වේලාපත්කඩය, කේන්දරය, හඳහන හෝ ජන්ම පත්‍රය යනු, යම් ජන්මියකු මෙලොව ජනිතවූ මොහොතට අදාළ නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවූ ලග්නයත් නවාංශකයත් එම මොහොතේ විශ්වයේ ග්‍රහ තාරකා පිහිටීමත් දැක්වෙන සටහනකි. අලුත උපන් දරුවකුට ජ්‍යොතිෂවේදීන් ක්ෂණිකව වේලාපත්කඩය සාදා නමට සුදුසු අක්ෂර ලබා දුන්න ද පුරාණයේ පටන් අද දක්වා ජන්ම පත්‍රය ලියා දෙන්නේ දරුවාට මාස 3ක් ඉකුත්වූ පසුය. එහෙත් වර්තමානයේ මෙකී කාලවකවානු ඉඳහිට වෙනස් වන අවස්ථා ද නැතුවා නොවේ.
වර්තමානයේ ජන්ම පත්‍රයක් ලියා දෙන මාධ්‍ය ලෙස කඩදාසි, කාඩ්බෝඩ් හෝ පරිගණක මුද්‍රිත කොළ සුලබ මෙන්ම ජනප්‍රිය වුවද පුරාණයේ බොහෝ විට ජන්ම පත්‍ර සියල්ලම පාහේ ලියැවුණේ පුස්කොළය හෙවත් තල්පතේය. එකල තල්පතේ ලියැවුණේ කේන්දර පමණක්ම නොවේ. බුදු දහම ත්‍රිපිටකය, ආයුර්වේද බෙහෙත් වට්ටෝරු, ජ්‍යොතිෂය, ගුප්ත විද්‍යාවේ මන්ත්‍ර මෙන්ම නිදන් වදුලු හා සංදේශ පවා ලියවුණේ පුස්කොළවලය. මෙකී පුස්කොළ ලේඛන තුළ පාරම්පරික ජ්‍යොතිෂය ආයුර්වේද, මන්ත්‍ර වැනි දිව්‍යමය වටිනාකමකින් යුත් ශාස්ත්‍ර අවභාවිතය වළකනු සඳහා ගුරු මුෂ්ඨි භාවිතාවනු ද දක්නට ලැබේ. එහෙත් ගුරු මුෂ්ඨි යැයි කියමින් ශාස්ත්‍ර වසන් කොට සමාජගත නොකිරීම එම ශාස්ත්‍ර පැවැත්මට කොතෙක් දුරට හිතකරවේද යන්න නම් ප්‍රශ්නාර්ථයකි. ඈත අතීතයේ විසූ පංච අභිඤාලාභී, අෂ්ට සමාපත්තිලාභී ඍෂි උතුමන්ලා ගුරු මුෂ්ඨිවලින් තොරව නිර්ලෝභීව සකල ලෝකවාසී මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ලොවට දායාද කළ උතුම් වටිනා අතිදුර්ලභ ශාස්ත්‍ර ගුරුමුෂ්ඨි ලෙස හංවඩු ගසා සදහටම ලොවින් අතුගා වළලා දැමීම කොතෙක් යුක්ති සහගත ද? සාධාරණ ද?
පුස්කොළයේ සටහන් තැබීමට පන්හිඳක් අවශ්‍යය ය. පුසකොළයත් පන්හ`ිදත් දෙකම තිබුණ ද නිසි ප්‍රමිතියෙන් යුතුව පුස්කොළයේ සටහන් තැබීමට හැකි දක්ෂ ශිල්පීන් නම් ඉතා විරලය. පන්හිඳක් නිසියාකාරව හැසිරවීමට නම් ගල්ලෑල්ලේ ගල් කූරෙන් ලියූ හුරුව යම්තාක් දුරකට අවශ්‍යයය. පුරාණයේ විසූ උගතුන් වියත්හු තම වටිනා දැනුම සටහන් කිරීමට විවිධ වූ ලේඛන ක්‍රම භාවිතා කළහ. එහිදී ලේඛනය සඳහා විවිධ වූ ශාක කොටස් භාවිතා වූ අතර ඉපැරණි විධිමත් ප්‍රමිතිගත ලේඛන කලාව ලෙස පුස්කොළයේ හෙවත් තල්පතේ ලිවීම පෙන්වා දිය හැක. විශේෂයෙන් දකුණු ආසියාතික ජනතාව තල්පත් ලේඛනය භාවිතා කළහ. ශ්‍රී ලංකාවේ පුසකොළ ලේඛන කලා ඉතිහාසය සැලකූ කල එය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස පමණ දක්වා ඈතට දිවයයි. කඩදාසි මාධ්‍යය භාවිතයට හුරු වීමට කලින් තල්පත් මාධ්‍යය ලේඛනයට යොදා ගැනුණි. තල්පත කල්පැවැත්ම හා සංරක්ෂණය අතින් කඩදාසියට සාපේක්ෂව ඉතා ඉහළය. සාමාන්‍යයෙන් කඩදාසියක ආයු කාලය වසර 50ක් 60ක් පමණ වුවද නිසි ප්‍රමිතියට සැකසූ පුසකොළයක ආයු කාලය වසර දස දහස් ගණනකි. එසේම කඩදාසිවලට සාපේක්ෂව තල්පත් ඉරීම්, සිදුරුවීම්, දිරීම් ආදියෙන් ද කාවන්, වේයන්, ගුල්ලන් වැනි කෘමි සතුන්ගෙන් වන හානිය අතින් ද ඉතාම අවමය.
පුස්කොළය සැකසීමත් පන්හිඳ නිර්මාණයත් ආවාට ගියාට කළ හැක්කක් නොවේ. ඒවා නිසි ප්‍රමිතියෙන් යුතුව විධිමත්ව නිර්මාණය කරගත යුතුය. එසේම පන්හිඳෙන් පුසකොළය මත සටහන් තැබීම ද සුවිශේෂී කලාවකි. පුරාණයේ තල් කොළ මත සකස් කළ ලේඛන එකතුව පුස්කොළ පොත විය. එය පුස්කොළ පොතේ නිමාව දැක්වෙන පිටකවරය වන පොත් කම්බාවෙන් ද පුස්කොළ පොතින් ගැලවී විසිරී යෑම වළකනු වස් පොත් බැඳීමට උපකාරි වන බොත්තම්වලින් ද පොත්හුය හෙවත් පොත් ලණුවෙන් ද යුතුවිය. පොත් කම්බාව බොහෝ විටම නිමවූයේ දැවයෙනි. මීට අතිරේකව රිදී, පිත්තල ආදී ලෝහ කම්බා ද ඇත් දළ කම්බා ද දැකිය හැක. කෙසේ නමුත් කම්බා නිර්මාණයේදී විශේෂිත පාරම්පරික මෝස්තර රටා, ලාක්ෂා වර්ණ ආදිය භාවිත වුණි. ඒ අතර ඉතාම අලංකාර මල්කම්, ලියකම්, ලියවැල්, පලා පෙති, නාරිලතා වැල් මෙන්ම ආවේණික විශේෂිත වූ වර්ණ ද දැකිය හැක. සිවු දිගින්ම කම්බ පුස්කොළයට සාපේක්ෂව විශාලය. මෙකී කම්බ සඳහා කොලොන්, කොහොඹ වැනි දැව වර්ග භාවිත වුණි.
තල්පත් ලබාගන්නා තාල වර්ගයට අයත් තල් ශාකය තෙත් කාලගුණ තත්ත්ව යටතේ වෙරළාසන්න උතුර – නැඟෙනහිර ප්‍රදේශවලත් මධ්‍යම පළාතේත් හොඳින් වර්ධනය වේ. Borassus flabellifer යන උද්භිද විද්‍යාත්මක නමින් හැඳින්වෙන තල් ගසෙන් ලබා ගන්නා තල්පත් භාවිතයට පෙර නිෂ්පාදනය කිරීමේදී එම තල්පත නිසි ප්‍රමිතිගතව සකස් කර පැහැගන්වා ගන්නා ක්‍රමවේදය ඉතාම සුවිශේෂය. සංකීර්ණය. තල් ශාකයේ ආයු කාලය අවුරුදු 50ත් 100ත් අතර වන අතර අඩි 20ක් පමණ උසැති තල් මල පිපීමත් සමග ශාකය මියයෑම සිදුවේ.
ළපටි තල් පත්‍ර ළා කහ වර්ණයෙන් යුතු අතර නම්‍යශීලීය. තල්පත් ලේඛනය සඳහා සකස් කිරීමේ ක්‍රමවේද ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු වශයෙන් වෙනස්ය. සාමාන්‍යයෙන් මුලින්ම හොඳින් වර්ධනය වූ තල් ගොබයක් ශාකයෙන් ඉවත් කරගැනීම සිදුවේ. මීළඟට පත්‍ර එකින් එක වෙන්කර නාරටි ඉවත්කර විවිධ දිග පළලින් යුතුවන සේ කපා වියළීම සඳහා පහසු ආකාරයට සවිවරව තද නොවන සේ රෝල් කිරීම හෙවත් වට්ටු ගසා ගැනීම සිදුවේ. මින් ඉක්බිති කල්දේරමක් වැනි තරමක් විශාල බඳුනක පෙති කැපූ පැපොල්, අන්නාසි ගොබ හා කැප්පෙට්ටියා කොළ දමා පැය 3ක් පමණ හොඳින් තම්බා ගනී. මෙය පුස්කොළයේ පැහැය ලබාගැනීමට ඉවහල්ය. මෙලෙස වට්ටු ගසා තම්බාගත් පුස්කොළ මඳ පවනේ දින 2ක් පමණ වියළා ඊට පසු හොඳින් සූර්යා ලෝකයට නිරාවරණය වනසේ දින දෙක තුනක් හොඳින් වියළා ගනී. එය ද තල්පතේ පැහැය ලබා ගැනීමට උපකාරීය. මීළඟට තල්පතේ වැලි, දූවිලි නොගෑවෙන සේ හොඳින් තණකොළ වැවුණු බිමක රාත්‍රි කාලයේ පින්නේ දමනු ලැබේ. මෙය තල්පතේ වර්ණය සුදු පැහැයට හරවා ගැනීමට උපකාරීය. මීට පසු තල්පත් පදම් කිරීම සඳහා හොඳින් සුද්ද කර පිරිමැදූ ගැලුම ගස් හෝ පුවක් ගස් කඳක් භාවිතයේ යෙදේ. මෙහිදී උක්ත කඳක් හරහා තල්පත දමා දෙදෙනෙක් දොකොනින් අල්ලා දෙපසට ඇද හෝ එක් පසක තරමක් බරැති ගලක් එල්ලා අනෙක් පසින් ඇද හෝ තල්පත හොඳින් පදම් කර ගනී. මෙවිට මතුවන තල්පතේ ස්වාභාවික රේඛා දක්ෂ ලේඛකයා තල්පතේ ලිවීම සඳහා උපයෝගී කරගනී.
සාමාන්‍යයෙන් තල්පතක ලේඛනය කරන නිවැරදි ඉරියව්ව වනුයේ බිම වාඩි වී දණිස් දෙක මත තල්පත තබා දෑතම උපයෝගි කරගෙන ලේඛනයේ යෙදීමයි. මෙහිදී ලියන හස්තයට විරුද්ධ හස්තයේ මහපට ඇඟිල්ලේ නියපොත්ත තරමක් ඉදිරියට වවා එහි මැදින් අර්ධ කවාකාර හැඩති කට්ටයක් කපා ගනී. එය පන්හිඳ හොඳින් ග්‍රහණය කර පහසුවෙන් හසුරුවා අලංකාරව ලේඛනයට උපකාරීය. එහිදී මුලට පුණ්ඩලමක් යොදා අරඹන අක්ෂර ලිවීම බොහෝ විට දෙපසට සිදුවේ. එනමුත් පහත රට තල්පත් ලේඛනය වීදුරු කැබැල්ලක් මත සිදු කරයි. එහිදී අක්ෂර දෙපසටත් සාමාන්‍ය ලෙසත් ලිවීම දැකිය හැක. මෙකී ලේඛනය තෝරා ගැනීම ශිල්පියාගේ දක්ෂතාවයයි. මෙලෙස පන්හිඳෙන් තල්පත මත කැපූ අක්ෂර කළුමැද මතු කරගත යුතුය. අවසානයේ පිරිසුදු රෙදි කඩකින් තල්පත පිසදා පිරිසුදු කරගනු ලැබේ. තල්පත් ලේඛනයේදී වචන වෙන් කිරීමක් ද අවසන් විරාම ලකුණ භාවිතය ද දැකගත නොහැක. සාමාන්‍යයෙන් පුස්කොළ පොතක පිටු පෙළගස්වනුයේ සිංහල අකාරාදී අනුපිළිවෙළටය. කෙසේ නමුත් පුස්කොළ පොතේ පිටු වඩු රියන් පත්ඉරු ක්‍රමයට සකසා සිදුරු විද තල්පත් ලඩ්ඩු ලෙස සකසා ගනී. එම ලඩ්ඩු හුය දමා කම්බවලට අමුණා ගැටගසා පුස්කොළ පොත නිර්මාණය කරගනී. තල්පත් සම්බන්ධවත් තල්පත් ලේඛනය සම්බන්ධවත් පන්හිඳ හා තල්පත් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධවත් කරුණු කාරණා බොහෝය. එහෙත් ඒ සියල්ල මේ කෙටි ලිපියට සාරාංශ කර ලඝු කළ නොහැක. ඔබත් ජ්‍යොතිෂයට උනන්දු ජ්‍යොතිෂය හදාරන අයෙක් නම් පන්හිඳෙන් තල්පතේ ලේඛනය තරමක් අපහසු වුවද ඊට කෙසේ හෝ හුරුවන්න. එය ජ්‍යොතිෂයේ උන්නතියටත් ගරු ගහම්භීරත්වයටත් අභාවයට යන පුස්කොළ හඳහන් කලාව රැක ගැනීමටත් හේතුවනු නොඅනුමානය.
ජ්‍යොතිෂවේදී, දේශබන්දු,
ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද