සරසවි සඳැස 05

124

අරුත පිළිබඳ සිත් කලු බව වැඩුම අරුත් ලකර යි- අරුත් ලකර යනු කියන අසන නැතහොත් ලියන කියවන දෙ පසෙහි හැඟුම යි- යමක් ඉදු ව කියනවාට වඩා වක් ලෙස කීම යි කවියාට වඩා හුරු පුරුදු වනුයේ- ‘බමරා මලට යයි’ කී විට එය ඉදු ව ම අදහස පළ වන වැකියකි- එහෙත් ‘මල බමරා අදී’ යනුවෙන් කී කල එය වක් පැවැසුමකි- වක් පැවැසුම් වෙසෙස් දහ හතරකි- වෙනස්, සම, අන්, විරුදු, හැකිළි, දෙ, බඳ, කෙටි, දිගු, ඉහළ, දෙ පිට, එ පිට, යටි පිට, රූ පැවැසුම යනු ඒ වක් පැවැසුම් වෙසෙස් දහ හතර යි- මින් කිහිපයක් විමසමු-

වක් පැවැසුම් විදි

1- වෙනස් පැවැසුම

පිළිවෙළ වෙනස් කොට කීම වෙනස් පැවැසුම යි- වක් මඟින් පැවැසීම පමණක් නො ව එහි පිළිවෙළ වෙනස් වන අයුරු මෙකවියෙන් හඳුනා ගනිමු-

මල බමරා අදී
වදී මී ඔහු තුඩු තුළැ
මෙදෙ රජයා හිස් පෙදෙස
ගුමු නද එ බව පවසා

මේ වෙනස් පැවැසුමට විරිත් වැකියෙහි දුන් නිදසුන් කවිය යි- පද පිළිවෙළ වෙනස් නො කොට එකරුණ සඳහන් කළ හොත් එය මේ සේ වියැ යුතුයි-

බමරා මලට යෙයි
හේ මල් මී තුඬි’නුරයි
හිස බමන්නට වෙයි
එයින් ගුමු ගුමු නද පවත්වයි

ඉහත කවියෙහි බමරා මලට යෙයි යනුවෙන් එහි පිළිවෙළ වෙනස් නො කොට සඳහන් කිරීම නිසා වෙනස් පැවැසුමක් නො වේ-

හේ මල් මී තුඬිනු’රයි

බමරා මල් පැණි තුඬින් උරයි යන අදහස ගෙනෙන ඉහත වැකිය පිළිවෙළ නො බිඳ ඒ අයුරින් ම සඳහන් කර තිබේ- එහෙත්, ‘වදී මී ඔහු තුඩු තුළැ’ කී කල පිළිවෙළ වෙනස් වෙයි- එවිට එය වෙනස් පැවැසුමකි-

2- සම පැවැසුම

කවියෙහි පද පිළිවෙළ වහරෙහි යෙදෙන පිළිවෙළට ම වෙනසක් නො කොට එලෙසින් ම කීම සම පැවැසුම යි- ඉහත දැක් වූ කවිය ම ඊට නිදසුනි-

3- අන් පැවැසුම

පවසන දෙයට වඩා වෙනස් අරුතක් මතු වන ලෙස පැවැසීම අන් පැවැසුම යි-

ගුරුතුමනි ම-පුත්
මැනැවින් පත පොත රකී
එක මැ පිටකට ද
සුළඟ වත් වන බවෙක් නො පෙනේ-

මේ පැදියෙන් පුතු පොත පත කියැවීමෙන් තොර ව කාලය ගෙවන බව අන් පැවැසුමෙනි අඟවන්නේ-

4- විරුදු පැවැසුම

පවතින සොබාවයට ඉඳුරා විරුදු දැයක් පැවැසීම යි විරුදු පැවැසුමෙන් සිදු වනුයේ- ‘ඉර බටහිරින් පායයි’ කී කල එය පවතින සොබාවයට වඩා විරුදු අදහසක් බැවින් විරුදු පැවැසුමකි-

5- හැකිළි පැවැසුම

හකුළුවා පැවැසීම නැතහොත් අඩු කොට කීම හැකිළි පැවැසුම යි- ඉන් පවසන දේ අඩු තක්සේරුවට ලක් කිරීම සිදු වේ-

ඇතැම් හෙළ කිවියෝ
වෙමින් එළියෙන් නොවියෝ
අරුත් රස සෙවියෝ
එහෙත් ඔහු වූ ලියදි ගොවියෝ

මේ කවියෙන් කියැවෙනුයේ අරුත් රසය මතු කරනු පිණිස කවියක එළිය තැබීමට කවියන් පෙලැඹීම ලියද්දෙකැ ගොවිකමට සම බව යි- එය ඉතා සුළු කටයුත්තක් බවට කළ ඉඟියකි-

6- දෙ පැවැසුම

එක ම පද පෙළින් අරුත් දෙකක් මතු වන සේ පැවැසීම හඳුන් වනුයේ දෙ පැවැසුම නමිනි-

නියම කව් නම් ඇදැ
හද මැදැ හොවා අදරින්
මිරික – මිරිකා රස
විඳියැ යුතු වෙයි මිහිරින් පහරින්

රසැ’ති කව ද ළඳ ද සේවනය කරන අයුරු එක ම පද පෙළින් කී බැවින් මෙය දෙ පැවැසුම නම් වේ-

7- බඳ පැවැසුම

වෙන් වූ වැකි කිහිපයක් එක් කොට කීම බඳ පැවැසුම යි-

8- කෙටි පැවැසුම

යමක් ඉතා කෙටියෙන් පැවැසීම කෙටි පැවැසුම යි- හයිකු නමින් ගැනෙන කවි ලියන විට මේ විදිය වඩාත් යෙදේ-

9- දිගු පැවැසුම

කිසියම් කරුණක් වඩාත් සවිස්තර ව දක්වන විට ඉවහල් වනුයේ දිගු පැවැසුම යි- රසිකයාට කරුණු සුබෝධ වනු පිණිස දිගු පැවැසුම ඉවහල් වේ-

අරුත් ලකර පිළිබඳ ව තවත් වැදගත් කරුණු ඉදිරි ගුරු දින ද සටහන් කරන්නෙමි- නවම් මස ඉක්මෙන්නට පෙර සරසවි සඳැස නමින් පළ වන මේ ලිපි පෙළ කුඩා පොතක් ලෙස ඔබ අතට පත් කිරීමට තැත් කරමි-

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි ක- වි-

advertistmentadvertistment
advertistmentadvertistment