දැන උගෙන රඟනොපා රඟපාන්න…. තිරිමාදුරගෙන් අජිත්ගෙන් දැනගන්න

232

අපි තමයි හොඳම අරගල කළේ… මාධ්‍ය සම්පූර්ණයෙන්ම කරන්නේ බොරුව – කුමාර තිරිමාදුර
ජීවිතේට මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නෑ – අජිත් ලොකුගේ


දැන උගෙන රඟනොපා රඟපාන්න එන්න රඟපාන්න එහෙම කියන්නේ අපි නම් නොවෙයි. කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනකු වන කුමාර තිරිමාදුරයි අජිත්  ලොකුගේයි. වේදිකාව ටෙලිනාට්‍ය වගේම සිනමාව කියන මාධ්‍ය ත්‍රිත්වයේම එක ලෙස දස්කම් දැක්වූ මේ චරිත දෙක එකතුවෙලා ක්‍ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයනුත් එකතු කරගෙන රඟනොපා ජීවත්වෙන්න චරිතයක් ගැනයි කියන්න යන්නේ. ඇත්තටම මේක ත්‍රෛමාසික පාඨමාලාවක් ලබන 27 වැනිදා මහරගම ජනාධිපති විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී තමයි ආරම්භ වෙන්නේ. ඇත්තටම ඒ කවුරු වෙනුවෙන්ද?

දැන උගෙන රඟනොපා රඟපාන්න.... තිරිමාදුරගෙන් අජිත්ගෙන් දැනගන්න

අජිත් ලොකුගේ ඒ වෙනුවෙන්  හඬ අවදි කළේ මෙලෙසිනි.

දැන් අපි නාට්‍ය පාඨමාලාවන් හදාරලා නාට්‍ය මැඩමුළු පවත්වලා 1983 වගේ කාලයක තමයි මේ ක්‍ෂේත්‍රයට ආවේ. එතකොට අපි මේ ක්‍ෂේත්‍රයට ආවේ යම්කිසි පදනමක් ඇතිවයි. අපිට ගුරුවරු ටිකක් ඉන්නවා. ඒ ගුරුවරු අපිට නාට්‍ය කලාව වගේම රංගනය වගේම ජීවිතයත් ඉගැන්නුවා. ඒක හින්දයි අපි මේතාක් කල් මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු හතළිහක් ඉන්නේ. ඉතිං අපි කල්පනා කළා මේක අපේ අලුත් පරපුරටත් දායාද කරන්න. කුමාරයි මායි මේක සැලසුම් කළේ දැනට අවුරුද්දකට විතර කලින්. නමුත් රටේ ඇතිවුණ වාතාවරණයත් එක්ක කොවිඩ් ප්‍රශ්නත් එක්ක මේක ටික ටික කල්ගිහිල්ලා අපි හිතුවා දැන් තමයි මේක කරන්න හොඳම කාලය කියලා. රඟපාන්න උගන්වන්න ලෝකයේ කිසිකෙනකුට බැහැ. හැබැයි මගපෙනවීමක් කරන්න පුළුවන්. කිසියම් වූ පදනමක් හදලා දෙන්න පුළුවන්. තමන් තමයි ඉදිරියට යන්න ඕනෑ ඒ යන්න ගොඩක් දේවල් එකතුකර ගන්න ඕනෑ. අන්න ඒ එකතු කර ගන්න ඕනෑ දේවල් ටික අපිට කියලා දෙන්න පුළුවන්.

දැන උගෙන රඟනොපා රඟපාන්න.... තිරිමාදුරගෙන් අජිත්ගෙන් දැනගන්න

මේකට අපි දෙන්නගේ මූලිකත්වයෙන් වසන්ත විට්ටච්චි මහත්මයා සම්බන්ධ වෙනවා. ඒ වගේම පිටපත් රචනයෙන්, රංගනයෙන්, අධ්‍යක්‍ෂණයෙන්, කලා අධ්‍යක්‍ෂණයෙන් වගේම අනුසාංගික අංගවලින් එකතුවුණ පිරිසක් මේ දරුවන් සමග සාකච්ඡා කරනවා. රඟපානවා කියන එකට වයස් කාණ්ඩයක් නැහැ. නාට්‍ය වැඩමුළුවක් කරගෙන යනකොට ඉතාම පොඩි ළමයින් අරගෙනත් බැහැනේ. හුඟක් අරමුණු කරන්නේ වයස අවුරුදු දාහතරට ඉහළ දරුවන්ට. අපි ඉගෙන ගත්තු දේ අනාගත පරපුරට දෙන්න තමයි මේ සූදානම් වෙන්නෙ. ඇත්තටම අජිතුයි තිරිමාදුරයි මේ කරන්න හදන්නේ හැමෝම කරන්න හදන වැඩේද නැත්නම් කරගෙන යන වැඩේද? ඒ කතාවට තිරිමාදුරගෙන් ලැබුණේ අපූරු උත්තරයක්.

ලංකාවේ ඉන්න විශිෂ්ට නළු නිළියන් බිහිකරපු පාසලකින් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. මගේ පාසලෙන්ම මම හොඳම නළුවා වුණ කෙනෙක්. මම ඇඳුම් බෑගය  එල්ලගෙන අවුරුදු දහයක් විතර ගාමිණි හත්තොටුවගම ආචාර්යවරයා එක්ක දීපානි සිල්වා, ප්‍රසන්නජිත අබේසූරිය වගේ පිරිසක් එක්ක පාරක් පාරක් ගානේ වීදි නාට්‍ය කරපු අය. එතකොට අපි තමයි හොඳම අරගල කළේ. අපි ජේ. ආර්. ජයවර්ධනගේ, ප්‍රේමදාසගේ ආණ්ඩුවලට ගැහැව්වා අපි ඒ කාලේ කරපු නාට්‍ය තහනම් කරපු අවස්ථා තිබුණා. අපි වීදි නාට්‍යවලින් මේ ව්‍යසන ඒකාලෙම පෙන්නුවා. නමුත් රටේ මිනිස්සුන්ට තේරුණේ නැහැ. කලාකරුවා එදා ඉඳලා මේ ව්‍යසන දුටුවා. අපි ඔයගොල්ලන්ට කොළඹට ගංවතුර ගලන එක 1978 ආර්. ආර්. සමරකෝන් කැලණි පාලමෙන් කිව්වා. ඒක බලලා ඉවරවෙලා ඔක්කොමලා හිනාවෙලා ගියා. අදටත් කොළඹ යටවෙනවානෙ. මනෝරත්න අන්දරේලා නාට්‍යයෙන් කිව්වා පාර්ලිමේන්තුවට විකටයෝ යවන්න එපා කියලා. අපේ කලාකාරයෝ මහ ලොකුවට පාර්ලිමේන්තුවට ගියා කියලා අපිට මොකුත් වුණාද? කවුද කළේ?

එදා අපේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා වරක් මා සමග පැවසුවා මේක බොරුවක්. මේක ඇතුළේ අපිට කරන්න කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ. මේක මඩ ගොහොරුවක් කියලා. අනික් කාරණාව අපේ හොඳම නළුවා විජය කුමාරතුංගව දේශපාලනඥයෝ ඔහුගේ ඔළුවට වෙඩි තියලා මරනවා.

මේගොල්ලොත් එක්ක අපිට කතාවක් නෑ. අපි මේ සියලු පරාසයක වැඩ කරපු අය. දෙමාපියන් අහනවා පාරේ යනකොට ඔයගොල්ලෝ දන්න දේ අනාගතයට දෙන්නේ නැතිද කියලා. මම ජාත්‍යන්තර සිනමාවට පිවිසුණා. ඇමරිකාවෙත් සම්මාන ගත්තා. එංගලන්තයෙන් හොඳම අධ්‍යක්‍ෂවරයාට සම්මාන ගත්තා. ඉන්දියාවෙන් ආසියාවේ හොඳම චිත්‍රපටය කියලා කිව්වා එතකොට මිනිස්සු අහනවා අපෙන් ඔයා මේක උගන්වන්නේ නැතිද කියලා. අපි ඒක අනාගතයට දෙන්න තමයි මේ හදන්නේ. ඒක හැබැයි ලාබෙට නිකන් දෙන්න බැහැ. මමයි අජිතුයි වගේ දෙන්නෙක් එකතුවුණහම ඇති.

වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද තෙල් අර්බුද වගේම විවිධ අනෙක් ප්‍රශ්න එක්ක මේ වගේ වැඩක් ජයග්‍රහණය කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඉතිං මේ වගේ කාලයක මේ වගේ වැඩක් දිනන්නේ කොහොමද කියලා තිරිමාදුර කිව්වේ මෙන්න මේ විදිහට.

ඒක මාර වැඩක්නේ. දැන් බලන්න ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එක රුපියල් 6000 ට – 7000 ට ටිකට් අරගෙන බැලුවානේ. එතකොට මේ රටේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතුණේ නැතිද? මැච් ටික බලන්න ගිය සෙනග. ඔවුන්ට නාට්‍යයක් බලන්න බෑ ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. රට එතැනමයි ගියේ. කලාවට නිසි තැන දීලා නැහැ. නමුත් ලෝකය එහෙම නැහැ. මේ සංස්කෘතිය අපිට හදාගන්න බැරි වුණා. මුන්ට මැච් බලන්න පුළුවන්. නාට්‍යයක් බලන්න බෑ.

තිරිමාදුරගේ කතාවට පුංචි බාධාවක් කරමින් අපිත් කතාවටම තවත් ඌනපූර්ණයක් එක් කළා.

අනික කවදාද මේ ප්‍රශ්නය අපිට ඉවරවෙන දවස. ඒක නිශ්චය කරන්න බැහැනේ. යුද්ධයක් තිබුණා අවුරුදු තිහක්. යුද්ධය ඉවරවෙනකම් මිනිස්සු බලාගෙන හිටියේ නෑනේ නිර්මාණ කරන්න. හැබැයි ඒවා බලන්න පුළු පුළුවන් විදිහට මිනිස්සු ආවා. මිනිස්සුන්ට හරි දේ, යහපත් දේ, නිවැරැදි දේ දෙනවා නම් මිනිස්සු එතැනට එකතුවෙනවා. වෙලා තියෙන්නේ අපි හරි අලසයි. ටෝක් විතරනේ අපිට තියෙන්නේ. අපි මේක ඉවරවෙනකම් බලාගෙන ඉමු නාට්‍යයක් කරන්න. ජීවිතේට මේවා ඉවරවෙන්නේ නැහැ. එන්න එන්න වැඩිවෙනවා ඉතිං ඕක බල බලා හිටියොත් අපිත් ඉවරයි. ඔබත් ඉවරයි. මිනිස්සුන්ට රස විඳින්න පුළුවන් දෙයක් දුන්නොත් මිනිස්සු එතැනට එනවා.

අජිත් ලොකුගේ කියන්නේ හරි දේ දුන්නොත් මිනිස්සු ඉන්නවා එහෙමද?
 

ඔව් අනිවාර්යයෙන්ම හරි දේ නිවැරැදි වෙන්නත් ඕනෑ. ඒක මෙහෙයවන අපි දෙන්නාගේ ඉඳලා නිවැරැදි වෙන්න එපායැ නැතිව මේක වෙන වෙන පරමාර්ථ වලින් කරන්න බැහැ. වර්තමානයේ තාරුණ්‍ය ඉන්නේ කලාවට වඩා ස්මාර්ට් දුරකථනයත් සමග. එතකොට මේ වැඩේ මේ දෙපළට සාර්ථක කරගන්න පුළුවන් වේවිද? රඟපෑමට ඔවුන්ගේ වැඩි කැමැත්තක් නැහැ. මේ කතාවට තිරිමාදුරගෙන් ලැබුණේ අපූරු උත්තරයක්.

ඔය කතාවට මම කියන්නේ මෙන්න මේ වගේ කියැවීමක්. එෆ්. එම්. නාලිකා සහ මාධ්‍ය ආයතනවල මල්ලිලා ටිකක් හිතාගෙන ඉන්නවා ඔවුන් ගේ අදහස තමයි ලෝකයේ අදහස කියලා. හරිද? නමුත් ජනතාව ඉන්නේ වෙන තැනක. මීඩියාවල නංගිලා මල්ලිලා හිතාගෙන ඉන්නවා ඔවුන්ගේ අදහස තමයි ජනතාවගේ අදහස කියලා. මාධ්‍ය හිතාගෙන ඉන්නවා ඔවුන්ගේ අදහස තමයි රටේ ජනතාවගේ අදහස කියලා ඒක වැරැදියිනේ. මේවට අපිට ගොඩක් ඕනෑ නෑ හොඳ දරුවෝ 50ක් ආවොත් ඇති හොඳ පස්දෙනෙක් එළියට ගියහම ඇති.

තිරිමාදුරට හිතෙන්නේ මාධ්‍යයෙනුත් හරි දේට ඉඩක් නැහැ කියලද?

නැහැ නැහැ ඉඩක් නැහැ. මාධ්‍ය සම්පූර්ණයෙන්ම බොරුව කරන්නේ. මමයි සරත් කොතලාවලයි ද නිවුස්පේපර් චිත්‍රපටයෙන් මාධ්‍යයට ගැහැව්වේ තුන්වැනි ආණ්ඩුව කියලනේ විධායකය. ව්‍යවස්ථාදායක ඊට පස්සේ මාධ්‍ය. මේක ඇතුලේ අවංක කිහිපදෙනෙක් ඇති. ඔවුන්ට මේ කතාව අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් සියලු දෙනාම ආයතනයේ ප්‍රධානියාට අවශ්‍ය දේ තමයි ඉෂ්ඨ කරන්නේ. මම බය නෑ මේවා කියන්නේ අද එදා හිටපු මාධ්‍යවේදියෝ නෑ.

තිරිමාදුරගේ කතාවට යළිත් පුංචි බාධාවක් කළ අජිත් ලොකුගේට මේ ගැන තිබුණේ අපූරු කියැවීමක්...

දැන් හැමෝම බනින්න වුණේ 225ටම. හැබැයි මිනිස්සු හැදෙන්න එපායැ. නමුත් මිනිස්සු හැදිලා නැහැනේ. ජයලත් මනෝරත්න මහත්මයාගේ තලමල පිපිලා නාට්‍යයේ දෙබස් ඛණ්ඩයක් තියෙනවා (1986) දක්‍ෂ ශිල්පියෙක් වෙලා විතරක් මදි හොඳ මනුස්සයෙකුත් වෙන්න ඕනෑ අපිට ඕනෑ හොඳ මනුස්සයෝ බිහිකරන්න එතකොට මේ රට හැදේවි.

නමුත් තිරිමාදුරයි අජිත් ලොකුගේයි එකතුවෙලා එළැඹෙන 27 වැනිදා උදේ 8.30 සිට සවස 2.00 දක්වා මහරගම ජනාධිපති විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ත්‍රෛමාසික පාඨමාලාවට සම්බන්ධවෙලා ඔබත් යමක් එකතුකර ගන්න කියලා ඒ දෙපළ ඔබට ආරාධනා කර සිටිනවා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment