපාලනමය හේතු මත පමණක් පත් කරන්න පියවර ගන්න ඕන. ඒ කිව්වේ ලයිස්තුවේ විසිනව දෙනාගෙන් මේ හතර දෙනා තෝරගන්න ඕන. එහෙම නොකර පරාජය වෙච්ච අයව ගන්න සැලසුම් කරපු නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම…” එසේ කීවේ මරික්කාර් මන්ත්‍රීවරයාය.

“ඔව් ඉතින් ක්‍රමවේදයක් නැතිවුණාම විවිධ ප්‍රශ්න මතුවෙනවා. ජාතික ලැයිස්තුවේ පත්වීම් ජාතික ලැයිස්තුවෙන් ගන්න එක ක්‍රමවේදයක්. එහෙම නොකර පැරදුණු අයගෙන් පුරවන්න ගියොත් අපටත් තව මන්ත්‍රී ධුර ඉල්ලන්න හේතු හැදෙනවා…” දයාසිරි එසේ කියන විට වටේ සිටි මන්ත්‍රීවරු ඇසුවේ ඔයාට තියෙන හේතු මොනවද…? කියාය.

“හොඳට බලන්න… වෙනත් පක්ෂයක ඉඳලා සන්ධානෙට ඇවිත් කුරුණෑගලින් මම දෙවනියට මනාප අරන් තියනවා. මනාප 51,000ක්. වෙනත් පක්ෂවලින් සන්ධානයට ආපු දේශපාලනඥයෝ ඔක්කොම ඡන්ද ඉල්ලලා පරාදයි. මම විතරයි දින්නේ. එහෙමනම් මමත් ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් මගේ මිනිහට දෙන්න කියන්න ඕන…”

“ඔයාගේ මිනිහා කවුද…?”

“ඇයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…” දයාසිරි අනෙක් අය නිරුත්තර කරමින් කීවේය…

මේ සාකච්ඡාවෙන් පසුව දයාසිරි දින කීපයකට විදේශගත වූයේ පුද්ගලික සංචාරයක් සඳහාය…

රවීව පත් කරන්න ඇත්ත හේතුව මෙන්න..

තුනෙන් දෙකක බලයක් හිමි බහුතර ආණ්ඩුවක් ගෙන ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබාගත්තේ කෙසේද කියා බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගත්හ. පහුගිය මූල්‍ය අර්බුදයේදී වැටී ගිය රට කෙලින් කර යම්කිසි මාවතකට ගෙන ඉදිරියට ගත්තේ රනිල් බව පැහැදිලිය. එසේ නම් මේ බිඳ වැටීමට හේතුව කුමක්ද…

බොහෝ දෙනා ඒ මාතෘකාව ගැන කතාබහ තවමත් අවසන් කර නැත. එකම මන්ත්‍රීවරයෙක්වත් ඡන්දයෙන් පත්කර ගන්නට එක්සත් ජාතික පක්ෂයට බැරිවිය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු තිදෙනාම පොහොට්ටුවෙන් පැමිණි උදවියයි. එජාපයෙන් කිසිදු මන්ත්‍රීවරයෙක් තේරීපත් නොවූයේ ඇයි…

මේ ගැන පසුගිය සතියේ රවී කරුණානායක හමුවූ මාධ්‍යවේදීන් කීප දෙනෙක් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හිතූ මනාපයේ ඔහු පත් වූයේ ඇයිද කියා කතා කරන අතරතුරය….

“ඒක තමයි මමත් කියන්නේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන්නේ ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා හදපු පක්ෂය. ඒකෙන් මැතිවරණ හතරකට අපි තරග වැදුනා. සිරිසේන මහත්තයා ජනාධිපති කෙරෙව්වා. ෆොන්සේකා මහත්තයා ඉල්ලුවෙත් සජිත් මහත්තයා ගිය පාර ඉල්ලුවෙත් මේ පක්ෂයෙන්. ඉතින් මේ පාර ගෑසිලින්ඩරය යටතේ මේ පක්ෂයෙන් තරග වදිනකොට මේ පක්ෂයට මන්ත්‍රී ධුරයක් දෙන්න පොරොන්දුවක් තියෙනවා. පක්ෂයේ ලේකම්තුමිය අවුරුදු විසි ගාණක් එක දිගට හිටපු ශර්මිලා පෙරේරා මැතිතුමිය ඒ මන්ත්‍රී ධුරයට මාව පත් කරලා තියෙනවා. කවුරුවත් ඒකට විරුද්ධ නෑ. එක්සත් ජාතික පක්ෂයේ දෙන්නෙක් විතරයි විරුද්ධ. නායකතුමා ආවම අහන්න. එතුමා මේක දන්නවා…”

“කවුද එජාපයෙන් විරුද්ධ දෙන්නා…”

“වජිර මැතිතුමා පුවත්පත්වලට කතා කළානේ පක්ෂයේ සභාපති විදිහට. අනිත් එක්කෙනා සාගල රත්නායක…”

“සාගලත් ඔබ පත්වුණාට විරුද්ධයිද…”

එයා එදා ඉඳලා විරුද්ධයි. මේ පරාජයට එයා වගකියන්න ඕන. මම ලැයිස්තුවෙන් ඡන්දය ඉල්ලන්න හිටියේ. එයා ගෙනල්ලා අසාත් සාලිව ලැයිස්තුවට දැම්මා. එයා එහෙම කළේ එයාට ඡන්ද ගන්න අසාත් සාලිගෙන් උදව්වක් වෙයි කියලා. මම ඒකට විරුද්ධ වුණාම අන්තිමේ මාව ලැයිස්තුවට දැම්මේ ලැයිස්තුවෙන් පත් කරනවා කියලා. කොහොමටත් ශර්මිලා පෙරේරාට මන්ත්‍රී ධුරයක් දෙන්න පොරොන්දුවක් තිබුණා. ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර දහයක් ලැබුණත් එකක් ලැබුණත් ඒක පක්ෂයට දෙන්නයි පොරොන්දුව…

“දැන් එතකොට ඉතිරි මන්ත්‍රී ධුරයට මොකද කරන්නේ…” මාධ්‍යවේදියෙක් ඇසීය…

“මම නම් කියන්නෙ ඒකට නායකතුමා ආවොත් හරි. නැත්තං එතනත් ප්‍රශ්න ගොඩයි.

“නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජයග්‍රහණය කළ මන්ත්‍රී ධුර තුනම දිනාගෙන තිබුණේ පොහොට්ටුවෙන් පැමිණි සංවිධායකයන්ය. ඒ නිසා පොහොට්ටුවෙන් ඉදිරිපත් වූ කණ්ඩායම සියල්ලෝම අත්සන් කරමින් ඉතිරි මන්ත්‍රී ධුරයට කංචන විජේසේකර පත්කරන්නයි කියා ඉල්ලීමක් තිබුණි.

ඒ අතර නිමල් ලංසලාගේ හා අනුර යාපලාගේ ඉල්ලීමක්ද තිබිණි. ඔවුන් කීවේ එම මන්ත්‍රී ධුරයට ෆයිසර් මුස්තාපා පත් කරන්න කියාය. ඒ පිළිබඳ ලිපියක්ද නව ජාතික සන්ධානයෙන් ෂර්මිලා පෙරේරා මහත්මියට ලැබී තිබිණි. රනිල්ට හිතවත් තවත් කීපදෙනකුගේ යෝජනාවක් වූයේ එම මන්ත්‍රී ධුරයට සාගල රත්නායක පත්කරන්නටය.

රවී අදහස් කළේ මේ සියලු ඉල්ලීම් පසෙක තබා හිටපු ජනාධිපති රනිල් පැමිණියහොත් පාර්ලිමේන්තුව ඇතුළේ ඉතා ධනාත්මක සේවාවක් සලසන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබෙනු ඇතැයි කියාය…

පොහොට්ටුවේ පනහක් සිලින්ඩරෙන් බැහැ කියයි…

මේ අතර පසුගිය අඟහරුවාදා සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලූ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේ පනස් දෙනෙක් පමණ කොළඹ හිටපු මන්ත්‍රීවරයකුගේ නිවසට එකතු වී අනාගත වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්හ…

ස්ථානය රාජගිරිය බුත්ගමුව පාරේ අඹගහ හන්දියේ මධුර විතාන මන්ත්‍රීවරයාගේ නිවසයි. එස්. බී. දිසානායක, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ප්‍රේමනාත් සී දොළවත්ත, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැලකිය යුතු පිරිසක් මීට සහභාගි වී සිටියහ…

“සිලින්ඩරයට අනාගතයක් නෑ. අපට මේ ගමන තවදුරටත් සිලින්ඩරයත් එක්ක යන්න බෑ…”

එහෙමනම් ඉතින් අපි අලුත් දේශපාලන සංවිධානයක් හදාගන්න ඕන. තියෙන දේශපාලන සංවිධාන ඔක්කොම ප්‍රශ්න ඇති කරගෙන…”

“ඔව් ශ්‍රී ලංකා එක ගැනවත් පොහොට්ටුව ගැනවත් අපිට මින් ඉදිරියට විශ්වාසය තියන්න බෑ…”

“හැබැයි විපක්ෂය එකමුතු වෙන්න ඕන. පරණ විදිහට හිතන හණමිටිකාර මිනිස්සුත් එක්ක අපිට ඉදිරියේදී මේ ගමන යන්න බෑ.. අලුත් අදහස් තියෙන තරුණ ජවයක් තියෙන අය මේකට එකතු වෙන්න ඕන…”

“එහෙමනම් අපි විපක්ෂයේ බලවේග එකතු කරගෙන අලුත් ගමනක් යන්න බලවේගයක් හදන්න සාකච්ඡා කරලා පියවර ගමු…”

එහිදී අනෙකුත් පක්ෂ සමග මේ ගැන සාකච්ඡා කිරීමේ කාර්යභාරය කමිටුවකට පැවරුවේය. ඒ කමිටුවේ නායකයා හැටියට රමිෂ් පතිරණ නම් කළේය…

හැබැයි මේක නීත්‍යානුකූල ගිවිසුම්ගත සංවිධානයක් වශයෙන් මුල ඉඳලා පටන් ගන්න ඕන. නැත්නම් පේනවනේ දැන් නව ප්‍රජාතන්ත්‍රවාදියකුගේ ජාතික ලැයිස්තු ධුර දෙකට වුණ දේ… එහෙම දේවල් ඉදිරියේදී නොවෙන්න වග බලා ගන්න. හැම දෙයක්ම නීතියට අනුව ගිවිසුම්ගතව වෙන්නයි අවශ්‍ය…”

“ඒ අනුව නීති සම්පාදන කටයුතු කරමින් අවශ්‍ය ගිවිසුම් පිළිවෙළට සකස් කිරීමේ කටයුත්ත ප්‍රේමනාත් සී දොළවත්ත හා මධුර විතානගේ මන්ත්‍රීවරු භාරගත්හ.

මෙහිදී සෑම හිටපු මන්ත්‍රීවරයකුටම කතා කරන්නට අවස්ථාවක් ලබා දුන් අතර ඔවුන් සියලුම දෙනා කතා කළේ අපට වැරදුනේ කොතැනද කියන කාරණයේ සිටය… සියලුම දෙනා කංචන විජේසේකරව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්නට හිටපු ජනාධිපතිවරයාට බල කරන්නට එකඟ වූහ.

මේ අවස්ථාවේ මධුර විතානගේ සූදානම් කර තිබූ කේක් ගෙඩියක් රැගෙන සේවකයෙක් සභාවට පැමිණියේය.

කවුරු හරි ඇහුවොත් අපි මොකක්ද මෙතන කළේ කියලා මහින්දානන්ද ඇමැතිතුමාගේ උපන්දිනය සමරන්න පාටියක් දැම්මා කියමු…

එසේ කියමින් මහින්දානන්දට කේක් කපන්නට ආරාධනා කළේ මධුරය…

ඉන් අනතුරුව පුංචි සාදයක් පැවැත්විණි. මධුර ආහාර පාන පිටතින් රැගෙන එන්නට කටයුතු සංවිධානය කර තිබිණි.

එදා එසේ සාකච්ඡා කර කෑමෙන් බීමෙන් අනතුරුව මන්ත්‍රීවරු නිවෙස් බලා පිටත් වූයේ ඉදිරියේදී එන අභියෝග සඳහා එක්වී උත්තර සෙවීමේ සාමුහික සූදානමක් ඇතිවයි.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment