තමන් කරන දෙයින් ලොවක් දිනන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? අනික එහෙම ජයග්‍රහණ හම්බ වෙන්නේ කීයෙන් කීදෙනාටද? අන්න එහෙම ලබාගත්තු ජයග්‍රහණයක් ගැන කියන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. පසුගිය දවස්වල නයිජීරියාවේ පැවැත්වුණු 4 වන බයෙල්සා ජාත්‍යන්තර සිනමා උළෙලේදී ආචාර්ය සෝමරත්න දිසානායකයන් නිර්මාණය කළ ‘සිංහබාහු’ සිනමා පටයට සම්මාන හතරක් හිමිවෙනවා. එයින් එක සම්මානයක් හම්බවෙන්නේ රමේෂා ඕෂිණීට. ඇයට මේ සම්මානය හම්බවෙන්නේ හොඳම රංග වස්ත්‍රාභරණ වෙනුවෙන්. ඉතින් අපි ඇයට අවස්ථාවක් ලබාදුන්නා ඒ ගැන රටටම කියන්න.

4 වන බයෙල්සා ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම වස්ත්‍රාභරණ වෙනුවෙන් රමේෂා ඕෂිණී ජගත් සම්මානයට පාත්‍ර වුණා. මොකද හිතෙන්නේ?

චිත්‍රපටයකට සම්මානයක් කියලා මුලින්ම හම්බවුණේ මේ සම්මානය. ඒකත් ජාත්‍යන්තර සම්මානයක් වීම ගැන ඇත්තටම සතුටුයි. මම එච්චර දුරට බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. මගේ දෙවැනි චිත්‍රපටය තමයි සිංහබාහු චිත්‍රපටය. නිර්දේශ වුණ වෙලාවේ හිතුවේ ඒකත් ලොකු අවස්ථාවක්නේ කියලා. අන්තිමේ සම්මානය ලැබීම ගැන මට හිතාගන්න බැරිවයි ඉන්නේ.

ඇඳුම් හදලා ජාත්‍යන්තරය දිනපු ගමේ කෙල්ල - රමේෂා ඕෂිණී

සම්මාන උළෙලට සහභාගි වෙන්න නොලැබීම ගැන දුකක් එහෙම තියෙනවාද?

යන්න තිබ්බා නම් කැමැතියි. නමුත් මේ ටිකේ මම හිටපු තත්ත්වයත් එක්ක සමහරවිට සහභාගි වෙන්නත් බැරිවෙන්න ඉඩ තියේවි.

මේ ආරංචිය දැනගත්තේ කොහොමද?

රේණුකා මිස් වගේම සෝමේ සර් කතා කරලා කිව්වේ. එදා මම රූගත කිරීමක ඉන්නකොට තමයි කෝල් කරලා කිව්වේ. මට ඒ වෙලාවේ හිතාගන්න බැරිවුණා. නොමිනේට් වුණාට මාව තේරෙයි කියලා හිතුවේ නැහැ.

ඇඳුම් හදලා ජාත්‍යන්තරය දිනපු ගමේ කෙල්ල - රමේෂා ඕෂිණී

සිංහබාහු අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වගේම නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මොනවද කිව්වේ?

සෝමේ සර් වගේම රේණුකා මිස් රූගත කරන කාලෙ කිව්වෙත් පොඩිහරි අඩුපාඩුවක් තියන්න එපා කියලා. මොකද සම්මානයක් බලාගෙන වැඩ කරන්න කියලයි ඒ දෙන්නා මුල ඉඳලම කිව්වේ. පොඩි අඩුපාඩුවක්වත් නොවෙන්න තමයි මාත් මුල ඉඳලා සැලසුම් කළේ. මට ඕනෑ වුණේ වැඩේ හරියට කරන්න විතරයි. මොකද ලොකු අත්දැකීමකුත් නැහැ. දැන් තමයි ඒකෙ වටිනාකම තේරෙන්නේ.

සිංහබාහු වස්ත්‍රාභරණ වෙනුවෙන් සම්මානයක් ලැබෙයි කියලා හිතුවේ නැතිද?

මම හිතාගෙන හිටියේ කවදාහරි දවසක ලංකාව ඇතුළේ සම්මානයක් ලැබේවි කියලා. මම තවම ගමන පටන් ගත්තා විතරයිනේ. සිංහබාහු මගේ දෙවැනි චිත්‍රපටය. මම උත්සාහ කළේ ලංකාව ඇතුළේ සම්මානයක් ගන්න. මුලින්ම ජාත්‍යන්තර සම්මානයක් ලැබේවි කියලා හීනෙන්වත් හිතුවේ නැහැ. තවම හිතාගන්න බැරිවයි ඉන්නේ. අනික අපේ රටේ නළුවන්ට, නිළියන්ට, අධ්‍යක්ෂවරුන්ට ජාත්‍යන්තර සම්මාන හම්බවුණාට රංග වස්ත්‍රාභරණ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නේ හරි අඩුවෙන්නේ. ඒක හින්දම මේ සම්මානයත් මට ලැබේවි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙත් නැහැ.

දැන් ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

දැන් ජීවිතය වෙනස්ම පැත්තකට යන්නේ. ෆැෂන් ඩිසයිනින් කිව්වහම මම මුලින්ම පටන් ගත්තේ විලාසිතා දැක්මවලට වෙනස්ම විදිහේ විලාසිතා ටිකක් ඉදිරිපත් කරනවා කියලා. ජීවිතයේ තුන් හිතකවත් අදහසක් තිබුණේ නැහැ සිනමාවට සම්බන්ධ වෙන්න. නමුත් දැන් මට ඒ අවස්ථාව උදාවුණා. මම මේ වෙලාවේ වැඩිපුර කැමති චිත්‍රපටවලට ඇඳුම් නිර්මාණයෙන් සම්බන්ධ වෙන්න. මගේ රැකියාවත් දැන් නොසිතූ පැත්තකට හැරිලයි තියෙන්නේ.

මේ දවස්වල වැඩිපුර කාලය වැය කරන්නේ සිනමාවටද?

ඔව්. ඔව්. සිනමාවට. අනික චිත්‍රපටයක් භාරගත්තහම ඒ වෙනුවෙන් මාස තුන හතරක කාලයක් කැපවෙන්න ඕනෑ. ඒක හින්දා සිනමාව වෙනුවෙන් වැඩිපුර කාලයක් වැය කරන්න වෙලා තියෙනවා. සමහර වෙලාවට එකවර චිත්‍රපට දෙකක් විතර භාර අරගෙන කරන වෙලාවලුත් තියෙනවා. මොකද ලැබෙන අවස්ථා මඟහරින්නත් බැහැනේ. හැබැයි මම ඩිසයිනර් වැඩේ කරන එකත් නතර කරලා නැහැ.

කැම්පස් එකේ ඉගෙන ගත්ත කාලේ හිතුවේ මොනවගේ ක්ෂේත්‍රයක් ගැනද?

එහෙම ජොබ් එකක් ගැන ලොකුවට අදහසක් තිබ්බේ නැහැ. මොකද ඇඳුම් කිව්වාම පස්සේ දැක්කේ හරිම කුඩා ප්‍රමාණයක්නේ. ෆැෂන් ෂෝවල දැක්කෙ ෆැෂනබල් ඇඳුම් ටිකක් කරන්න ආසා හිතුණා මිසක් චිත්‍රපට ක්ෂේත්‍රයක් ගැන එච්චර ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. මුලදී ටෙලි නාට්‍ය එකක් දෙකක් කළා. හැබැයි ඒත් ලොකු ආසාවක් තිබුණේ නැහැ.

මුල්ම සිනමා නිර්මාණය ගුත්තිල නේද?

ඔව්. ගුත්තිල කරද්දි මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒකත් දැවැන්ත සිනමා නිර්මාණයක්. මම මේ වෙලාවේ ගුත්තිල අධ්‍යක්ෂ සහන් අබේසේකරට සහ නිෂ්පාදක හරේන් නාගොඩ මහතාට ස්තූතිවන්ත වෙනවා. මොකද මම චිත්‍රපට කරලා තිබුණේම නැහැනේ. ඉතින් ඒ වගේ දැවැන්ත චිත්‍රපටයක් මුලින්ම ලබාදීම ගැන මම ඔවුන්ට ස්තූති නොකර බැහැනේ. මම ඔවුන්ගේ විශ්වාසය නොකැඩෙන විදිහට වැඩ කළා. ඊට පසුව තමයි මට ‘සිංහබාහු’ චිත්‍රපටයට ආරාධනාවක් ලැබෙන්නේ. සෝමේ සර් මා ගැන කිව්වට පස්සේ තමයි සුනිල් සර් ‘බුද්ධ මාතා’ චිත්‍රපටයට කතා කළේ. ඒ වගේ දැවැන්ත වැඩ කරපු හින්දා දැන් මට මුලින් තිබුණ බය නැතිවෙලා තියෙනවා.

ඈත ගමක ඉඳලා ඇවිත් ලොවක් දිනුවා කියලා හිතෙන්නේ නැතිද?

මම ගමේ ඉඳලා ඇවිත් දැන් කොළඹට වෙලා අවුරුදු පහක් හයක් වගේ කාලයක් වෙනවානේ. එතකොට මටත් වඩා කට්ට කාපු දුක් විඳපු කට්ටිය හම්බවෙලා තියෙනවා. එතකොට දුක්විඳීම කියන එක සාපේක්ෂයි. මොකද මට දැන් කියන්න බැහැ මම මාර කට්ටක් කෑවා කියලා. මොකද ඊටත් වඩා කට්ට කාපු කට්ටිය හම්බවෙලා තියෙනවා. හැබැයි කැපකිරීම් ගොඩක් කළා. ඒවායේ ප්‍රතිඵල දැන් භුක්ති විඳිනවා.

දිනේෂ් විතාන


advertistmentadvertistment