අයාලේ යන පළාත් පාලන ආයතනවලට – දකුණේ ආණ්ඩුකාර ලිපියෙන් ගෝලබාලයන් පත් කරන සූදුවක්- සජිත් ප්‍රේමදාස

36

අද වන විට රටේ රුපියල් හා ඩොලර් හිඟයක් ඇති තත්ත්වයක මෙරට සියලු දෙනා දේශපාලනීකරණයෙන් තොරව කටයුතු කළ යුතු වුවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අනීතික දේශපාලන පත්වීම් දෙමින් යන බවත් මැතිවරණ නොපවත්වා අයාලේ යන පළාත් පාලන ආයතනවලට ආණ්ඩුකාරවරුන්ගේ ලිපියෙන් ගෝල බාලයන් පත් කරන සූදුවක් දකුණු පළාතේ ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (29 දා) සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 273 වැනි අදියර යටතේ වත්තල එf`ඩ්රමුල්ල ශාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී පාසලේ නර්තන කණ්ඩායමේ දරුවන්ට ඇඳුම් ලබාගැනීමට විපක්‍ෂ නායකවරයා පාසල් සංවර්ධන සමිති ගිණුමට රු. ලක්ෂයක් ද පරිත්‍යාග කළේය.

මෙවැනි වරදක් සිදු නොකරන ලෙස ආණ්ඩුකාරවරුන්ට දන්වන බවත් බංකොලොත් රටක මෙවැනි නාස්තිකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අයිතියක් නැති බවත් පැවසූ හෙතෙම පාසල්වල අඩුපාඩු රැසක් තිබියදී අයාලේ යන පළාත් පාලන ආයතනවලට තමන්ගේ ගෝලයන් පත් කරන අශිෂ්ට ව්‍යාපෘතිය නතර කරන ලෙසත් මේ අනීතික ක්‍රියාවලියට සම්බන්ධ සියලුම ආණ්ඩුකාරවරුන්ට සමගි ජන බලවේග රජයක අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදුවන බවත් කීවේය.

ආණ්ඩුකාර නාමයේ ගරුත්වය රැකගෙන මෙවැනි පහත් ක්‍රියාදාම ක්‍රියාත්මක නොකර සීමාසහිත සම්පත් දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88කුත් ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292 ක්ද, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 273 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2980 ක්ද වැය කර තිබේ. මේ වැඩසටහන් තුළින් සමස්ත පාසල් 357කට අගයක් එකතු කර තිබෙන බව සමගි ජන බලවේගය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment