අද පොහොට්ටුව තමන්ගේ නායකයා අපේක්ෂකයා කවුද කියා ගන්න බැරි නට්ටක් වෙලා

80

ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය

අද වනවිට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට තමන්ගේ නායකයා සහ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද යන්න කියා ගත නොහැකිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් ගොඩයෑමට උත්සාහ දරන නට්ටක් බවට පත්ව තිබෙන බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පැවසුවාය.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති කාන්තාවන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරේදා (08) ඇය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේද කීවාය.

ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජයග්‍රහණය කරවා හැකිතාක් ඉක්මණින් මහ මැතිවරණයක් පවත්වා ජනතාවාදී පාර්ලිමේන්තුවක් බිහි කර රටේ ජනතාව මුහුණ පා සිටින රටේ ආර්ථික සමාජීය හා දේශපාලන ප්‍රශ්න විසඳීම අපේ බලාපොරොත්තුවයි. මේ වෙලාවෙදි කිසිම අවුලකින් තොරව තමන්ගෙ ප්‍රතිපත්ති ගරුක නායකයෙකු වටා ජනතාව එකතු වූ එකම පක්ෂය ජාතික ජනබලවේගය සමග එකතු වෙමින් සිටිනව. අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන පුද්ගලයන් අද මෙතන හෙට තවත් තැනකට පනින තත්ත්වයක ඉන්නෙ. ඒ අය ගැන ජනතාවට කිසිම විශ්වාසයක් නෑ.

ඔය එකම පක්ෂයකවත් ප්‍රතිපත්ති මොනවද කවුද එම පක්ෂ නියෝජනය කරන්නෙ කියා සිතා ගත නොහැකිව මිනිස්සු ඉන්නෙ. ඒ තරමටම එහාට මෙහාට පනිනව. ජාතික ජනබලවේගය කියන්නෙ මේ වෙලාවෙ කිසිම අවුල්භාවයක් නොමැතිව තමන්ගෙ ස්ථාවරය සමග ප්‍රතිපත්ති ගරුකව නායකයෙක් වටා එකතු වෙච්ච එකම දේශපාලන පක්ෂය.

අවුරුදු හතළිස් ගණනාවක් දේශපාලනය කර ඒ අතරතුර හය වතාවක් අගමැති හැටියටත් කටයුතු කර විසඳා ගැනීමට නොහැකි වූ ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ දැන් කොහොමද විසඳන්න යන්නෙ.

හදිසියේ මොකක්ද මේ රට ගොඩගැනීමට ඒ ගොල්ලන්ට දැන් කරන්න පුළුවන්. දැන් අයගේ යුගය ඉවරයි. ඒ අයගෙ යුගය අවසන් කිරීමට ජනතාව බලා සිටින්නෙ. දේශපාලන පරිවර්තනයක් හා නව දේශපාලන සංස්කෘතියක් තුළ ඒක නුදුරු කාලයේදී සිදු වෙනව. එවිට අපට රට ගොඩ නැගීමට හැකි වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවම තමන්ගේ නායකයා සහ ජානාධිපති ධූර අපේක්ෂකයා කවුද කියා කියා ගැනීමට හැකියාවක් නෑ. දැන් කී වතාවත් මෙතනින් නැගිටිනව අතනින් නැගිටිනවා කිය කියා අනුරාධපුරයෙන් පටන් ගත්ත. ඊට පසු හම්බන්තොටට ගියා. තවත් කොහේද ගියා. රැස්වීම් තිය තියා ගියාට තවම මොකක්වත් කියා ගැනීමට බැරිව ඉන්නෙ.

අඩුම තරමින් අනෙකුත් හැම දේශපාලන පක්ෂයකටම තමන්ගෙ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද කියා කියන්න හැකිවී තියෙනව. පොහොට්ටුවට ඒකවත් කරගැනීමට හැකියාවක් නෑ. ඒ ගොල්ලොත් අවසානයේ රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් ගොඩයෑමට බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒක දැන් පොහොට්ටුවක් නොවෙයි පර වෙච්ච නට්ටක් විතරයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment