උණුසුම් දේශපාලන සිදුවීම් රැසක් සහිත 2024 වසර අවසන් වී තවත් වසරක් උදා වූයේ අභියෝගාත්මක වසරක් ලෙසයි. සීතල නත්තලින් පසු උදාවූ දින කිහිපය තුළ අපේ රටේ බොහෝ දේශපාලනඥයෝ විවේකීව සිටියා යැයි කිවහොත් නිවැරදිය.

අවුරුද්ද අවසානයේ විදේශගත වීම පුරුද්දක් කරගෙන සිටි ඇතැම් දේශපාලනඥයෝ පසුගිය සතියේත් සිටියේ පිටරටය. විනෝදයට හා විවේකයට බර තවත් පිරිසක් නුවරඑළිය, බදුලු, බණ්ඩාරවෙල ආදී සීතල පළාත්වලය. බොහෝ දෙනෙක් ගම්පළාත්වලය. එහෙයින් කොළඹ දේශපාලන කරළිය ඒ තරම් ක්‍රියාකාරී එකක් වූයේ නැත.

එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවේ බොහෝ දේශපාලනඥයෝ අභියෝගාත්මක ලෙස තම වගකීම්වලින් බැඳී 2024 අවසන් කර 2025 වසරේ තම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අභියෝගය සමග උරෙනුර ගැටී සිටියහ. කොටින්ම කිවහොත් ජනාධිපතිවරයා සිටියේ වගකීම්වලින් පිරි දැවැන්ත වැඩපිළිවෙළක් නව වසර වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙට නායකත්වය දෙමිනි.

ඒ සඳහා නියමු ව්‍යාපෘතිය ලෙස ජනාධිපතිවරයා නව වසර ආරම්භයේම “clean sri lanka see” වැඩසටහන පටන් ගත්තේය. ක්ලීන් ශ්‍රී ලංකා සී යනු මේ රටේ පුළුල් සාමාජීය පාරිසරික හා ආකල්පමය වෙනසක් හා පරිවර්තනයක් ඇති කිරීමේ නියමු වැඩසටහනයි. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට මේ පිළිබඳ රටට හඳුන්වා දෙමින් කරනු ලබන කතාව රට පුරා 15 ලක්ෂයක් පමණ වූ රාජ්‍ය සේවකයන්ට අසන්නට සලස්වා ඔවුන් තුළින් රටේ ජනතාව වෙත මේ පිළිබඳ පණිවිඩය ගෙන යන්නට සියල්ල සැලසුම් කර තිබිණි.

ඒ අනුව නියමු ව්‍යාපෘතිය ආරම්භ වූයේ පසුගිය ජනවාරි 01 වැනිදා උදේ 9.00 ට ජනාධිපති කාර්යාලයේ සිටය. එම සුවිශේෂී අවස්ථාවට සහභාගි වන්නට කාදිනල්තුමා ප්‍රමුඛ ආගමික නායකතුමන්ලාට, කැබිනට් මණ්ඩලයේ මැති ඇමැතිවරුන්ට, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, තානාපතිවරුන්ට, මේ රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට හා ව්‍යවසායකයන්ට මෙන්ම මාධ්‍ය ප්‍රධානීන්ට ආරාධනය කර තිබිණි.

ජනාධිපතිවරයාගේ ප්‍රධාන දේශනයෙන් වැඩසටහන ආරම්භ විය. විනාඩි හතළිහකින් එම වැඩසටහන අවසන් වූ පසුව පැමිණ සිටි ආරාධිත අමුත්තන්ටත් ජනාධිපති කාර්යාලයේ සේවක සේවිකාවන්ටත් වෙන් වුණු තේ පැන් සංග්‍රහය සඳහා සියල්ලන්ටම ආරාධනය කර තිබිණි.

මෙම උත්සවයේ ආරාධනා ලැබු විශේෂ අමුත්තන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පැමිණ සිටියහ. ජනාධිපති අනුර වැඩි වේලාවක් කතා කරමින් රැඳී සිටියේ ඔවුන් සමගය.

ජනාධිපති කීවේ තමන් වැඩිය ප්‍රසිද්ධියේ ක්‍රිකට් ගැන කතා නොකළාට එදා සිටම තමන් හොඳ ක්‍රිකට් පිස්සකු බවයි. එමගින් ක්‍රිකට් ගැන කතා කරන්නට අරවින්දට මහේලට මෙන්ම සංගාට හොඳ ප්‍රවේශයක් ලැබී තිබිණි.

“මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩේත් ක්‍රිකට් වගේම ගේම් එකක්. අපි මේක හොඳට ප්ලේ කරන්න ඕන.. පරාද නොවී….” ජනාධිපති කීවේය.

“කැපවීමයි වැදගත්…”

“ඔව්… 1996 දී අරවින්දලා කැපවෙලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩ දැම්මා වගේ, 2014දී මහේල සංගා කැපවෙලා ක්‍රිකට් ගොඩ දැම්මා වගේ මේ පාර අපි කට්ටියම එකතුවෙලා මේ ගේම් එක ගොඩදාමු…” ජනාධිපතිවරයා ක්‍රිකට් භාෂාවෙන්ම කියද්දී ක්‍රීඩකයන් තුන්දෙනාම ඊට එක පයින් එකඟ වෙමින් කතා බස් කරමින් රැඳී සිටීම විශේෂත්වයකි.

එම උත්සවයෙන් අනතුරුව එහි රැඳී සිටි මැති ඇමැතිවරු තම තමන්ගේ අමාත්‍යාංශවලට ගොස් නිලධාරීන් හා කතාබස්කර සතුටින් අලුත් වසරේ වැඩ පටන් ගත්හ. මුළු රාජ්‍ය අංශයේම ලොකු ප්‍රබෝධයක් දැක ගත හැකි විය. නව රජයේ නව වැඩපිළිවෙළ කෙරෙහි මුළු මහත් රාජ්‍ය අංශයේම විශ්වාසය හා බලාපොරොත්තුව රැඳී පවතින බව පෙනෙන්නට තිබුණේ නව ඇඳුම් පැළඳුම්වලින් සැරසී අලුත් අවුරුද්දේ වැඩ පටන් ගැනීම වෙනුවෙන් මේ රටේ රාජ්‍ය සේවකයෝ සැදී පැහැදී රාජ්‍යතන්ත්‍රය හා එක්ව කටයුතු කළ නිසාය.

සමගි ජන බලවේගය හැමදාම සමගියෙන්ද..!

ආණ්ඩු පක්ෂය එසේ ශක්තිමත්ව නව වසරේ වැඩ පටන් ගනිද්දී මේ රටේ ක්‍රියාකාරී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පසුගිය දින කීපය තුළ එතරම් සමගියක් හා සමාදානයක් ප්‍රදර්ශනය වූයේ නැත.

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනා හැරුණු විට රටේ පිළිගත් ප්‍රවීණ දේශපාලනඥයන් බොහෝ දෙනා දේශපාලන කටයුතුවලට වෙනදා තරම් සංවේදීව සහභාගි නොවී නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම කැපී පෙනෙන කාරණාවක් වූහ. ඔවුන් තුළ පක්ෂය ඇතුළාන්තයේ නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක් බරපතළ අසමගියක් ඇතිකර තිබෙන බව පිටින් බලන ඕනෑම කෙනකුට දැකගත හැකි විය.

ඒත් සමගම පසුගිය දිනක සමගි ජන බලවේගය පිළිබඳ රටේ ආරංචියක් පැතිර ගියේ, සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්තරා අන්දමක විවේචනාත්මක ලිපියක් යවා ඇතැයි කියාය. මේ ලිපිය නිසා අතුළාන්තයේ මත ගැටුමක් සිදු වී අභ්‍යන්තරයේ පිල් බිඳීමක් ඇතැයි කියාය…

පසුගිය වසර අවසානයේ දිනක සමගි ජන බලවේගයේ නායකයෝ කීප දෙනෙක් හමුවූ අවස්ථාවක මාධ්‍යවේදීන් සමග මේ ගැන කතාබහක් ඇති විය. එහිදී ඉමිතියාස්ගේ ලියුම පිළිබඳ කතාබහක් ඇති විය.

“ලියුම් එකක් නෙවෙයි. දෙකක් එතුමා යවලා තියෙනවා. හැබැයි ඔය පැතිරෙන කතා බොරු. ආන්දෝලනාත්මක ලියුම් නෙවෙයි. සාමාන්‍යයෙන් අපේ පක්ෂයේ අය තමන්ට පෙනෙන අඩුපාඩු ගැන ඔය වගේ ලිපිවලින් නායකත්වය දැනුවත් කරනවා. අපි දන්න විදිහට ඔතන තියෙන්නේ එච්චරයි…”

එහෙත් ගැඹුරින් කතාබහ යන විට එහි ඇතුළාන්තයේ ප්‍රශ්නය මතුපිටට ගන්න මාධ්‍යවේදියකුට හැකි විය.

ජනාධිපතිවරණයෙන් දින 10කට පමණ පසුව සමගි ජන බලවේගයේ කළමනාකාරී මණ්ඩලයේ රැස්වීමක් පැවති අවස්ථාවක පක්ෂයේ සභාපති ලෙස ඉමිතියාස් එහි සිටි ජ්‍යෙෂ්ඨයන් ඉදිරියේ එක්තරා යෝජනාවක් කර ඇත.

“අපි මේ ඡන්දය පැරදුනේ අපේ අඩුපාඩු හින්දා. දිනන්න තිබුණ ඡන්දයක්. දැන් අපි වහාම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න ඕන අපේ අඩුපාඩු මොනවද කියලා. වහාම කමිටුවක් පත් කරන්න. අපේ අඩුපාඩු හඳුනාගෙන වහා පිළියම් යොදන්න. ඊළඟ ඡන්දය අපිට පරදින්න බෑ…”

“ඔය කමිටුවට මේ ලක්ෂ්මන්වත් දාගන්න. එයා මේක බී්‍රෆ් කරාවි…” සජිත් කියා ඇත්තේ එහි පසෙක වාඩි වී හුන් ලක්ෂ්මන් ෆොන්සේකා පෙන්වමිනි.

“ඒකට මම විරුද්ධයි. ජනාධිපතිවරණයේ වගකීම් දරපු කිසිම කෙනෙක් ඔය කමිටුවට දාලා බෑ…”

එහෙත් සතියක් දෙකක් ගිය මුත් කමිටුවක් පත් කර තිබුණේ නැත. ඉමිතියාස් පළමු ලිපිය යවනු ලැබුවේ එම කමිටුව පත්කිරීම ගැන සිහිකැඳවීමටය. ලිපිය නායකතුමන්ටත් පක්ෂයේ මහ ලේකම්ටත් පමණි.

ඊට කිසිත් ප්‍රතිචාරයක් නොමැති තැන ඔහු නැවත වරක් එවන් ලිපියක් කරුණු දොළහකින් යුතුව යවනු ලැබීය. පක්ෂ නායකයාට ලේකම්ට අමතරව භාණ්ඩාගාරිකටත්, ජාතික සංවිධායකටත් එහි පිටපත් දෙකක් වෙන්කර තිබිණි. පළමු ලිපියට සිහිකැඳවීමක් ලෙස දෙවනි ලිපිය යවනු ලැබුවද එයින් ද කිසිවක් සිදුවී නැත. එකම දේ එවන් ලිපියක් දෙවැනි වරටත් යැවූ බව පමණක් මාධ්‍යවලට තොරතුරු හෙළි වී තිබීමය.

ඉන් පසුව මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ජාතික ලැයිස්තුව පත්කිරීමේ අර්බුදය මතු විය. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර ලබාදීම මුලදී තීරණය කර තිබුණේ ජාතික ලැයිස්තුවේම අයට පමණක් දිය යුතු බවය. එහෙත් මනෝ ගනේෂන් කොළඹ ලැයිස්තුවෙන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ සුළු ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් මනෝට දෙන්නැයි එක හඬින් කියා සිටියහ. ඒ වන විටත් පක්ෂ නායකත්වය ජාතික ලැයිස්තුවේ එක් ධුරයක් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට ලබාදී තිබිණි. ඉතිරි මන්ත්‍රී ධුර සඳහා ඉමිතියාස් ඩලස්, සුජීව, මහාචාර්ය ජී. එල්. මෙන්ම සමගි ජන සන්ධානයේ නියෝජිතයෝ රැසක්ම බලා සිටියහ. ඡන්දය ඉල්ලා පරාජය වූ අයටත් ජාතික ලැයිස්තුවෙන් අවස්ථා දෙනවා නම් තමන්ටත් අවස්ථාවක් දෙන්නැයි කියා කී අයද ගණනාවකි. තුෂාර ඉඳුනිල් බරපතළ ඉල්ලීමක් කළේය. තිස්ස අත්තනායකට ද දිය යුතු විය. හිරුණිකාටත් ඉල්ලන්නට සාධාරණ අයිතියක් තිබිණි.

මේ තත්ත්වය පිළිබඳ ඇතිවූ සාකච්ඡාවකදී පක්ෂ නායකයා සහ පක්ෂයේ සභාපතිවරයා වෙනම සාකච්ඡා කර තිබිණි.

“ඔබතුමාට ඕක ලේසියෙන් විසඳන්න තිබුණා. පළමු අවස්ථාවේදීම මහ ලේකම්ගේ නමත් එක්ක සභාපතිගේ නමත් යවලා තිබුණ නම් ගොඩක් ගැටලු මතු මතුවන්නේ නෑ…” ඒ අවස්ථාවේ ඉමිතියාස් ඒ ගැන කියා තිබුණේ එවන් අදහසක් පමණි. සාමාන්‍යයෙන් ඉමිතියාස් ගැටලු ඇති කරගන්නකු නොවේ. අර්බුද ඇති කරන්නෙකුද නොවේ. රණසිංහ ප්‍රේමදාස පුරවැසි පෙරමුණ පටන්ගත් කාලයේ පටන් ශිෂ්‍ය නායකයකු ලෙස දේශපාලනය පටන්ගෙන යුක්තිය සාධාරණය වෙනුවෙන් කතා කළා මිස මමත්වය වෙනුවෙන් කතා කළ බවකට සාක්ෂි ඉතිහාසයේ කිසිවක් නොවීය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර ඒ පිළිබඳ කතාබහක් ඇති විය.

අලුත් වසරක් උදාවූයේ සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ එවන් සාමාජික ගැටලු කීපයක් ඔඩු දුවමින් තිබියදීය. ඔවුන් ක්‍රියාකාරී තලයේ එවන් ගැටලුවලට විසඳුම් සොයන බවක් පෙනෙන්නට නොවූහ.

මෛත්‍රී නායකත්වය එපා කියා කිව්වාද…?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වසරේ අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පෑවේ විවිධ අර්බුද නිසා සීසීකඩ විසිර ගොස් අවසානයේ කණ්ඩායම් කීපයක් බවට පත් වූ නිසාය. නායකයා එක පැත්තකය. ලේකම් තවත් පැත්තකය. සභාපතිවරු කීපදෙනෙකි. ලේකම්වරු ද ඒ තරමටය. ඒ ඒ තනතුරුවල අයිතියට එරෙහිව ඒ ඒ කණ්ඩායම් නඩු දමා පක්ෂය ඇතුළේම නඩු කන්දරාවකි.

තමන් විවේකීව විශ්‍රාමිකව සිටිය යුතු සමයේ නඩු ගණනාවකට මුහුණ දීමෙන් ඇතිවූ වෙහෙස හා සිත් තැවුල හේතුවෙන් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනක එක්තරා වැදගත් තීන්දුවක් ගත්තේය. ඔහු පක්ෂයේ ලොකුම පාර්ශ්වය වන නිමල් සිරිපාල පාර්ශ්වයෙන් එක්තරා ඉල්ලීමක් කළේය. ඒ තමන් වෙත දමා ඇති හා තමන්ව නම්කර ඇති නඩුවලින් තමන්ව නිදහස් කරන ලෙසයි. පක්ෂයේ කිසිදු තනතුරකට තමන් මින් මතුව අයිතිවාසිකම් නොකියන බවට සඳහනක් ද එම ඉල්ලීම මත ඇතැයි සමහරු කියති. එහෙත් ඒ පිළිබඳ ඔහු තවම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත. කියා ඇත්තේ නඩු හබවලට ඉදිරිපත් වන්නේ නැති බව පමණි.

මෙම තත්ත්වය තුළ මෛත්‍රී පක්ෂයේ නායකත්වය අත්හැරියේ දැයි යන ප්‍රශ්නය බොහෝ දෙනා මෛත්‍රී පාර්ශ්වයේ සමහරෙකුගෙන් අහන්නට වූහ.

පසුගිය තිස් වැනිදා පාන්දර මෛත්‍රිපාල සිරිසේන අනුරාධපුර රුවන්වැලි සෑයට ගොස් වැඳ පුදා ගෙන අනතුරුව විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ හාමුදුරුවන් හා සාකච්ඡාවක නිරත වී සිටියේය. ඒ අතර දයාසිරි ජයසේකර ද තම පවුලේ උදවිය සමග රුවන්වැලි සෑය වඳින්නට ගොස් සිටියේය.

දයාසිරි ද ලොකු හාමුදුරුවන් හමුවන්නට ගියත් එතන මෛත්‍රී සිටින බව ආරංචි වී ආපසු එන්නට තනන විට ඊතලවැටුණුවැවේ ලොකු හාමුදුරුවන්ගෙන් ඔහුට ඇමතුමක් ලැබිණි.

“මොකද පිට පාරේ යන්නේ… ආවාසයට ඇවිල්ල යන්න. තව දන්න කෙනෙකුත් මෙතන ඉන්නවා…”

දයාසිරි ඉන් පසුව මහානායක හිමියන් හමුවන්නට ගොස් අවසර ගෙන ටික වේලාවක් කතාබස් කරමින් සිටියේය. මෛත්‍රී සමග දයාසිරිත් මෙසේ ආගිය තොරතුරු කතා කරමින් ටික වේලාවක් කල්ගත කළේය. දෙදෙනා වෙන්ව ගියේ ඉන් පසුවයි.

මාධ්‍ය මේ දෙදෙනාව හසු කරගන්නට උත්සාහ කළත් ඒ සඳහා ඔවුන්ට නිසි අවස්ථාවක් ලැබුණේ නැති තරම්ය.

මේ අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ගිය අවුරුද්ද අවසානයේ පවත්වන කතරගම පිරිත් පින්කම සංවිධානය කරමින් සිටියහ. සෑම අවුරුද්දකම දෙසැම්බර් 31 වැනිදා කතරගම කිරිවෙහෙර හා මහ දේවාලය අතර පුදබිමේ, ස්ථිර පිරිත් මණ්ඩපයක් තනා පිරිත් සජ්ඣායනය කර පසුදා මහා දානයක් පැවැත්වීමේ පින්කම ආරම්භ කර තිබුණේ සිරිමාවෝ මැතිනිය අගමැතිනියව සිටි කාලයේ පටන්ය. ඇයත් ඇගෙන් පසුව චන්ද්‍රිකා මැතිනියත් එතුමියගෙන් පසුව මහින්ද රාජපක්ෂත් දිගින් දිගටම පවත්වාගෙන ආ පින්කම දැන් කරමින් සිටින්නේ මහින්ද අමරවීර ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමයි. එහෙත් පසුගිය සෑම වසරකම මහින්ද රාජපක්ෂ ද එම අවස්ථාවේ කතරගම යෑම නොකඩවාම සිදු කරන ලද්දකි.

මේ අවුරුද්දේ පිරිත් පින්කම සංවිධානය කිරීමට කල්වේලා ඇතිව නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායම සහභාගි වී සිටියහ. ඒ කණ්ඩායමේ දැන් සිටින එකම මන්ත්‍රීවරයා චාමර සම්පත් දසනායක පමණි. චාමර ද පැමිණ සිටියේය.

මේ අවුරුද්දේ මහින්ද දෙවියන්ගෙන් ඉල්ලූ දේ..!

අවුරුද්ද අවසානයේ නිවාඩුවට විවේක ගන්නට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙක් කල් වේලා ඇතිවම නුවරඑළියට ගොස් හිටියහ. එදා 31 වැනිදා උදේ මහින්ද ශිරන්ති, නාමල්, ලිමිනි ඇතුළු කණ්ඩායම නුවරඑළියේ සිට මහනුවරට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත්හ.

මහනුවර රාජකාරී හා හමුවීම් අවසන් කළ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කල් වේලා ඇතිවම කොළඹ බලා පිටත් වූයේ එදින හවස නැවත කතරගම යෑමටත් යොදාගෙන තිබූ නිසාය.

එහෙත් ඔවුන් තනි වාහනේ කොළඹට ළඟා වන විට නාමල්ගේ සිඟිති පුතු හොඳටම අසනීපව සිටියේය. කුඩා දරුවාට හොඳටම උණ ගැනී තිබිණ. අසනීප තත්ත්වය හා වෙහෙස මහන්සිය නිසා වෛද්‍ය උපදෙස් පිට නාමල් තම දරුවා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය. මේ නිසා කතරගම යන ගමනට නාමල්ටත් ලිමිනිටත් යෑමට නොහැකි වූහ.

තමන්ට ලබාදී තිබෙන ස්වල්ප ආරක්ෂාව සහිතව මහින්ද රාජපක්ෂ ගමන් වෙහෙස පවා නොසලකා කතරගම යනු ලැබුවේය. කතරගමදී මහින්දව පිළිගනු ලැබුවේ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිශාන් ගුණසේකරය.

මද වේලාවක විවේකයකින් අනතුරුව රාත්‍රී කතරගම පූජා භූමියට මහින්ද ඇතුළු කණ්ඩායම ගොස් සිටියහ. ඒ වන විට පිරිත් පින්කම පටන්ගැන්ම සඳහා නිමල් සිරිපාල, අමරවීර, දුමින්ද ඇතුළු කණ්ඩායම ද පැමිණ සිටියහ.

මේ දෙගොල්ලෝ කිරිවෙහෙර අබියස දී එකිනෙකා හමුවී කතාබහ කළහ.

මොකෝ සර් අද නාමල් මල්ලි පේන්න නැත්තේ…

එයාට පුංචි අකරතැබ්බයක් වුණානේ. අපේ මුණුබුරා අසනීප වුණා. නාමල් දැන් දරුවා ළඟ හොස්පිටල් එකේ… මහින්ද විස්තර කීවේ චාමර සම්පත්ගේ ප්‍රශ්නයකට උත්තර දෙමිනි.

අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහය සූදානම් කර තිබුණේ අභිනවාරාමයේ ලොකු හාමුදුරුවන් වහන්සේය. ඒ අතර සිදුවූ කතාබස් බොහෝය. සමහර කතා බස්වලට මාතෘකා වූයේ වත්මන් ආණ්ඩුවයි. වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරු කරන වැඩ ගැනයි.

“මුන්ට වැඩ බෑ… හැමතැනම අනාගන්නවා. වෙන මොනවත් ඕන නෑ සර්. මෙවුන්ට හරියට අහු නෙවෙන්න කොටුවක්වත් පැන ගන්න බෑ…”

“ඉතින් පාර්ලිමේන්තුවේ ප්‍රවීණ මන්ත්‍රීවරු ඉන්නේ ආධුනිකයන්ට ඕවා ගැන කියලා දෙන්න තමයි. හොඳ ටියුෂන් එකක් දෙන එකනේ තියෙන්නේ..” හිටපු මන්ත්‍රීවරයෙක් චාමරට කියද්දී…

“ටියුෂන් දෙන්න නම් ඉතින් හොඳම පලපුරුද්ද ඇති අයත් ඉන්නවා… ඒ අයගෙන් ටියුෂන් ගත්තොත් වරදින්නේ නෑ…” චාමර සම්පත් කාටදෝ සරදමක් කරමින් එසේ කියද්දී සැවොම හයියෙන් හඬ නඟා සිනාසෙන්නට වූහ.

2024 වසර අවසන් වී නව වසරට එළඹෙන මොහොතේ මුල්ම පූජාව තබමින් මහා දේවාලයේ වැඩ ආරම්භ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. මැති ඇමැතිවරු ප්‍රභූවරු ව්‍යාපාරිකයෝ හා සාමාන්‍ය ජනතාව දහස් ගණනක් ඒ වන විට දේවාල මළුවේ රැස්ව සිටියහ. ඇතැම් පුද්ගලයන් නිදහසේ මහින්ද රාජපක්ෂ ළඟට ද පැමිණ කතාබහ කළහ.

අලුත් අවුරුද්දේ සර් පූජාව තියලා මොනවද ප්‍රාර්ථනා කළේ?..

“වෙන මොනවද… ඕගොල්ලන්ට අඩුම තරමින් කන්න අඳින්නවත් හරියට තියෙන අවුරුද්දක් දෙන්න කියලා. රටින් ගෙන්නන්නෙ නැතුව කිරිබත් ටිකක් කන්න දේශීය කැකුළු හාල් ටිකක්…”

ගෝඨාභය නැවැත්වූ කෙරුවාව නැවත එයි…

ජනවාරි පළමුවැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයේත් තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. ඒ වන විට මහින්ද සිටියේ තංගල්ලේය. එනමුත් අලුත් අවුරුද්දේ තම දේශපාලන හිතවතුන් සමග කිරිබත් කෑල්ලක් කන්නට නාමල් පැමිණ සිටියේය.

මහලේකම් සාගර කාරියවසම් නව වසරේ වැඩ පටන් ගත්තේම නාමල්ට ස්තුති කරමිනි. ඒ රෝහලේ සිට මේ අවස්ථාවට පැමිණීම ගැනයි.

“ගිය අවුරුද්දේ අපට ගොඩක් වැරදුන තැන් තිබුණා. මේ අවුරුද්දේ අපි ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕන…” නාමල් කීවේය.

“තියෙන්නේ අලුත් ආණ්ඩුවක් නිසා අපිට දේශපාලනය පටන් ගන්න ගොඩක් කල් බලන් ඉන්න වේවි කියලා හිතුවා. පේන විදිහට අපිට ඒ හැටි කාලයක් නෑ. මේ ගොල්ලෝ ඉතා ඉක්මනින් බැරි බව ඔප්පු කරමින් ඉන්නවා…” සාගර කාරියවසම් කීවේය.

දේශපාලන කතා බස් අතරේම තේ මේසය විවෘත විය. එකිනෙකාට සුබ පතා ගනිමින් තේ පැන් බීම ආරම්භ කළ දේශපාලනඥයෝ තත්කාලීන දේශපාලන ප්‍රවණතා ගැන කතාබස් කරමින් සිටියහ.

කතා බහට ඕනෑ තරම් මාතෘකා තිබිණි. මොනවද අපි කතාබහ කරන්නේ. උගන්ඩා ඩොලර් ගැන කතා කරනවද. බිරිඳගේ ප්‍රාඩෝ ගැන කතා කරනවද. එහෙමත් නැත්තං ගාමන්ඩ් ෆැක්ටරි එකෙන් ට්‍රාන්ස්පෝට් කප්පං ගැන කතා කරනවද…”

හිටපු මන්ත්‍රීවරයෙක් එසේ අසද්දී කප්පං කතාව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. ඒ නිසා එතන සිටි හිටපු මන්ත්‍රීවරයෙකුට කප්පං කතාවේ අග මුළු පැහැදිලි කරන්නට සිදුවිය.

“බිංගිරියේ තියෙනවා ලොකු ගාමන්ට් ෆැක්ටරි එකක්. ඒකේ නම බෙන්ජි. ඕකෙ වැඩට බස්රථ දෙසීයකින් විතර සේවකයෝ දිනපතා ට්‍රාන්ස්පෝට් කරනවා…”

“ඉතින් ඒක වැරැද්දක්ද… එහෙම තමයි ෆැක්ටරි…”

“ඉන්නකො පනින් නැතුව කියනකං. ඉස්සර ඔය ෆැක්ටරියේ ට්‍රාන්ස්පෝට් වැඩේ සිද්ධ වෙන්නේ දේශපාලන අනුග්‍රහයෙන්. පළාතේ දේශපාලන බලවතාගේ කෙනෙක් තමයි ට්‍රාන්ස්පෝර්ට් එක අරගෙන බස් කාරයොන්ට බෙදලා දෙන්නේ. බස් එකට ලැබෙන මාසික කුලියෙන් සීයට දහයක කොටසක් ඒගොල්ලෝ ආදායම විදිහට ගන්නවා. මිලියනයක් විතර සල්ලි එකතු වෙනවා ඕකෙන් දේශපාලනඥයාට…”

“හැබැයි ඉතින් ඔය වැඩේ ගෝඨාභය මහත්තයා නැවැත්තුවා. ගෝඨාභය මහත්තයා දේශපාලනඥයන්ට තහනමක් දැම්මා ඒ වැඩේට මැදිහත් නොවී ඒ මිනිස්සුන්ට ඒක කරගෙන යන්න කියලා…” කතාවට ඌන පූරණයක් ගෙනාවේ මහ ලේකම් සාගර.

“ඔව් ඉතින්… නතර කරලා තිබුණා. ඒ මිනිස්සු තම තමන්ගේ බස්වලට කොම්පැනියෙන් මාස් පතා නියමිත ගාණ ගත්තා. ඔහොම තියෙද්දී තමයි අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් පහුගිය දවසක පළාතේ මත්පැන් ව්‍යාපාර කරන චණ්ඩියෙකුත් එක්ක කප්පන් වැඩේ එයාට අරන් දෙන්න ගාමන්ට් එකට ගිහින් තියෙන්නේ…”

“අන්තිමේ බස්කාරයෝ එකතුවෙලා උන්ව පන්න ගත්තනේ… මමත් දැක්කා ඕකේ වීඩියෝ එකක් ෂෝෂල් මීඩියාවල ෂෙයා වෙනවා.”

ඔහොම කතා බස් අතරේ ඔය තේ පැන් සංග්‍රහයේ වැඩකටයුතුත් අවසන් වෙලා කට්ටිය විසිර ගියේ ඉතා ඉක්මනින් සංවිධානය වෙලා අලුත් අවුරුද්දේ දේශපාලන කටයුතු පටන් ගැනීම ගැන විධිමත්ව කතාබහ කරන සූදානමින්.

දෙවියන්ගේ පිහිට සෞඛ්‍යයට එපාලු

කතරගම මහ දේවාලයේ පරිපාලන කටයුතු දැන් සිදු කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම බස්නායක නිලමේ කාර්යාලයෙන් පමණි. බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර දේවාල පරිපාලනය ඇතුළේ ලොකු විප්ලව කිහිපයක් කළේය. ඉන් පළමුවැන්න වූයේ දේවාලයට තබන පූජා වට්ටිවලට පුදපඬුරු මිස තුටු පඬුරු තබන්නට එපා කියාය.

“පුදපඬුරු කිව්වම රුපියලක් දෙකක් ඒක පිංකැටයට දානවා. හැබැයි රුපියල් පන්සීය, දාහ, පන්දාහ තුටුපඬුරු කිව්වම කපු මහත්තුරු ඒවා ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයට ගන්නවා. එහෙම අරන් කපු මහත්තුරු මාසෙට් කෝටි ගණන් සල්ලි හොයනවා. ඒවා දේවාලෙ පරිපාලනයට ලැබෙන්නේ නෑ. ඒක නිසා කරුණාකර දේවාලයට දෙන ආධාරයක් පුද පඬුරක් තුටු පඬුරක් තියෙනවා නම් ඒවා කරුණාකර බස්නායක නිලමේ කාර්යාලයට භාරදී රිසිට් පතක් ලබාගන්න. දෙවියන්ට වුවමනා පින් නිසා දෙවියන්ට පින් දෙන්න…”

බස්නායක නිලමේ තැන්පත් ඩිශාන් ගුණසේකරයන්ගේ මේ මග පෙන්වීම නිසා කතරගම දේවාලයේ පරිපාලන කාර්යාලයට විශාල වශයෙන් පහුගිය කාලයේ ආදායම් ලැබෙන්නට වූහ.

කතරගම දේවාල පරිපාලනය එම මුදල් යොදවා පොදු ජන යහපත සඳහා බොහෝ දේ කළේය. මහරගම පිළිකා රෝහල හෙවත් අපේක්ෂා රෝහල ඒ සඳහා තෝරා ගත් දේවාල පරිපාලනය එහි අඩුපාඩු සොයා බලා ඒවා බැතිමතුන්ගේ ආධාර උපකාර මුදලින් ඉෂ්ට සිද්ධ කර දෙන්නට පටන් ගත්තේ දැනට වසර කීපයකට පෙර සිටය.

ඒ අනුව පසුගිය කාලයේ මහ රෝහලට අඩුපාඩුවක්ව පැවැති ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යාගාරයක් ලබාදීමට කතරගම දේවාලය තීරණය කළේය. මීට පෙර එම සැත්කම සඳහා පුංචි දරුවන් රැගෙන ගියේ විදේශ රටවල්වලට මුදල් හදල් යහමින් ඇති උදවිය පමණි. අනිත් දරුවෝ අකාලයේ මියගිය බව දන්නේ කීයෙන් කීදෙනෙක්ද…

නව ඇටමිදුළු ශල්‍යාගාරයේ වැඩ කටයුතු ආරම්භ වූයේ ඒ දරුවන්ට ජීවිත දානය පුද කිරීම සඳහාය. බැතිමතුන්ගේ ධන පරිත්‍යාගයෙන් පොහොසත් වුණු දේවාල අරමුදලේ අනුග්‍රහයෙන් අභිනවයෙන් ඉදිවුණු ශල්‍යාගාරය විවෘත කිරීම පහුගිය දෙවැනිදා උදය වරුවේ සිදු වූයේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස හා නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

උත්සවයේදී සභාව ඇමතු බස්නායක නිලමේ ඩිශාන් දේවාලයට ලැබෙන බැතිමතුන්ගේ පරිත්‍යාග මුදල්වලින් තමන් ඉදිරියටත් කිරීමට බලාපොරොත්තු වන පුණ්‍යකර්ම ගණනාවක ලැයිස්තුවක් කියාගෙන ගියේය. කතරගම රෝහල අංග සම්පූර්ණ පහසුකම් සහිත රෝහලක් කිරීමටත්, මොණරාගල රෝහලේ සියලු අඩුපාඩු සකස් කර යථාවත් කිරීමටත් අවශ්‍ය සද්කාරයන් රැසක් ඔහු යෝජනා ලෙස ඉදිරිපත් කළේය.

කවර හෝ කාරණාවක් නිසා මේ මොහොතේ උගත් වෛද්‍යවරයකු ද වූ නලින්ද ජයතිස්ස ඇමැතිතුමා මහ අමුතු කතාවක් කීවේය.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් දෙනවාටත් වඩා පහසුකම් ලබාදෙන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඒ නිසා දේශපාලන හේතූන් මත වත් රෝහල පිළිබඳ සංවේදී අදහස් පහළ වෙලාවත් රෝහල්වලට උදව් උපකාර කරන්න මීට පස්සේ කාටවත් බෑ. ඔහු දීර්ඝව කතා කළේ නැත. එහෙත් ඉහත අදහස ඔහුගේ කතාවේ පැහැදිලිවම ගම්‍ය විය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා ලබාදෙන ආධාර උපකාර ප්‍රතිපාදන හැර වෙන කිසිදු පරිත්‍යාගයක් කිසිවෙකුටත් මීට පසු කරන්නට බැරි බව ඔහු නිල වශයෙන් පැහැදිලිවම කියා සිටියේය.අමාත්‍යවරයාගේ මෙම දැඩි ප්‍රකාශය පිළිබඳ විවිධ කරුණු සමාජ මාධ්‍යයේ සාකච්ඡාවට ලක්වන ආකාරය ඉන්පසුව අපට දැක ගත හැකි විය.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment