අයිඑම්එෆ්-ජනපති අත්සන් කළ ගිවිසුම සමග සජබ කටයුතු කරන්න සූදානම් නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

1

මුහුණත අගය විශාල අගයකින් කපා හැරීමට ආණ්ඩුව එකඟවීම ශ්‍රී ලංකාවට අහිතකරයි

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යාවශ්‍ය බව රජයට මුල සිටම සමගි ජනබලවේගය පෙන්වා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (27 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අත්‍යාවශ්‍ය බව මුල සිටම කිව්වේ සමගි ජනබලවේගය. ජනධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ලියලා දුන්න පුද්ගලයා ඒ බව දන්නේ නැතුව ඇති. නමුත් ජනාධිපතිවරයාට සමගි ජනබලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පිළිබඳව සොයා බලන්න තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව සමගි ජනබලවේගය ප්‍රකාශ කළ කාලසීමාවේ ඒ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කළා නම් රට බංකොළොත් වෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති වෙන්නේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජනබලවේගය ඡන්දය භාවිතා කළේ නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන්න එපා කියලා සමගි ජනබලවේගය කිව්වේ නෑ. එහෙම කියලා තිබෙනවා නම් ඒ බව සනාථ කරලා පෙන්වන්න.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කබීර් හෂීම් මහතා, ඉරාන් වික්‍රමරත්න මහතා සහ මා සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී අපි ඔවුන් සමග සාකච්ඡා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමේ සිදුකළ යුතු වෙනස්කම් මොනවාද කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපති අත්සන් කළ ගිවිසුම සමග සමගි ජනබලවේගය කටයුතු කරන්න සුදානම් නෑ. ඒ ගිවිසුම වෙනස් කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ජනාධිපති අත්සන් කළ ගිවිසුමේ තිබෙන ගැටලු විශ්ලේෂනාත්මක සමගි ජනබලවේගය තේරුම් ගෙන තිබෙන්නේ.

ඒ වගේම ආණ්ඩුවේ සිටින පිරිසක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුමට විරුද්ධව ඡන්දය දුන්නා. නමුත් ඔවුන් දැන් කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කළ යුතුයි කියලා. චීනය, ජපානය, ඉන්දියාව ඇතුළු ණය හිමියන්ගේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමීණිම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය සතුටු වෙනවා. රජය ඇති කරගන්න ගිවිසුම්වලින් රටේ ජනතාවට සුගතියක් වෙනවානම් ඊට විරුද්ධව කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි සමගි ජනබලවේගය චීනය, ජපානය, ඉන්දියාව ඉල්ලා සිටියා. චීනය, ජපානය, ශ්‍රී ලංකාව සමග වසර ගණනාවක් තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් නිසා තමයි චීනය, ජපානය, ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය සහනය ලබාදුන්නේ. රටවල් අතර තිබුණ සහයෝගිතාවයේ ප්‍රතිඵලයක් නිසා තමයි ශ්‍රී ලංකාවට නිල ණය හිමියන් සමග එකඟතාවකට එන්න පුලුවන් වුණේ.

ණය හිමියන් සමග එකඟතාව පිළිබඳව වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත් ඊට සහාය දෙන ලෙසත් ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. ණය හිමියන් සමග ඇති කරගත් එකඟතාවය පිළිබඳව, ණය ගෙවන කාලය 2028 වනතුරු කල් දැමීම හරහා පොලියක් ගෙවීමට සිදුවෙනවාද? නැද්ද? යන්න පිළිබඳව මේ කාරණා සම්බන්ධයෙන් පරිපුර්ණ විස්තරයක් අවශ්‍යයි.

ඒ වගේම දේශිය ණය ප්‍රතිව්‍යුහගත කළා සේම ජාත්‍යන්තර වාණිජ ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා කිව්වා. ඒ වගේම ශ්‍රී ලංකාව දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදු කළේ නෑ. දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු සහ පුද්ගලික ණය හිමියන් ඉවත් කරලා අර්ථ සාධක අරමුදලට බරක් දැම්මේ ශ්‍රී ලංකාව පමණයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරපු රටවල් විශ්‍රාම අරමුදල් පමණක් ඉලක්ක කරගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකර නෑ. ශ්‍රී ලංකාව එය ජයග්‍රහණයක් ලෙස දකිනවානම් අපි ඒ පිළිබඳව කණගාටු වෙනවා. ද්වි පාර්ශ්ක ණය හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණියාට ජාත්‍යන්තර බැදුම්කර හිමියන් සමග සිදුවන සාකච්ඡාව සම්බන්ධයෙන් අපි විරුද්ධයි. ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව රටට සුබවාදී නෑ.

ශ්‍රී ලංකාවට ණය ගෙවා ගැනීමට හැකියාවක් නෑ. ණය පැහැර හරින රටක් ලෙස ස්වාධීන ආයතන විසින් ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය ගෙවා ගැනීමට හැකිවෙලා තිබෙන ස්ථානයෙන් උඩට පැමිණියොත් ඒ බව ස්වාධීන ආයතන විසින් ලෝකයට හඳුන්වා දෙනවා. වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හරහා ගෙවා ගැනීමට නොහැකි ජාත්‍යන්තර බැඳුම්කර සමග අලුත් ජාත්‍යන්තර බැඳුම්කර හුවමාරු කරගැනීමට හැකියාවක් ලැබෙනවා. අලුත් බැඳුම්කර වෙළඳපොළට ඉදිරිපත් කරනවිට ඊට අලුත් ශ්‍රේණි ගත කිරීමක් ලබාදෙනවා. ඒ හරහා ලංකාව තිබෙන ස්ථානයෙන් ඉහළට පැමිණෙනවා. එය දේශපාලඥයෙකුට කියන්න පුලුවන් දෙයක් නෙවෙයි. වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනවානම් එය සිද්ධ විය යුත්තේ රටට සුබදායි ආකාරයට.

2027 දී රටේ දළ දේශීය නිෂ්පාදනය ටි්‍රලියන 40 ක් වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඇති අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා. ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙනවා ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මැනලා ඒ ප්‍රමාණය ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්‍රමාණවලට අඩුද වැඩිද කියන දේ මත ඔවුන් එකඟවෙන්න යන මුහුණත අගය කපා හැරීම තිරණය වන්නේ 2027 දී කියලා. ජාත්‍යන්තර ණය හිමියන් සමග ලංකාව එකඟ වෙලා තිබෙන ආකාරයට සියයට 28 ක මුහුණත අගය කපා හැරීම සිදුවන්නේ 2028 සිට. රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84.2 නම් පමණයි සියයට 28 ක මුහුණත අගය කපා හැරීම සිදුවන්නේ. ඊට වඩා වැඩියි නම් මුහුණත අගය කපා හැරීම අඩුවෙනවා. 2027 දී රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 96 ට වඩා වැඩිනම් මුහුණත අගය කපා හැරීම සියයට 7.3 දක්වා අඩුවෙනවා. මුහුණත අගය විශාල අගයකින් කපා හැරීමට ආණ්ඩුව එකඟවීම ලංකාවට අහිතකරයි.

ඒ වගේම රටේ ආර්ථිය තිබෙන්නේ පිහියේ දාරේ කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියනවා. රටේ ජනතාවගේ දරිද්‍රතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ කතාවේ ඇතුළත් වුණේ නෑ. රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් ඉන්නවා. ඒ ජනතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කතා කළේ නෑ. නමුත් සමගි ජනබලවේගයට රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් ඉන්නාවා කියලා දැනෙනවා. ජනාධිපතිවරයා ඔවුන් සම්බන්ධයෙක් එක වචනයක් කතා කළේ නෑ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment