එළුවන් සපා කෑවැයි බල්ලා එල්ලා මරලා – මාන්කුලමේ කතක් අත්අඩංගුවට

105

තම එළුපට්ටියේ එළුවන් සපා කෑ බව කියන සුනඛයකු එල්ලා මරා දැමූ මාන්කුලම් ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාවක පොලිසිය මගින් පෙරේදා (26දා) අත්අඩංගුවට ගෙන ඇත.

සුනඛයකු කඹයකින් එල්ලා මරා දමා සිටි ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසන අන්දමට සැකකාර කාන්තාවට අයත් එළු රෑනක සිටි එළුවන් කීපදෙනකු අවස්ථා කීපයකදීම මෙම සුනඛයා විසින් සපා කා ඇත. මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව සමථ මණ්ඩලයට කළ පැමිණිල්ලකට අනුව නඩු විභාගයක් පවත්වා තිබිණි. එහිදී සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ මෙම සුනඛයා තමාට හදාවඩා ගැනීමට අපහසු බවත්, එම සත්ත්වයා අයාලේ යන එකකු බවත්ය.

ඒ අවස්ථාවේ එළුපට්ටිය හිමි කාන්තාව සුනඛයා තමන්ට හදාවඩා ගැනීමට හැකි බව පවසා ඇත. ඊට සුනඛයාගේ හිමිකරු ද එකඟ වී ඇති අතර සමථ මණ්ඩලයේද එකඟතාව මත එම කාන්තාව හදාවඩා ගැනීමට යැයි පවසමින් සුනඛයා රැගෙන ගොස් තිබේ.

පසුව සැකකාර කාන්තාව සුනඛයාව විශාල කඹයකින් ගැටගසා ගසක එල්ලා මරාදමා ඇත. සුනඛයා කෑගසන හඬ ඇසී එම සත්ත්වයාගේ හිමිකරු පැමිණ බලද්දී එම සත්ත්වයා ගසක එල්ලා මරාදමා සිටිනු දැක ඇත.

පසුව එම පුද්ගලයා මෙම සුනඛයා එල්ලා මරාදමා සිටින අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල ප්‍රචාරය කර තිබේ.

සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment