ලුණු සංස්ථා අධ්‍යක්ෂ ධුරයකුත් පුදලා
මුජිබර් රහුමාන් චෝදනා කරයි
හාල් මාෆියාව මදිවාට දැන් තව එකක්:
ආණ්ඩුව මෙරටට ආනයනය කරන ලද සියලුම ලුණු තොග ලුණු විකුණන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බවත් ඔහුට ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂ ධුරයක් ද ආණ්ඩුව විසින් ලබාදී ඇති බවත් විපක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21දා) කීය.
මේ වන විට වෙළෙඳපොළේ පවතින ලුණු හිඟය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේද කියා සිටියේය.
පසුගිය මාස හයක් තිස්සේ රටට ලුණු ගෙනාවේ එස්ටීසී (රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව) එක. එස්ටීසී එකෙන් ගෙනාපු ලුණු එහෙනම් කොහෙටද ගියේ. පෞද්ගලික අංශවලට ලුණු ගෙනෙන්න අවසර දුන්නෙත් නෑ. එහෙනම් ආණ්ඩුව ගෙනාපු ලුණු වෙළෙඳපොළට ආවේ නෑ. ඒකයි මේ ප්‍රශ්නය. ආණ්ඩුව ගෙනාපු ලුණු කැට අපේ රටේ ලුණු විකුණන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට ලබා දුන්නා. ආණ්ඩුව ගෙනෙන ලුණු කිලෝවක මිල රුපියල් 24යි. ඊට අමතර වියදම් සියල්ල එක්කළ විට රුපියල් 100කට ලුණු කිලෝ එකක් දෙන්න පුළුවන්. නමුත් වෙළෙඳපොළේ ලුණු කිලෝවක් රුපියල් 350යි 400යි. ආණ්ඩුවෙන් ගෙනෙන ලුණු පෞද්ගලික සමාගම් අරගෙන කුඩු කරලා වෙළෙඳපොළට දාන්නේ ඔය ගණන්වලටයි. මේ ලුණු ගන්නේ එක්කෙනක්. පුත්තලම ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඒ ආචාර්යවරයා පෞද්ගලික සමාගමක සභාපතිවරයෙක්. ඔහු තමයි ඔක්කොම ලුණු ටික අරගෙන තිබෙන්නේ. එයා ලුණු අරගෙන ගිහින් කුඩු කරලා අපිට විකුණනවා. කිලෝ එක 350යි. කලින් රුපියල් 130ට විකුණුවේ. මෙන්න හාල්වලට අමතරව ලුණු මාෆියාවක් නිර්මාණය වෙලා. මේ ආණ්ඩුව පෙනී සිටින්නෙත් සමාගම් වෙනුවෙන්.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන