ආර්ථික පරිවර්තන පනතට සහාය දීම සියලු‍ දෙනාගේ වගකීමක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ සින්නක්කර ඔප්පු හා සහල් බෙදා දෙමින් කියයි

71

රට යළි ආපස්සට යන්න දෙන්න බැහැ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු‍ එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලු‍දෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ ඊයේ (04දා) පැවති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි. උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සින්නක්කර ඔප්පු 350ක් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ලෙස සහල් කිලෝ 10 බැගින් පවුල් 800ක් සඳහා ලබාදීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ආර්ථික පරිවර්තන පනතට සහාය දීම සියලු‍ දෙනාගේ වගකීමක් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ සින්නක්කර ඔප්පු හා සහල් බෙදා දෙමින් කියයි

මෙහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මෙම උරුමය සින්නක්කර ඔප්පු හිමිවීම ඔබේ අයිතිය ලබාදීමක් ලෙස මම සලකනවා. ජනතාවට මෙම අයිතිය ලබාදීමට මෙතෙක් පැවති සියලු‍ ආණ්ඩු අපොහොසත් වුණා. ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක වූණේ නැහැ. නමුත් අපි ආණඩුවක් ලෙස එම වැඩකටයුත්ත සිදු කර තිබෙන අතර සුදු ජාතිකයින් මෙරට ජනතාවගේ ඉඩම් අත්පත් කරගත් නීතියෙන්ම රටේ ජනතාවට යළි එම ඉඩම් අයිතිය ලබාදී තිබෙනවා. දැන් එම ඉඩම ආරක්ෂා කරගැනීම ඔබේ වගකීමක් වෙනවා.

මේ ආණ්ඩුව සමාන්‍ය ආණඩුවක් නොවෙයි. මෙය එක් පක්ෂයකින් නිර්මාණය වූ ආණ්ඩුවක් නොවෙයි. සෑම පක්ෂයකම නියෝජිතයන් මේ ආණඩුවේ සිටිනවා. ඒ වගේම සෑම පක්ෂයකම කණ්ඩායම් විපක්ෂයේද සිටිනවා. ඒ නිසා ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂයත් සර්වපාක්ෂිකයි. නමුත් ආණ්ඩුවක් ලෙස අද අප විශාල වගකීමක් භාරගෙන තිබෙනවා. විපක්ෂය කියන්නේ එම වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කළ කණ්ඩායමයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ තිබෙන වෙනස එයයි.

රටේ ආර්ථිකය දියුණු කිරීම වෙනුවෙන් වන ඉලක්ක පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟතා ඇති කරගෙන තිබෙනවා. 2027 වන විට මෙරට ආර්ථිකය 5%ක් දක්වා වර්ධනය කර ගැනීමට තිබෙනවා. එය ඉදිරියේදී 8%ක් දක්වා වර්ධනය කරගත යුතුයි. විරැකියාව 2025 වන විට 5%දක්වා අඩුකරගත යුතුයි. අප මේ වැඩකටයුතු කරන බව ප්‍රකාශ කළ නිසා රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සම්පූර්ණ සහාය ලබාදී තිබෙනවා. ඒ වගේම අප ලබාගත් විදේශ ණය ආපසු ගෙවීම ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ කඩ කළහොත් අප නැවත රටක් ලෙස පසුපසට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපට අහිමි වෙනවා. මොකද ලංකාව අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත මෙම පොරොන්දු ලබාදී ඒවා කඩ කළා.

ආර්ථික පරිවර්තන පනතට සහාය දීම සියලු‍ දෙනාගේ වගකීමක් - ජනාධිපති රනිල් වික්‍රමසිංහ සින්නක්කර ඔප්පු හා සහල් බෙදා දෙමින් කියයි

ඒ නිසා මේ සියලු‍ එකඟතාවන් ඇතුළත් කර ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම කෙටුම්පත මඟින් අපේ ආර්ථික ඉලක්ක සහ එකඟතාවන් නීතිගත කර තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යන බවට, අපට ණය ලබාදුන් රටවල් සෑහීමකට පත්ව සිටින නිසා ඔවුන්ගේ සහාය අපට හිමි වෙනවා. ඒ නිසා අපට මෙය වෙනස් කරන්න බැහැ. දැන් මෙම සාකච්ඡා අවසන් අදියරේ පවතිනවා. ඒ නිසා දේශපාලන වේදිකාවේ ඕපා දූප කථා කර වැඩක් නැහැ. තමන් කරන කියන දෙයක් මෙම රාමුව තුළ සිදු කළ යුතුයි. ඒ නිසා මම විපක්ෂයට කියනවා ඔබ විපක්ෂයට ගියේ වගකීම් භාරගැනීමට නොහැකි වූ නිසයි. සාම්ප්‍රදායික දේශපාලනය කළ නිසයි. අද අප ආණ්ඩුවේ සිටින්නේ බිය නැතිව අභියෝග භාරගෙන කටුයතු කළ නිසයි. දැන් අප ප්‍රතිඵල පෙන්වා තිබෙන නිසා අපි සියලු‍දෙනා එක්ව එක මාර්ගයක ගමන් කරමු කියා මා සියලු‍දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment