වැරදි ආකාරයට කුණු බැහැර කිරීමෙන් ඇතිවන දෝෂ

33

මේ කතාවේ කතානායකයා වන්නේ හේරත් කියන නමින් හඳුන්වන ප්‍රසිද්ධ ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ගොවිතැන් වලින් ධනවත් වූ මෙම පුද්ගලයා අහල පහළ ගම්වල පවා ප්‍රසිද්ධ චරිතයක්. තමන්ට අයත්ව තිබෙන විශාල ඉඩම් කීපයක් හැරුණ විට පදිංචි නිවස පිහිටි ඉඩම ද අක්කර 02ක පමණ ප්‍රමාණයක පැවතුණා. ප්‍රධාන මාර්ගයක් අසල ඔහුගේ නිවස පිහිටලා තිබුණ අතර එහි වාහන දැමීමට, වතුවලට ගෙනෙන පොහොර ගබඩා කිරීමට හා අනෙකුත් කෘෂි උපකරණ තැබීමට ගොඩනැගිලි කීපයක් තිබුණා. හේරත් මහතා බොහෝම සාමකාමී පුද්ගලයෙක් වගේම පිනට දහමට ළැදි පරිත්‍යාගශීලී අයෙක්. ඔහු යටතේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයකුත් සේවය කළා. කාලයක් ගත වෙද්දී හේරත් මහතාගේ ඇඟේ කුෂ්ඨයක් වැලඳී බොහෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා. දිනෙන් දින රෝගය වැඩිවීමක් හැරෙන්න අඩුවක් පැවතුණේ නෑ. සිංහල බෙහෙත් ඖෂධ මෙන්ම බටහිර ඖෂධ පාවිච්චි කළත් රෝගය අඩුවීමක් නෑ. ගෙදර අයට බෝවන නිසා ඔහු පරිහරණය කරන දේ පවා වෙන් කරලා තිබුණා. මේ තත්ත්වය නිසා හේරත් මහත්තයාට වතුවලට යන්න ඒවායේ වැඩකටයුතු ආදිය ද පරීක්ෂා කිරීමට යෑමට හැකිවූයේ නෑ. වැඩකරන අය හොරකම් කිරීමට ගත් අතර සමහර කෘෂි භෝගයන්ගේ නිසි ඵලදාවන් නෙළාගැනීමටත් අලෙවි කිරීමටත් නොහැකි වුණා. ඒවා රැගෙන යන වෙළෙඳුන්ගෙන් ලැබීමට තිබුණ මුදල් නොලැබුණු නිසා හේරත් මහතා දැඩි ආර්ථික දුෂ්කරතාවලට ද පත් වුණා. මෙම පුද්ගලයා මා පදිංචි ස්ථානයේ සිට 60නප පමණ දුරින් හිටපු අයෙක්. ඉරිදා දිවයින පත්තරේ නැකත අතිරේකයේ පළවන මාගේ ලිපිය කියවන අයෙක් දවසක් මගේ දුරකථනයට කතා කළා. තමන්ගේ නිවස පරීක්ෂා කර ගැනීමට පැමිණෙන ලෙස මට ආරාධනා කළා. පොරොන්දු වුණ දිනයට මා එම ස්ථානයට ගියේය. නිවස පරීක්ෂාවේදී නිවසේ වාස්තු දෝෂයන් කීපයක් ද පැවති අතර ඒවා හේරත් මහතා දැන් සිටින තත්ත්වයට පත්වීමට තරම් ප්‍රභල වූයේ නෑ. ඉන්පසු නිවස පිහිටි භූමිය පරීක්ෂාවේදී භූමියේ මධ්‍යයේ අලුතින් කපපු විශාල වළක් පැවති අතර එය පිහිටියේ ඉඩමේ හරිම මැද හෙවත් ගිනි කතිරය අසුවන ස්ථානයේය. එම වළට ඌරන්ගේ මලපහ, කුකුල් පොහොර හා නොයෙක් කුණු වර්ග එකතු කර දිරන්න තබා තිබුණ අතර විශාල දුර්ගන්ධයක් පැවතුණා. එම නිසා විශාල ටෙන්ට් එකකින් වළ ආවරණය කරලා තිබුණා. ඉතිං ඒක තමයි හේරත් මහතා රෝගීකර දුර්වල කිරීමට හේතු වුණ දේ. එනම් භූමියේ ගිනි කතුරු ලක්ෂ්‍යය මත වළක් පැවතීමත් එම වළ අපද්‍රව්‍ය, කුණු කසළ හෝ මළ අපද්‍රව්‍ය පැවතීමත් වාස්තු විද්‍යානුකූලව විශාල දෝෂයකට ලක්වීමත්, එම නිසා ශරීරයද අපිරිසිදුවට පත්ව ආර්ථික වශයෙන් ද දුර්වල තත්ත්වයට පත්වීම සිදුවන බව පුරාණයේ සිට වාස්තු ග්‍රන්ථවල සඳහන්ව පැවතුණ ද එය ප්‍රායෝගිකව අත්විඳීමට හැකි වුණේ මේ කාරණයත් සමගය. මෙයත් එක්කම අද දින වාස්තු ලිපිය තුළින් පෙන්වාදීමට අදහස් කරන්නේ නිවසේ කුණු කසළ නිසා ඇතිවන වාස්තු දෝෂයන් හා ඒ නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵලයන් සම්බන්ධවයි.

කුණු නැතිනම් අපද්‍රව්‍ය බැහැර කිරීම ගත් කළ නිවසකට පමණක් නොව පොදුවේ ගමක්, නගරයක්, රටක් මුහුණ දෙන බැරෑරුම් ගැටලුවකි. ග්‍රාමීය මට්ටමින් පවතින නිවෙස්වල නම් භූමියේ පවතින ඉඩකඩ නිසා කුණු කසළ වළ දැමීමේ හැකියාව පවතී. නමුත් එහිදී ද සැලකිය යුතු විශේෂ කරුණු නම් මෙම කුණු කසළ වළවල් භූමියේ මධ්‍ය ලක්ෂ්‍යයේ හෙවත් ගිනිකතුර පිහිටි ස්ථානයේ හෝ ඊශාන දිශාවේ, නිරිත දිශාවේ වළ දැමීම අශුභ බවයි. සමහර ව්‍යාපාරික ස්ථාන, වෙළෙඳසල් අසල ඊශාන දිශාවේ කුණු කසළ දැමීමත් ඒවාට ගින්දර දැමීමත් සිදුකරයි. ගින්දරට දමා පිලිස්සීම වරදක් නොවුණද එම ගින්දරට හසුවන කුණුවලින් දහනයත් සමග පිටවන දුර්ගන්ධයන් දුම් මාර්ගයෙන් වෙළෙඳසලේ, ව්‍යාපාරික ස්ථානයේ නැතිනම් නිවසේ අභ්‍යන්තරයට පැතිරීමෙන් එම ස්ථානයන්හි ඍණ ශක්තීන් වර්ධනයට හේතුවන අතර කුණු කසළ හා අපිරිසිදු ආකාරයෙන් නිවස පැවතීමෙන් එම කුණු දුර්ගන්ධයට ප්‍රියකරන අමනුෂ්‍ය, ප්‍රේත කොටස් ඉක්මනින් අපිරිසිදු ස්ථානයන්ගේ ග්‍රහණයට ලක්ව මෙම ප්‍රේත කොටස්වල සින්නක්කර අයිතියට පත්ව නිවැසියන්ට රෝග පීඩාදී, සමගිය, ධනය, විනාශයට පත්කරනු ඇත. නිවසේ මුළුතැන්ගෙය බොහෝ නිවෙස්වල ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතී. නිවස ඉදිරිපිට සාලය අලංකාරව, පිරිසිදුව පැවතුණද පිටුපස අපායක් බඳුය. සින්ක් එකේ වතුර පිටවන බටය අසල බිම මුළු කුස්සියම ගද ගස්සවයි. පිළුණු බත් ඇට, ව්‍යංජන කැබලි නරක්වී පණුවන් දඟලයි. මැස්සන් සෑම තැනකමය. කලින්දා රැස්කර ගත් කසළ බඳුන කුස්සිය තුළය. කිසිම මොහොතක එදිනට නියමිත කසළ බඳුන පසුදිනටත් කුස්සිය තුළ තබා නොගත යුතුය. මක් නිසාද මේවායෙන් හමන දුර්ගන්ධයන්ට කිසිම දේව ආකර්ශනයක් ඇති නොවීමය. ආකර්ශනය වන්නේ දුර්ගන්ධයන්ට ප්‍රිය කරන ප්‍රේතයන් පමණි. මුළුතැන්ගෙය තුළ තබා ඇති කුණු කසළ බඳුන කිසිම විටකවත් මුළුතැන්ගෙය ඇතුළත තබා නොගත යුතුය. ඒවා පිටත තැබිය යුතු අතර ඊශාන, උතුරු දිශාවල ද නොතැබිය යුතුය. සෑම විටම කසළ බඳුන පියනක් සහිතව පැවතිය යුතුයි. එසේ නොවුණ විට එම දුර්ගන්ධයට පැමිණෙන මැස්සන් ඒවා වලට වසා නිවස ඇතුළත කෑම බඳුන්වලට වැසීමෙන් ප්‍රායෝගිකවද අප රෝගී තත්ත්වයන්ට ගොදුරු වනු ඇත.

ඉඩකඩ පවතින භූමියක පිහිටි නිවසකට කුණු වළක් සාදා ගැනීමට හොඳම දිශාව වන්නේ බටහිර දිශාවයි. ලොකු කසළ බඳුනක් තබා හෝ බිම වළක් කපා කසළ දැමිය හැකි අතර ඒවා සුළං නොමැති මොහොතක වියළී ගිය පසු පිළිස්සීම ද එම ස්ථානයේ කිරීමට හැක.

නගරබද නිවෙස් පවතින අගනුවර වැනි තදාසන්න ප්‍රදේශවල කුණු ටැක්ටරය, ලොරිය, දෛනිකව නිවසේ කඩුල්ල අසලට පැමිණ බඳුන්වල දමා ඇති කසළ රැගෙන යනු ලබයි. නමුත් සමහර නිවෙස් අසල රාත්‍රියේ තබන කසළ බෑගය සුනඛයන් හපා විනාශකර කුණු කසළ සී සීකඩය. මෙය නිවසින් සමහර විට ඊශාන, උතුර, ගිනිකොණ, නිරිත දිග විය හැකිය. එවිට මේ දිශාවන්ගේ දුර්ගන්ධයන් දෛනිකව පැතිරීම ද එම දිශාවලින් නිවසට, ව්‍යාපාරික ස්ථානයට ඇදී එන ශක්තීන් දුර්වල වනු ඇත. ගේට්ටුව අසල එලෙස කසළ බෑගය තබන විට හොඳම මාර්ගය නම් ආධාරකයක් මත උසකින් කසළ බෑගය එල්ලීමෙන් සුනඛයන්ගෙන් වන හානිය වළක්වා ගැනීමට හැකිවේ. නැතිනම් ගේට්ටුව අසල කසළ උරය බඳුනක් තුළට දමා බඳුනේ කට පියනකින් වසා දැමීමය. නිවසක කුණු කසළවලටම අයත් දෙයකි. නිවසේ මිදුල අවට කෙළ ගැසීම, බුලත් කෙළ ගැසීම, ආහාර කොටස් විසි කිරීම ඒවා කෑමට පැමිණෙන සතුන් ද සුනඛයන් ද මළ පහ කිරීම, මුත්‍රා කිරීම් වැනි තත්ත්වයන් නිසා ද නිවස අවට කුණු කසළ ගොඩගැසීම සිදුවේ. සමහර සත්ත්වයන් විශේෂයෙන් නිවසේ ඇති කරන සිවුපා සතුන්, පරවියන් වැනි පක්ෂීන් නිසාද කසළ එකතු වේ. ඒවා දෛනිකව පිරිසිදු නොකිරීමෙන් නිවස අවට මෙන්ම අභ්‍යන්තරය ද දූෂණයට ලක්වේ. කෙසේ වුවද කුණු කසළ නිසි ආකාරයට බැහැර නොකිරීමෙන් නිවස, භූමිය දෝෂයට ලක්වීමත් එහි වෙසෙන නිවැසියන් රෝගී තත්ත්වයන්ට ලක්වීමත් වළකාගත නොහැක. මා මේ ලිපියේ ආරම්භයේදී සඳහන් කළ හේරත් මහතාගේ භූමියේ කුණු කසළ (කොම්පෝස්ට්) පොහොර වළ ශුද්ධකර වසා දැමීමෙන් සති කීපයකට පසුව ඔහුට සුවය ලැබී තමන්ගේ දෛනික කටයුතුවලට යළි සම්බන්ධ විය.

වැරදි ආකාරයට කුණු බැහැර කිරීමෙන් ඇතිවන දෝෂ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
077 785 6649.


advertistmentadvertistment