කඩවත ප්‍රදේශයේ නිවෙසක් කුලී පදනම මත ලබා ගෙන ඉතාමත්ම රහසිගතව මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය ව්‍යාජ විදේශීය විස්කි නිෂ්පාදනය කරන හොර මත්පැන් ස්කාගාරයක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (27 වැනිදා) පස්වරුවේ සාර්ථකව වටලා ඇත.
මෙහි නිෂ්පාදනය කරන ව්‍යාජ විදේශීය විස්කි ආනයනය කරන ලද විස්කි නමින් වෙළෙඳ පොළට නිකුත් කරන බවට තොරතුරු ලැබී තිබෙන බව කියති. මෙහි තිබී නිෂ්පාදනය කරන ලද ව්‍යාජ විදේශීය විස්කි ලීටර් 53ක්, බෝතල් ගත කරන්නට සුදානම් කර තිබූ ව්‍යාජ විස්කි ලීටර් 114ක් හා අධිසැර ස්ප්‍රීතු ලීටර් 76ක් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත් අඩංගුවට ගැනිණි. මීට අමතරව එම ව්‍යාජ විදේශීය විස්කි නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා ලද බෝතලයේ මූඩීය සීල් කරන මැෂින් එකක්, මූඩියට පිටතින් සවිකරන පොලිතින් සීල් කරන සීලර් මැෂින් එකක්, මත්පැන්වල නියමිත සැර බැලීම සඳහා හාවිත කරන (හයිඩෝ මීටර්) උපකරණයක් හා මත්පැන් පෙරන ෆිල්ටරයක්ද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය භාරයට ගත්හ.
තවද මත්පැන් බෝතල්වල ඉදිරිපස හා පිටුපස අලවන ලේබල්, බෝතල්වල මූඩි, මූඩියට උඩින් සීල් කරන කැප් හා හිස් ලීටරයේ බෝතල් 96ක්ද සොයා ගන්නා ලදී. මේ සමග එහි රැඳී සිටින අයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. විස්කි බෝතල් 30ක් අලෙවි කිරීම සඳහා තිබෙන බවට අන්තර්ජාලය හරහා පළකර තිබූ දැන්වීමකට අනුව උපාය දූතයකු යොදවා මීගමුව ප්‍රදේශයේදී එම ව්‍යාජ විස්කි බෝතල් මිලයට ගෙන ඒ ගැන සිදු කරන ලද විමර්ශනයක් මත කඩවත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මෙම හොර මත්පැන් ස්කාගාරය වටලීමට හැකිවිය.
සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි, සුරාබදු පරීක්ෂක ඉන්දික ප්‍රියශාන්ත, සුරාබදු කෝප්‍රල්වරුන් වන අතුල (663), සම්පත් (722), නිශාන්ත (743), සුරාබදු නියාමක බුද්ධික (1188) හා සුරාබදු රියදුරු චින්තක යන නිලධාරීහු එක් වී සිටියහ. වැටලීමට එක්වූ සුරාබදු නිලධාරීහු සුරාබදු අධිකාරි සුනිල් පී. ආරච්චි හා ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි යන මහත්වරුන් සමග අත්අඩංගුවට ගත් භාණ්ඩද වෙති.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති