කේන්දරයෙන් පෙන්වන ඔබේ වාසනාව

637

කෙනකුගේ වාසනාව කේන්දරය තුළ ගැබ්වී තිබේ. අපට ඒ වාසනා මහිමය කේන්දරය තුළින් මනාව දැකිය හැක. ඇතැම් විට ග්‍රහයෝග තුළින් ද ඒවා දිස්වෙයි. තනිව ඒ ඒ තන්හි ග්‍රහයන් යම්සේ සිටී ද ධනය ලබාදෙන යෝග ඒ අතර වෙයි. මේ අනුව පහත දක්වන පරිදි ඒ ඒ ග්‍රහයන්ගේ පිහිටීම් අනුව කෙනකුට ධනය වර්ධනය වන පිහිටීම් සහ ඒවා එසේ වර්ධනය නොවුණ හේතු ද අවබෝධ කරගත හැක. මේ මේ විදියට ග්‍රහයෝග යෙදී ඇත්නම් මේ මේ විදියට – මේ මේ ආකාරයට ග්‍රහයන් සිටීනම් මේ ආකාර ධනය ලැබීම් ඇති කරයි කියා ඉපැරැණි සෘෂිවරුන් දක්වා ඇත්තේ බොරුවට-නිකමට නොවේ. ඔබට එහෙම තිබී එම ග්‍රහ දසා කාලවල ඔබට එවැන්නක් නොලැබුණේ නම් ඒ ඔබට යම් බාධාවක් එයට බලපාන බැවිනි. එය කවරේ ද? දුරුකරන්නේ කෙසේද කියා මේ ලිපියේ අගට විස්තර වේ. තනිව ඒ ඒ රාශි හා භාවවල ඒ විශේෂිත ග්‍රහයන් සිටි විට සෘෂිවරු පෙන්වා ඇති ආකාරය මෙසේය.

රවි ග්‍රහයා කේන්දරයේ 11 සිටී නම් වස්තු සම්පත් සැපය – නිරෝගී බව ඇති කෙරේ. බලවතුන් ඇසුරට ලැබේ. 11 වැනි කොටුව මේෂ රාශිය වුවහොත් ඒ තත්ත්වයත් දෙගුණ තෙගුණ වේ. කුජ ග්‍රහයා 06 වැන්නේ සිටියාම ධෛර්යවත් බව ද වස්තු සම්පත් ද රජුන්ගෙන් සැලකිලි ද ලබයි. බුධ ග්‍රහයා කේන්දරයේ 2 වැන්න කන්‍යා රාශිය වී එහි සිටිත් නම් වස්තුව ද සැපය ද ලබාදෙයි. ස්ත්‍රී සැප ද ලබාදෙයි. ගුරු කේන්දරයේ දෙවැන්න වී එය වෘෂභ රාශිය වී නම් වාසනාව ද සැපසම්පත හා වස්තු සම්පත් ඇති කරයි. කේන්දරයක ධනු රාශිය දෙවැන්න වී එහි සිකුරු සිටී නම් වස්තුව ද රාජ්‍ය තනතුරු ද ලබයි. 10 වන කොටුව මීන රාශිය වී එහි සිකුරු ඇත්නම් මහා ධනවන්තයෙක් වේ. සෙනසුරු ග්‍රහයා කේන්දරයේ 11 වැන්නේ සිටීම ධනය ලබාදෙන පිහිටීමකි. එම ස්ථානය තුලා-කුම්භ-මකර ආදී ලග්නයක් නම් වඩාත් සුබය. මෙසේ කියන ලද ග්‍රහයන් සේම රාහු ද 11 වැන්නේ සිටීම ධනය ලබාදෙන පිහිටීමකි. එය කන්‍යා-මකර-කුම්භ යන ලග්නයක් වීමෙන් වඩාත් ධනය ලබාදෙන පිහිටීමකි.

එසේම මනුෂ්‍යයාට තවත් ධන වාසනා ඇති කරන ග්‍රහයෝග තිබේ. මේ අනුව කේන්දරයේ 11 වැන්න අධිපතියා ධනස්ථානයෙත්, ධනස්ථාන අධිපතියා 11 වැන්නෙත් සිටිමින් උදාවන පරිවර්තන යෝගය ද ධනය ලබාදෙන බලයකි. ඒ වගේම කේන්දරයේ ධනස්ථාන අධිපතියා කේන්දරයේ 5 වැන්නේ සිටීනම් එම තැනැත්තා ජීවිත කාලය තුළ විශාල ධන වාසනාවක් උදාකර ගන්නා බවට සෘෂිවරුන් දක්වා තිබේ. ලොතරැයි ජය ද එමගින් හිමිවේ.

එමෙන්ම ජීවිත කාලය පුරා තමන්ට ධනය හිමිවන මාර්ග හැටියට රැකිරක්ෂා සම්පාදනය වන යෝග ද පවතී. කෙනකුගේ සෙනසුරු ග්‍රහයා මේෂ-වෘෂ්චික යන රාශි දෙකෙන් එකක සිට, ඔහුට කුජ ග්‍රහයා පෙනේ නම් ඉංජිනේරුමය හැකියාව ලබා ඒ තුළින් ආදායම් උපදවා ගත හැක. එසේම සෙනසුරු තුලා-වෘෂභ යන රාශියකින් එකක සිටීමත්, ඒ සෙනසුරුට සිකුරු පෙනීම සිදුවී ඇත්නම් මුදල් සම්බන්ධ විෂයයන් ධාරණය කර ඒ තුළින් මුදල් උපයා ගත හැකිය.

කේන්දරයක සෙනසුරුට රවි ග්‍රහයාත් රාහු ග්‍රහයාත් කුමන ආකාරයෙන් හෝ සම්බන්ධයක් ඇත්නම් ඔහුට වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමේ හැකියාවත් ඒ තුළින් මුදල් ඉපැයීමටත් ජීවිත කාලය පුරා හැකියාව ඇති කරයි. එසේම කේන්දරයක ගුරු ග්‍රහයා සිටින තැනින් හත්වැන්නේ සඳු සිටින්නේ නම් ඒ කෙනාට අලි ඇතුන් පවා හිමිවන තරමට මහා ධන බලයක් ලබාදෙන “ ගජකේශරී” නම් ධන යෝගයක් පවතින බව සෘෂි මතය වේ.

මෙසේම ව්‍යාපාර ආරම්භ කිරීමට – ගෙවල් දොරවල් හැදීම ආරම්භ කිරීමට, ජීවිතේ වෙනත් සුබ කටයුතු ආරම්භ කිරීමට නැකැත් තෝරාගන්නේත් තමන්ට ධනය පහසුවෙන් උපයා ගත හැකි පරිද්දෙන් වටපිට සකසා ගත හැකි ඉතා සුබ නැකැතක් තෝරා ගැනීමෙනි. එයත් ධනකාරකත්වය ඇති කරගත හැකි අවස්ථාවකි.

මේ තත්ත්වයන් සෘෂිවරු හඳුන්වා ඇත්තේ බොරුවට නොවේ. මේවා පරම සත්‍ය දේවල්ය. නමුත් මෙවන් ග්‍රහ පිහිටීම් කේන්දරවල පිහිටා ඇතත් ඒ සුබ ඵල ජීවිතයට නොලැබුණ බොහෝ අය සිටිති. එසේ සිදුවන හේතුව කුමක්දැයි විමසිය යුතුය. මාගේ අත්දැකීම් අනුව ගජකේශරී යෝගය තිබුණ අය මට හමුවී තිබේ. එය මහා ධනයෝගයකි. නමුත් ඔවුන්ට එවැනි ධන වාසනාවක් හිමිවී නැත. ඇතැම් අයට වෛද්‍ය යෝගය පැවැතියත් ඔවුන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන තිබේ. මේ තත්ත්වය වැඩිම පිරිසකට බලපාමින් එවැනි ධන වාසනාවන්ගෙන් තොර ජීවිත ගතකරයි.

මෙයට මුල්වන හේතුව අපල වෙයි. අපල යන්නෙහි තේරුම පල නැති යන්නය. මේ තත්ත්වයන් දහමට අනුව අකුසල් ප්‍රතිවිපාක ලෙස දක්වයි. ඒ ගැන දහම ඇසුරෙන් දීර්ඝව මම නොකියමි. අපල යන්නෙහි තේරුම සඵලත්වය නැත යන්න නිසා, එම සඵලත්වය ඇතිවීමට අවශ්‍ය “ කුසල උපස්ථම්භක” යන විශ්ව බලය ඔවුන්ගෙන් ඉපදී නැත. ඉපදී ඇතත් එය දුර්වලය. මෙවන් බල උපදින්නේ අනුන්ගේ යහපත පිණිස පරිත්‍යාගශීලී කටයුතු කිරීම් ද දානමානාදී පුණ්‍ය ක්‍රියා ද කිරීමෙනි. ඒ දේවල් තමාට ධන වාසනා උදාවීමට බලපාන හේතූන්ය. පෙර ආත්මේ එවැනි දේවල් කර බලය උපද්දාගෙන ඇත්නම්, මේ ආත්මයට ඒවායේ ඵල ලැබේ. මේ ආත්මේ ඒ දේවල් කිරීම එන ආත්මයට වාසනා මහිමය වෙයි. මේ ආත්මේ කරගන්නා එවැනි දේවල් නිසා මේ ආත්මයට ද පෙර ආත්මේ කළ එවැනි දේවල්වල ඵලය වේගයෙන් පැමිණේ.

එවැනි තත්ත්වයක් පවතින අයට පමණක් කේන්දරවල පෙන්වා ඇති ධන වාසනා නිතැතින්ම හිමිවේ. එබැවින් මෙම ධන වාසනා බලවත් කරගැනීමට අනුන්ගේ යහපත උදෙසා කරන පරිත්‍යාගශීලී කටයුතු ද දානමානාදී කුසල කර්ම ද හැකිතරම් කරගන්න.

කේන්දරයෙන් පෙන්වන ඔබේ වාසනාව

ජ්‍යොතිෂවේදී අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253

advertistmentadvertistment
advertistmentadvertistment