අය-වැය – 2025 – රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු. 15,750කින් ඉහළට

1085

වාර්ෂික වැටුප් වර්ධකය සියයට 80 කින් නංවයි
වැඩිහිටි දීමනාව රුපියල් 3000 සිට 5000 දක්වා
මහපොළ රුපියල් 5,000 සිට 7,500 දක්වා
වකුගඩු රෝගී හා ආබාධිත දීමනාව රුපියල් 7,500 සිට 10,000 දක්වා වැඩි කෙරේ
රැඳවුම් නිවාසවල දරුවන්ට රු. 5,000ක මාසික දීමනාවක්
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ඉතුරුම් සඳහා පවතින පොලී අනුපාතයට අමතරව තවත් සියයට 3ක පොලියක් ජූලි මස සිට
ආපදා ණය සීමාව ලක්‍ෂ 2 1/2 සිට ලක්‍ෂ 4ට උස්සයි
පුද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 21,000 සිට 27,000 දක්වා
5 ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට 1500 දක්වා වැඩි වෙයි
ආපදා නිසා ඇතිවන මරණ හෝ පූර්ණ ආබාධිත සඳහා ගෙවන රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් ලක්‍ෂ 10 දක්වා
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 කිරීමට රජය මැදිහත් වෙයි
ශ්‍රී ලාංකික දිනය ජාතික උත්සවයට රුපියල් මිලියන 300ක්
ශ්‍රීලන්කන් ණය ගෙවීමට රුපියල් මිලියන 20,000ක්
ත්‍රිකුණාමලයේ ඉතිරි තෙල් ටැංකි 61ත් ජාත්‍යන්තර
ඉන්ධන වෙළෙඳපොළ ඉලක්ක කර ඒකාබද්ධ ව්‍යාපෘතියකට
යාපනය පුස්තකාලය වැඩිදියුණුවට රුපියල් මිලියන 100ක්
ක්‍රීඩා පාසල්වල සිසුන්ගේ පෝෂ්‍යදායි ආහාර දීමනාව රුපියල් 5,000 සිට 10,000 දක්වා වැඩි කරනවා

අය-වැය - 2025 - රාජ්‍ය සේවක අවම මූලික වැටුප රු. 15,750කින් ඉහළට


රාජ්‍ය සේවක අවම මාසික මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා රුපියල් 15,750 කින් වැඩි කිරීමටත්, පෞද්ගලික සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 21,000 සිට රුපියල් 27,000 ක් ලෙස සහ 2026 වසරේ සිට රුපියල් 30,000 ලෙස ඉහළ නැංවීමටත් යෝජනා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසර සඳහා වන ජාතික ජනබලවේගය ආණ්ඩුවේ මංගල අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (17 වැනිදා) සඳහන් කළේය.

දැනට පවතින රාජ්‍ය සේවක තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කරන අතර රුපියල් 8,250 ක ශුද්ධ වැඩිවීමක් අවම මූලික වැටුපට අදාළව සිදු කිරීමට යෝජනා කරන බවද, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමට සමගාමීව අධිකරණ සේවා, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ද මෙය අදාළ වන බව ජනපතිවරයා පැවසීය.

රුපියල් 15,750 ක අවම මාසික මූලික වැටුප් වැඩිවීමට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වටිනාකම සියයට 80 කින් ඉහළ නැංවීමට යෝජිතය. ඒ අනුව රුපියල් 250 ක අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450 දක්වා ඉහළ යනු ඇත. රාජ්‍ය අංශයේ සියලුම සේවකයන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය එම ප්‍රතිශතයට ගැළපීමට ද යෝජනා කර ඇත.

මුළු ශුද්ධ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5,000ක් සහ ඉතිරි මුදලින් සියයට 30 ක් 2025 වසරේ අප්‍රේල් මාසයේ සිට ගෙවනු ලබන අතර ඉතිරි සියයට 70 ලබන වසරේ (2026) ජනවාරි සහ 2027 වසරේ ජනවාරි මාසවල සමාන කොටස් වශයෙන් ගෙවනු ලබයි. 2025 වසරේ යෝජිත වැටුප් වැඩිවීම සඳහා රුපියල් බිලියන 110 ක් වෙන් කෙරේ.

මෙම වැටුප් වැඩිවීමේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 325 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පවතින රාජ්‍ය මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් වැඩිවීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන බවත් ඔහු කියා සිටියේය.

2025 ජනවාරි මස 01 දා හෝ ඉන් පසුව විශ්‍රාම යන නිලධාරීන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ නව වැටුප් ව්‍යුහය මත ගණනය කිරීමට යෝජනා කරන බවත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප වැඩි කිරීම සලකා බැලීමේදී රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය සීමාව දැනට පවතින රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්වා ඉහළ නංවන බවද ජනපතිවරයා කීය.

අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කථානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් ඊයේ පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර සිය මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පෙරවරු 10.35ට පාර්ලිමේන්තුව වෙත පැමිණියේය. සාමාන්‍යයෙන් අයවැය ඉදිරිපත් කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා පසුපසින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පැමිණෙනු දක්නට ලැබුණ ද ඊයේ එවැන්නක් දක්නට නොලැබුණි.

වේත්‍රධාරීවරයා සමග සභාවට පැමිණි ජනාධිපතිවරයා තමාට හිමි ආණ්ඩු පක්ෂයේ 08 වැනි ආසනයේ අසුන් නොගෙන අඛණ්ඩව උස්හඬින් සහ නොපැකිලිව සිංහල භාෂාවෙන් විපක්ෂයේ බාධා කිරීමෙන් තොරව පැය දෙකහමාරකට අධික කාලයක් අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළේය. වෙනත් වසරවල අයවැය ඉදිරිපත් කරන අවස්ථාවල මෙන් ඊයේ ධජ පතාක ඔසවා නොතිබුණු අතර උත්සව අසිරියක් ඇති වන පරිදි සැරසිලි නොකිරීමද මෙවර අයවැය තුළ දක්නට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් විය.

ගිය වසරට මෙන්ම මෙම වසරට ද කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන යෝජනා රැසක් ඉදිරිපත් කෙරුනු අතර 2025 අයවැය යෝජනාවලියේ විශේෂ යෝජනා කිහිපයක් පහත දැක්වේ.

ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් මත පදනම්ව නව තීරුබදු නිර්ණය වේ.

ආදායම් එකතු කිරීම හා වෙළෙඳ පහසුකම් කාර්යක්ෂම කිරීමට නව රේගු පනතක් හඳුන්වා දෙයි.

එක් ස්ථානයකින් සියලු සේවා යන සංකල්පය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීති සම්පාදනය කරනු ලැබේ.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු.

රේගු පරීක්ෂණ අංගනයේ කටයුතු පුළුල් කිරීම පිණිස රුපියල් මිලියන 500 ක්

කොළඹ වරාය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා උසස් පරිලෝකන පද්ධතිවල මූලික සංවර්ධනයට රුපියල් මිලියන 1,000 ක් වෙන් කෙරේ.

ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක්

නව සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වනු ඇත. ඒ සඳහා ඩිජිටල් ටිකට්පත් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ.

ජපන් ආයෝජනවල සහාය ඇතිව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙවන පර්යන්තය පුළුල් කරනු ලැබේ.

නව නිපැයුම් අරමුදලක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 1,000 ක්.

රාජ්‍ය වියදම් විධිමත් කිරීමට රජය අඛණ්ඩව උත්සාහ දරන අතර, ඒ සඳහා මහජන නියෝජිතයින්ට ලබාදෙන දීමනා සහ ප්‍රතිලාභ පිළිබඳ සමස්ත පද්ධතිය සමාලෝචනය කෙරේ.

අධික ධාවන සහ නඩත්තු වියදම් දැරීමට සිදු වන රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මසදී වෙන්දේසි කරනු ලැබේ.

තෝරාගත් නිලධාරීන්ට සුදුසු මූල්‍ය ප්‍රතිපාදන ලබාදී වාහන සඳහා වන අධික වියදම් අවම කෙරේ.

රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය හිමිකාරිත්වය හා පාලනය ඇති පරිපාලක සමාගමක් පිහිටුවනු ලැබේ.

ගැබිනි මාතාවන් සඳහා පෝෂ්‍යදායී ආහාර ලබාදීම සඳහා මාසික ආධාරයක් ලබාදීමට රුපියල් මිලියන 7,500 ක්. ත්‍රිපෝෂ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5,000 ක්.

ඉදිරි වසර තුන තුළ වසංගත වැළැක්වීම සඳහා සුදුසු පියවර ක්‍රියාත්මක කෙරේ.

පාසල් යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 10,000 ක්.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 135,000 ක් දැනටමත් ලබාදී ඇත.

පෙර පාසල් උදෑසන ආහාරවේල සැපයීමේ වැඩසටහනට මිලියන 1,000 ක්

පාසල් පද්ධතිය සමාලෝචනය කොට යළි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික සැලැස්ම සකස් කෙරේ

05 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1,500 දක්වා වැඩි කරනු ලැබේ.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගෙවනු ලබන මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම රුපියල් 5,000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත්, ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000 සිට රුපියල් 6,500 දක්වා වැඩි කිරීමටත් යෝජනා.

යාපනය පුස්තකාලය රුපියල් මිලියන 100ක් සහ අනෙකුත් ප්‍රාදේශීය පුස්තකාල සංවර්ධනය රුපියල් මිලියන 200 ක්.

බලශක්ති ආයෝජන ගෙන එන සමාගම හෝ රට මත රඳා පවතිමින් කටයුතු කිරීමට කිසිවිටකත් බලාපොරොත්තු නොවේ.

ත්‍රිකුණාමල ඉතිරි තෙල් ටැංකි ජාත්‍යන්තරව පිළිගත් ආයතන සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කෙරේ.

වී සහ සහල් එකතු කිරීම සහ ගබඩා කිරීම නියාමනය කිරීමේ බලතල පැවරීම සඳහා වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට

කෘෂිකර්මාන්තය පදනම් කරගත් ව්‍යාපාර ආරම්භ කිරීමට මුල පුරන සුළු හා මධ්‍ය පරිමාණ තරුණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 500 ක්.

ඉහළ අස්වැන්නක් සහිත පොල් පැළ සහ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කෙරේ.

අස්වැසුම වැඩසටහනට නව තෝරාගැනීම් මැයි මස අවසන්

වකුගඩු රෝගීන් සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා වන මාසික දීමනා රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා ඉහළට.

රැඳවුම් නිවාසවල සිටින ළමුන්ට සහ අනාථ දරුවකුට රුපියල් 5,000 ක මාසික දීමනාවක්.

විවාහය කල් දමමින් සිටින අයට ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1 ක නිවාස ආධාර ප්‍රදානයක්.

අලුත් අවුරුදු කාලය තුළ සහන මිලකට වියළි ආහාර සලාකයක්.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 3 ක වාර්ෂික අතිරේක පොලී අනුපාතයක්.

මතින් තොර සමාජයක් ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 500 ක්.

සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත සැපපහසු බස් රථ 100 ක් ගෙන්වයි.

දුම්රිය ස්ථානය වැඩිදියුණු කිරීමට ශක්‍යතා අධ්‍යයනයක්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව මධ්‍යකාලීන උපාය මාර්ගික සැලැස්ම සඳහා රුපියල් මිලියන 20,000 ක්.

ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 3,000ක් ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 1,000 ක්

වතු නිවාස සංවර්ධනයට රුපියල් මිලියන 4,267 ක්

රසායනික නිෂ්පාදන සඳහා වෙන් වූ කාර්මික කලාපයක් පරන්තන් හි පිහිටුවේ.

මෝටර් රථ සහ රබර් නිෂ්පාදනය සඳහාම වෙන් වූ කාර්මික කලාපයක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන රුපියල් මිලියන 5000 ක්

දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කරනු ලැබේ.

සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා ‘ශ්‍රී ලාංකික දිනය’ නමින් ජාතික උත්සවයක්.මෙම උත්සවය පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් සංවිධානය කෙරේ.

රජය විසින් ඉදිකරන ලද මහල් නිවාස සංකීර්ණවල අත්‍යවශ්‍ය නඩත්තුව සඳහා රුපියල් මිලියන 1,000 ක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කෙරේ.

රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු සඳහා 30,000 ක් බඳවා ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක්

වතු කම්කරුවන් සඳහා දැනට යෝජිත රුපියල් 1,700 ක වැටුප ලබාදීම සඳහා රජය මැදිහත් වේ.

රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.3 ක් වූ ලෝකයේ අඩුම මට්ටමක් 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ වාර්තා වුණා.

බදු පද්ධති ඩිජිටල්කරණය කිරීම කෙරෙහි උත්සාහයන් යොමු කිරීමට අපේක්ෂා කරනවා.


අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment