ආණ්ඩුවට ලැබුණු ජනවරම ඉවරයි – ජානිපෙ නායක විමල් වීරවංශ

857

පොරොන්දු ඉටු නොකළ නිසා හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ
– පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

ආණ්ඩුවට එරෙහිව නැෙඟන විරෝධතා මාධ්‍යවේදීන්ට පහරදී විසඳන්න නොහැකි බවත්, මේවා සිදුකිරීම හරහා දේශපාලනඥයන්ට නිවසට ගොස් විවේක පහසුවෙන්වත් සිටීමට කාලයක් නොමැති වේවි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

මාධ්‍යට පහරදී මෙවැනි ප‍්‍රශ්න විසඳිය හැකි බවට සිතන පිරිස් සිටින නිසා රට මේ තත්ත්වයට පත්ව ඇතැයි ද වීරවංශ මහතා එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ආණ්ඩුවට ලැබුණු ජනවරම ඉවරයි - ජානිපෙ නායක  විමල් වීරවංශ

රට හමුවේ පවතින්නේ සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. රට මුහුණදී තිබෙන විදේශ විනිමය අර්බුදය මෙන්ම රට හැම අතකින්ම, හැම අංශයකින්ම පහළට වැටී තිබෙනවා මේක වෙන බව වේලාසනින්ම දැකලා අපි නවත්වන්න කටයුතු කළා. එහෙත් එයට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන බව දැනගත් නිසා මාර්තු 02 වැනිදා මුළු රටම හරිමඟට සම්මන්ත‍්‍රණය පවත්වලා රටට හෙළි කළා.

දැන් මහජනතාව සටන්කාමී විදියට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් පැමිණ තියෙනවා. අරාබි රෝස වසන්තයක් ගේන එක නොවෙයි මේ අවස්ථාවේ කළ යුත්තේ. මහජනතාවගේ විරෝධය දැක්වීමට අපිට එරෙහි වෙන්න බැහැ. නමුත් රට වළපල්ලට වැටෙනවා අපිට බලන් ඉන්න බැහැ. වළපල්ලට වැටෙනවා නම් ජනතාවත් එක්කයි වැටෙන්නේ. දේශපාලකයන් වශයෙන් රට ඇදවැටෙන එක වෙනුවට රට ඉදිරියට ඇදගෙන යෑමට කටයුතු කළ යුතුයි. මේ ආණ්ඩුවට එහෙම හැකියාවක් තියෙනවා කියලා පේන්න නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර් පාලන තන්ත‍්‍රයකට යා යුතු වෙනවා. ඒක විතරයි මේ අවස්ථාවේ තියෙන එකම විසඳුම ලෙස ජනතාවට සහන සලසන්න පුළුවන්කම තියෙන්නේ.

ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට තව කෙනෙක් ජනාධිපති වේවි. රට තියෙන්නෙ දුෂ්කර තත්ත්වයක. ජාතික ආණ්ඩු නෙවෙයි, පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනතෙක් කෙටි කාලයකට අන්තර් පාලනයකට යා යුතුයි කියන මතයෙයි අපි ඉන්නේ. එහෙම නැතිව ජනතා විශ්වාසයක් නැති මේ කැබිනට් මණ්ඩලය සමග ඉදිරියට යන්න බැහැ. මේ ආණ්ඩුවට ලැබුණ ජනවරම ඉවරයි.

හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා –

වසර 05කට පත්වුණ ආණ්ඩුව වසර එකහමාරකින් අසමත් වෙලා තියෙනවා. ජනතාවට වූ පොරොන්දු ඉටු නොකළ නිසා හන්දියක් හන්දියක් ගානේ විරෝධතා දකින්නට ලැබෙනවා.

මේ අවස්ථාවේ රට තියෙන තත්ත්වය හමුවේ මැතිවරණයකට යෑමට හැකි තත්ත්වයක නැහැ. ඒ නිසයි අන්තර්වාර පාලනයකට යෑම සුදුසුයි කියලා කියන්නේ. ජනතාවට කන්න නැහැ. විදුලිය, බෙහෙත් සෑම අතින්ම ප‍්‍රශ්න. හැබැයි අපි ණය ගෙවනවා කියනවා. මේක හරියට ක්ලීන් ෂූට්, එම්ටි පොකට් න්‍යායයි.

මේ වසරේ බිලියන 07 ක ණය ගෙවන්න තියෙනවා. දැනටමත් මුහුද මැද ගෑස් නැව්, තෙල් නැව් තියෙනවා. බැංකුවලට ලැබෙන ඩොලර්වලින් සියයට 50 ක් මහ බැංකුවට දෙන්න කියනවා. අම්මටයි තාත්තටයි බෙහෙත් නැහැ. ළමයින්ට කිරිපිටි නැහැ. අපි ණය වාරික ගෙවනවා කියනවා. අපි ණය ගෙව්වේ නැත්නම් සින්න වෙයි. ඒක නිසා ගෙවන්න තියෙන ණය ගෙවන කාලය දීර්ඝ කරගන්න සාකච්ඡා කර කටයුතු කළ යුතුයි.

හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා –

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා භාරදී තෝරාගත් අවස්ථාවෙත් අපි රටේ විදෙස් සංචිත, ණය, ආයෝජන ප‍්‍රතිපත්ති ගැන සංදේශයක් දුන්නා. දෙවැනි කොවිඩ් රැල්ල වෙලාවෙත් ලෙඩේ වෛද්‍යවරුන් භාරගනී, ජනතාවට සේවය කරන්න කියලා ඉල්ලා සිටියා. ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්
ගෙන්වලා දින තුනක සම්මන්ත‍්‍රණයක් තියලා රටේ තත්ත්වය ගැන කියා දෙන්න කිව්වා. ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ.

රටේ ජනතාවගෙන් සියයට 70කට නිසියාකාරව කන්න නැහැ කියලා වාර්තාවල පළ වනවා. රටේ උද්ධමනය සියයට 50 ක් වනවිට ආහාර උද්ධමනය සියයට 25 ක් වෙනවා. මෙවැනි තත්ත්වයකදී ජනතා විරෝධය මතුවන එක නවත්වන්න බැරි වෙලා රට අරාජික වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා පත්වන විට ඩොලර් බිලියන 07 ක් තිබුණා. දැන් මහ බැංකුවේ සංචිත සමග ඩොලර් මිලියන 300 ට බැහැලා. මේකට වගකියන්න ඕන අකාර්යක්ෂම කැබිනට් මණ්ඩලය.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා –

ඉතා බැරෑරුම් තත්ත්වයකයි රට තියෙන්නේ. අපිට කරන්න පුළුවන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරදීමයි. මේ ආණ්ඩුවට විසඳුමක් නැහැ. මේක අරාජික තත්ත්වයක්. මෙහෙම ගිහින් හමුදා පාලනයකට වුණත් යන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඊජිප්තුවේ මෙහෙම වෙලා තියෙනවා. ඒ නිසයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදියට මෙය විසඳා ගත යුතුයි කියන්නේ. ඒ නිසයි ආණ්්ඩුවට ඉවත් වෙන්න කියන්නේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස විතාරණ මහතා –

නිදහස ලැබුණට පසුව ආර්ථික වශයෙන් අමාරුම තැනකයි අපි ඉන්නේ. අපිට බලාපොරොත්තු වූ ජනතා අරමුණු ඉටු කරන්න බැරි වුණා.

සර්වපාක්ෂික සමුළුවක් තිබුණා. අපි අදහස් ඉදිරිපත් කළා. එතැනින් එහාට මොනවා වුණා ද දන්නෙ නැහැ. අපිට මේ වසරේ ඩොලර් බිලියන 07 ක ණය ගෙවන්න වෙනවා. මේක ගෙවන්න පුළුවන්ද? විදෙස් රටවල් අපි බංකොලොත් තත්ත්තවයට පත් වෙලා කියලා දකිනවා. රටේ ආදායම පවතින්නේ ඉහළ පැළැන්තිය හා වෙළඳ ප‍්‍රජාව අතරයි. මේ දෙගොල්ලො හම්බ කර ගන්නවා. ජනතාව බඩගින්නෙ ඉන්නවා.

පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ –

පුද්ගලයන් තුන්හතර දෙනෙක් කෑම මේසයේ ගන්නා තීරණ කි‍්‍රයාත්මක වන බවක් පේන්න තියෙනවා. ඒ නිසයි රට මේ තත්ත්වයට තියෙන්නේ. රටේ ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව සිටිනවා. විශේෂයෙන් මහල් නිවාසවල ජනතාව මේ තත්ත්වයට මුහුණ දී සිටිනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගෙවිඳු කුමාරතුංග මහතා ද අදහස් දැක්වීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment