නීති ගෙන ඒමේ වරදක් නෑ – මල්වතු මහ නාහිමියෝ කියති

1453

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සත්‍යය යැයි විකෘති වී ප්‍රචාරණය වීමෙන් නැති ප්‍රශ්න ඇතිවන වාතාවරණයක් ඇති වෙමින් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

පදනමකින් තොරව තමන් වහන්සේට ඉකුත් සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් අපහාස කළ බව ද පැවසූ මහ නාහිමියෝ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාස කිරීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට ලක්වන බව ද කීහ. සත්‍යගරුකව අපහාස උපහාසවලින් තොරව සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ. මෙම නීති ගෙන ඒමේදී දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනය කිරීමට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකැමැති නොවනු ඇති බව ද උන්වහන්සේ කීහ. ජාත්‍යන්තර මානව හිමිකම් හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊයේ (01දා) මල්වතු මහා විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ. ඔන්ලයින් පනතේ යහපත් මෙන්ම අයහපත් දේ ද තිබෙන බවත් මේවා නිවැරදිව තේරුම් ගැනීම වැදගත් බවත් ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක සුභාෂණ සුභවික්‍රම මහතා කීවේය.

අසත්‍ය සමාජගත කිරීම මගින් තවත් මානවයෙක් අගතියට පත්වන බවත් ඊට උදාහරණ ඕනෑ තරම් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන බවත් කී ඒ මහතා මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස ඒවා පාලනයට යටත්විය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව ද සඳහන් කළේය.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සාමාජික ජීවන්ත වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment