10 කල්ලිය අල්ලන්න පරීක්ෂණ
අවිස්සාවේල්ල තානායම රෙස්ට් හවුස් හි ආහාර ගනිමින් සිටි තරුණයන් 6 දෙනකුට කඩුවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගිය ‘කොටහැර පොඩ්ඩා’ නමැති පාතාලයේ ප්‍රබලයකු ඇතුළු දසදෙනකුගෙන් යුත් කල්ලිය අත්අඩංගුවට ගැනීමට අවිස්සාවේල්ල පොලිසිය, පූගොඩ පොලිස් විශේෂ කාර්යබළකා නිලධාරීන් පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.
බරපතළ කැපුම් තුවාල ලැබූ තරුණයන් 6 දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම පාතාල කල්ලිය අවිස්සාවේල්ල තානායම අවන්හලට අලාභ සිදුකර ඇතැයි ද පොලිසිය කියයි.
කායවර්ධන මධ්‍යස්ථානයේදී සිදුවූ කතාබහක් දුරදිග යෑම මෙම පහරදීමට හේතුව බව පොලිසිය පවසයි. ‘කොටහැර පොඩ්ඩා’ නමැති පාතාල ප්‍රබලයා අවිස්සාවේල්ල ප්‍රදේශයම භීතියට පත්කරගෙන සිටින බව එම ප්‍රදේශවාසීහු පවසති.
ව්‍යාපාරිකයන් බියගන්වා කප්පම් ගැනීම්, නිවැසියන් බියවද්දා දේපළ කොල්ලකෑම් සිදුකරන බවද ඔවුහු කියති. මේ අතර ‘කොටහැර පොඩ්ඩා’ මිනිස් ඝාතන 6කට සම්බන්ධ බවද පොලිසිය කියයි. ඒ අතර මැණික් ව්‍යාපාරිකයකුගේ ඝාතනය ද වන බව පොලිසිය පවසයි. අදාළ තරුණයන්ට කඩු ප්‍රහාරය එල්ල කර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් අරඹා තිබේ.