ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්න – දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධානවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක්

35

රජය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරනා ලෙස ඉල්ලා ජනමාධ්‍ය සංවිධාන, ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති, සමගි ජන බලවේගය පක්‍ෂයේ සමගි සේවක සංගමය හා දේශපාලන සංවිධාන කිහිපයක් ඊයේ (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක් ඉදිරිපත් කළහ.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, ලංකා බැංකු වෘත්තිකයන්ගේ සංගමය, නිදහස් වෙළෙඳ කලාප වෘත්තියන්ගේ සංගමය ඇතුළු ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන 8ක් එක්ව විශේෂ පෙත්සමක් ගොනු කළ අතර ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව හා සරත් කරුණාරත්න යන සමාජ හා දේශපාලන ක්‍රියාකාරීන් ද තවත් පෙත්සමක් ගොනු කළහ. සර්ව ජන බලය ප්‍රමුඛ දේශපාලන සංවිධාන හතක් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සමග හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඇතුළු පිරිසක් ද තවත් විශේෂ පෙත්සමක් ගොනු කළහ.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පනත කාර්යක්ෂම කිරීමේ මුවාවෙන් රජය ගෙන එන එම පනත් කෙටුම්පත්වල මූලික අරමුණ වනුයේ ආර්ථික ආයෝජන කලාප කොටස් කර සිය ගජමිතුරන්ට අලෙවි කිරීම බවත් එම පනත් කෙටුම්පත් සම්මත වුවහොත් තාක්ෂණ ඇගැයීම් වාර්තා ලබාගැනීමකින් තොරව හා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිය අභිමතය මත පමණක් සියලු තීන්දු තීරණ ගැනීමේ අසීමිත බලය විෂය භාර අමාත්‍යවරයාට හිමිවන බවත් පෙත්සම්කරුවන් එම පෙත්සම් මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

වෙනත් රටවලින් ප්‍රතික්‍ෂේප කළ විදේශීය සමාගම්වලට අප රට තුළ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රටට ඇතුළු වීමේ අවසරයක් එමගින් හිමිව ඇති බවද එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබූ පෙත්සම්කාර පාර්ශ්ව එය ඉතා අහිතකර තත්ත්වයක් යැයිද වැඩිදුරටත් අධිකරණය හමුවේ පවසා ඇත. එබැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් පමණක් නොව, ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවටත් නිගමනය කරන්නැයි ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment