අරක්කු සමාගම් පහකින් කෝටි 208 ක සුරාබදු පොල්ලක්

150

මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් හිඟ සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවිය යුතු රුපියල් දෙසිය අටකෝටි පනස් එක්ලක්ෂ හතළිස්දහස් එකසිය අසූඅටක (2,085,140,188) මුදලක් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල වසර 05කට අධික කාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් අයවිය යුතුව ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. 2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් තිස්හය කෝටි හයලක්ෂ විසිපන්දහස් හාරසිය තිස්නවයකි (360,625,439). ප්‍රමාද ගාස්තු මුදල් එකසියහැත්තෑ දෙකෝටි හතළිස් පන්ලක්ෂ දාහතර දහස් හත්සිය හතළිස් නවයකි. (1,724,514,749). හිඟ බදු මුදල් පැහැර හැරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන 03කට නඩු පැවරීමට අවශ්‍ය මූලික කටයුතු කෙටුම්පත් කරන අවස්ථාවේ හිග සුරාබදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම පිළිබඳ එකඟතාවක් ඇතිකරගෙන තිබුණි. එහෙත් අදාළ මත්පැන් නිෂ්පාදන ආයතන විසින් එම එකඟතාව කඩකර හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම ද පැහැර හැර තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

හිඟ බදු අයකර ගැනීම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් 02කට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙමින් පවතින අතර, අනෙක් සමාගම් තුන සඳහා අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය මූලික කටයුතු සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති අංශය මගින් සිදු කරමින් තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විගණනයට සඳහන් කොට ඇත.

මේ අතර නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති මත්පැන් නිෂ්පාදන සමාගමකින් ගිය වසරේ (2021) දෙසැම්බර් 31 වනවිට රුපියල් එකසිය විසිහතරකෝටි අසුඑක් ලක්ෂ අනූහතර දහස් දෙසිය පනස්හතක මුදලක් (1,248,194,257) අයවීමට ඇති බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි. එම සමාගමෙන් අයවිය යුතු ප්‍රමාද ගාස්තු මුදල රුපියල් හැත්තෑනව කෝටි තිස් දෙලක්ෂ විසිපන්දහස් හාරසිය විසිනමයකි (793,225,429).

මේ අතර අදාළ සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා මූලිකව රුපියල් 100,000,000, ගෙවීමටත් ඉතිරිය වාරික 24කින් ගෙවීමටත් 2021 ජුනි මස 23දා ගිවිසුම්ගතවී තිබුණි. කෙසේ වුවද ඉන් මූලික ගෙවීම වාරික දෙකක් යටතේ ද පළමු වාරිකය 2021 ජුනි මස 30වැනිදා ද ගෙවීමට කටයුතු ආරම්භ කර තිබුණද අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නැවත නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට පියවරගෙන ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 වර්ෂයට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment