අන්නාවිරාළ

56

මේ රටේ ආර්ථික තත්ත්වය නම් දැන් ඉතාම නරක අතට හැරී, ඍණ මට්ටමකට පහළ වැටී ඇති බව රහසක් නොවේ. මේ අමාරුව දැන් දැන් පල්ලියට ද නරක අන්දමටම බලපා ඇති බව කීම මුසාවක් හෝ ලැජ්ජාවට කරුණක් නම් නොවේ.

විදුලි බිල විදුලිය ගමන් කරනවාටත් වඩා වේගයෙන් ඉහළ දමා ඇත. ඉස්සර පල්ලිවලට, පන්සල්වලට දී තිබූ සහන සේවය මේ වනවිට කොහේ ගොස් ඇතිදැයි දන්නේම නැත. රටකට ගිය කලක්. මිනිස්සු ධර්මයෙන් පවා ඈත්වීමට මෙවැනි කරුණු ද දැඩිසේ බලපානා බව නොරහසකි.

පාලකයන් ජනතාවට කෙසේ වෙතත් දහමට ද බයක් නැත. ඒ බව මෙවැනි අමනෝඥ ක්‍රියාවලින් මොනවට පැහැදිලි වේ. විදුලිය පිරිමසමින් කටයුතු කිරීමට පල්ලියට හැකියාවක් නැත. ඒ බැතිමතුනගේ පහසුව වෙනුවෙනි. මා අන්නාවි තැන හැටියට පියතුමා සමග ද විදුලි බිල සම්බන්ධයෙන් කතා කළා.

උන්වහන්සේ ද පවසන්නේ බැතිමතුන් වෙනුවෙන් අප මේවා දරාගත යුතු බවකි. ජනයා ද පසුවන්නේ මහා ආර්ථික අපහසුතා මධ්‍යයේය. ඒ නිසා මීසම්වාසීනට වැඩි බරක් නොවෙනා අයුරට කටයුතු කරමු යැයි පියතුමා ද පවසන්නේ දේව භක්තිය ද සිහි කරමිනි.

එය සත්‍යයකි. ජනතාව බඩගින්නේය. දරුවන් අසරණ වෙලාය. මව්පියන් ඊටත් වඩා අසරණ තත්ත්වයට පත්ව ඇත. පල්ලිය ද මේ අමාරු අවස්ථාවේ වුව ද අසරණ පවුල් වෙනුවෙන් උදවු කරනුයේ ජේසුගේ ක්‍රියාවන් සිහියට නඟමිනි. මෙවරත් පල්ලිය අසරණ පවුල්වලට වියළි ආහාර පාර්සල් බෙදා දුන්නා. ඊට අමතරව දරුවන් සඳහා අවශ්‍ය දේ ද බෙදා දුන්නා.

පියතුමා මේ අසරණ පවුල් පිළිබඳව දැඩි ශෝකයකින් පසුවෙන බව මා හොඳටම දන්නවා. මා සමගත් උන්වහන්සේ මේ අසරණ පවුල් පිළිබඳව කතා කරනවා. මීසමේ ඇති හැකි අය පියතුමාට මේ අසරණයන්ට උපකාර කිරීමට සහාය ද ලබාදෙනවා. ඒ කතෝලිකකමය.

ඒත් දෙවියනේ! පියතුමාට මේ අසරණ පවුල්වල බඩගින්න නිවා දැමිය හැකි ද? එය ප්‍රශ්නයක් බව සැබෑය. ජේසුතුමා ද එකල මෙවැනි ප්‍රශ්න සඳහා මැදිහත් වූ අන්දම බයිබලයේ ද සඳහන්ව ඇත.

කතෝලික ජනයා සිත් උණුවන ධාර්මිකයන් බවට ප්‍රකටය. ඒත් රටේ පාලනය මෙහෙය වන අය හා රට පාලනය කරන්න එන්න බලා සිටින අය ද මේ දුක පිළිබඳව කිසිදු සංවේදී හැඟීමක් නැතිව කටයුතු කරනුයේ විකාරරූපී හැඟීමෙනි. නමුදු දෙවියන් වහන්සේට මේ සත්‍ය වසන් කළ නොහැක. ඉරුදින දිව්‍ය පූජා මෙහෙයට පූජා කරනා පඬුරු වශයෙන් පිදෙන ආහාර, පොත්පත් හා වෙනත් දෑ පියතුමා අසරණයන් අතර බෙදා දෙයි. මේ ක්‍රියා ප්‍රසිද්ධියේ සිදුකරනා ක්‍රියාවන් නොවේ.

ස්වාමීන් වහන්සේ ද වදාරා ඇත්තේ දකුණතින් දෙන දේ වමතට හෝ නොදැනෙන ලෙස දෙන්න කියාය. අපගේ උතුම් දහමේ සැබෑව සත්‍යය එයය. කිතුනුවන් දිවි ගෙවන්නේ මේ වදන් ද සිහියට ගෙනය. කතෝලික භාවයේ අර්ථය ද එයය.

දැන් මුළු රටේ සකල ජනී ජනයාම වැටී ඇත්තේ එකම වළකටය. නැත්තන්ට මෙන්ම ඇත්තන්ට ද ප්‍රශ්න රැසකි. දිනෙන් දින පාපයේ අඳුර සියල්ලන් වසා ගනිමින් සිටී. කියන්නට සිටිනුයේ දෙවියන් වහන්සේ පමණකි. සමහරු අසන්නේ දෙවියනි ඔබ කොහේ ද කියාය. එය වැරදිය. මිනිසාගේ පාපී ක්‍රියාවනට දෙවියන් වහන්සේ කුමක් කරන්නද?

එය අප තේරුම් ගත යුතුය. වෙළෙඳ මාපියාව සමාජයම ගිල ගනිමින් සිටී. අසාධාරණය රජ වෙලාය. එහෙත් ගැලවීම ධර්මය තුළ පමණි. ඒ නිසා සැවොම ධර්මය තුළ සැරි සරමු. නැවත හමුවනතුරු ජේසු පිහිටයි!

ලයනල් පී. පෙරේරා

අන්නාවිරාළ
advertistmentadvertistment
advertistmentadvertistment