ඞී. කේ. පී. දසනායකට, කරන්නාගොඩට නඩු දැම්මේ කරුණු අධ්‍යයනය නොකරද – විනිසුරු මඩුල්ල නීතිපතිගෙන් විමසයි

286

සුදු වෑන් භාවිත කරමින් 2008-2009 වසරවලදී කොළඹ දී තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවේ සාක්‍ෂි නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නොවන්නේ දැයි කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (13දා) නීතිපතිවරයාගෙන් විමසා සිටියේය.

එම විත්තිකරු ඇතුළු සෙසු විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් පවතින සාක්‍ෂි නැවත අධ්‍යයනය කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ යුහාන් අබේවික‍්‍රම මහතා අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී විනිසුරු ම`ඩුල්ල එලෙස විමසා සිටියේය.

එම නඩුව ඊයේ (13 දා) චම්පා ජානකි රාජරත්න, අමල් රජාරාජා හා නවරත්න මාරසිංහ යන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, රියර් අද්මිරාල් ඞී. කේ. පී. දසනායක යන මහත්වරුන් ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව අධිචෝදනා 667 ක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. සෙසු විත්තිකරුවන් 13 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් මුල් අවස්ථාවේ සිටම අධිකරණය හමුවේ පෙනී සිටීම පැහැර හැර තිබූ වසන්ත කරන්නාගොඩ මහතා එකී නඩු පැවරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කොට තිබිණි. එකී පෙත්සම ඊයේ (13 දා) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබූ බැවින් වෙනත් දිනයක නඩුව කැඳවන ලෙස පැමිණිල්ල කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරු ම`ඩුල්ල ලබන දෙසැම්බර් 3 වැනිදා දක්වා නඩුව කල්දැමීමට ද නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment