අජිත් නිවාඩ් කබ්රාල් සහ ලලිත් වීරතුංගට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් ලබාදුන් නියෝගයට එරෙහිව තිනියාවල පාලිත හිමියන් කළ පැමිණිල්ල දෙවැනි වරටත් ඉවතට

1

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව තමන් ගොනු කළ පෞද්ගලික පැමිණිල්ල නිෂ්ප්‍රභ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා තීනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ඊයේ (27දා) ප්‍රතික්ෂේප කළේය.

කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති එම නියෝගය නීතියට අනුකූලව ලබාදී ඇති නියෝගයක් වන බැවින් ලලිත් වීරතුංග හා අජිත් නිවාඩ් කබ්රාල් යන දෙදෙනා චෝදනාවලින් නිදහස් කරමින් ලබාදී ඇති නියෝගයට මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ස්ථිර කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ පදිංචි පාකිස්තාන ජාතික ඉමාම් සුබේරි නමැත්තාට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් නිසි අනුමැතියකින් තොරව ගෙවා ඇති බවට චෝදනා කරමින් තීනියාවල පාලිත හිමියන් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කළ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස තිළිණ ගමගේ මහතා එම පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම් කොට තිබූ ලලිත් වීරතුංග හා අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් නිදහස් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි.

2023.10.04 වැනිදා නිකුත් කළ එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා මහාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ පැමිණිලිකාර තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ හා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහත්වරු පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment