ලාංකීය දේශපාලනයේ නොකැළැල් නායක රනිල්

43

අදට යෙදී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම ලිපිය පල වේ

ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රතිපත්තිගරුක රාජ්‍ය තාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයෙකු වන රනිල් වික්‍රමසිංහ රටේ අභිවෘද්ධිය, අධිකරණයේ ස්වාධීනත්වය, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශි නායකයකු වශයෙන් හඳුනාගත හැකිය.

මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා අපූර්ව සේවාවක් කළ ඩී.ආර්. විජේයවර්ධන මහතාගේ දියණියක වූ නාලනී විජේයවර්ධන මහත්මිය විවාහයට පත්වූයේ එම ක්ෂේත්‍රයේම දැවැන්තයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමඟය. හෙතෙම වියළි කලාපයේ ගොවි ජනපද ව්‍යාපාර සංකල්පය දියුණු කිරීමට පුරෝගාමී වූ සහ ලංකා සිවිල් සේවයේ ප්‍රථම සිංහල දිසාපතිවරයා වූ සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයකු වන්නේය. එස්මන්ඩ්-නාලනී යුවළට දාාව රනිල් වික්‍රමසිංහ පවුලේ දෙවන දරුවා ලෙස ජන්මලාභය ලැබීය.

කැලණිය රාජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට ජනතාවට වැඳපුදාගැනීමේ අවස්ථාව උදාකරමින් බෞද්ධ පුනරුදයේ පුරෝගාමිත්වය දැරුවේ මව් පාර්ශ්වයේ හෙලේනා විජේයවර්ධන මහත්මිය විසිනි. මෙම ඓතිහාසික පසුබිම එතුමා කුඩා කාලයේ සිටම කැලණිය රජමහා විහාරස්ථානය ඇතුඑ හුණුපිටිය ගංගාරාමය, බම්බලපිටිය වජිරාරාමය යන බෞද්ධ විහාරස්ථාන සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගනිමින් බුදුදහමේ ආභාසය තම ජීවිතය සකස් කරගැනීම සඳහා යොදා ගත්තේය.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතයේ සංධිස්ථානය විය. ශ්‍රී ලංකා දේශපාලනයේ අවසාන වරට පැවැත්වූ මැතිවරණ කොට්ඨාස කේන්ද්‍රකොටගත් පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා බියගම ආසනය සඳහා එජාප අපේක්ෂකයා ලෙස තරගකොට වැඩි ඡන්ද 7000කට ආසන්න ප්‍රමාණයක් ලබා 57.5% ප්‍රතිශතයක් රඳවාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත්කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව උදාකර ගත්තේය. පාර්ලිමේන්තුවේ හයෙන් පහක ජනතා පරමාධිපත්‍ය බලයක් දිනාගනිමින් මහජන විශ්වාසය තහවුරු කරගත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පසුව තරුණ කටයුතු හා රැකීරක්ෂා පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වන විට හෙතෙම වයස අවුරුදු විසි අටක පමණ තරුණයෙක් විය.

තරුණ කටයුතු, අධ්‍යාපන, කර්මාන්ත ආදි ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් ලබාගෙන පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයකු ලෙස පත්වීමෙන් තම දේශපාලන භූමිකාව ඔපවත් කර ගැනීමට සමත් විය. තරුණ තරුණියන්ගේ කුසලතා දියුණු කිරීමට පදනම සකසමින් සහජ හැකියාවන් වර්ධනය කර ගැනීමට මුල්තැන දෙමින් එය සිය වෘත්තිීමය ජීවිතය බවට පත්කර ගැනීමට ආයතනික ව්‍යුහයක් ගොඩනැගීමට හෙතම නායකත්වය ලබා දුන්නේය. එය වූ කලී ජාතික තරුණ සභාවේ ආරම්භයයි. පාසල් ජීවිතය අවසන් කළ තරුණ තරුණියන්ට මෙය බෙහෙවින් උපකාර වු අතර වෘත්තිමය දැනුම හා කුසලතාවලින් පරිපූර්ණ පරපුරක් සමාජයට දායාද කිරීමට මෙම සංකල්පය සමත් විය.

යොවුන් පුරය සංකල්පය හඳුන්වාදීමට තම දැක්ම මෙහෙය වූ රනිල් වික්‍රමසිංහ උතුර, නැගෙනහිර ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවාසි තරුණ තරුණියන් එකිනෙකා හමුවීමට අවස්ථාව උදාකර, ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ඔස්සේ මිත්‍රතත්වය හා ජාතික එකමුතුකම ගොඩනැගීමට කටයුතු මෙහෙයවන ලදී.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භූක්තිවිඳිමින් ජාතික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන වරම් දිනාගත් රනිල් වික්‍රමසිංහ ජාතික විශ්වවිද්‍යාලයක උපාධිය ලබාගත් ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමේ වරමද දිනා ගත්තේය. එය නිදහස් අධ්‍යාපනය තවදුරටත් මෙරට ආරක්ෂා කිරීමේ දැක්ම ශක්තිමත් කිරීමට හේතු විය. 1980 දී අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත්වී දේශපාලන අධිකාරියේ එතෙක් පැවැති පක්ෂාග්‍රාහී, අසාධාරණ ක්‍රමවේද ඉවත්කොට සුදුසුකම් හා දක්ෂතාවට මූලිකත්වය ලබාදී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා ක්‍රමවේද සකස් කිරීම හේතුවෙන් හෙතෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවයට ලක්විය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය කේන්ද්‍ර වී ඇත්තේ අත්දැකීම් සමුදායක් තම ජීවිතයට එකතු කරගත් පරිණත දේශපාලඥයකු වශයෙනි. 1988 එජාපය පිහිටවූ ආණ්ඩුවේදී කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට නායකත්වය ලබාදුන් හෙතෙම බියගම විශේෂ ආර්ථික කලාපය වැඩි දියුණු කිරීම මගින් මෙරට නිෂ්පාදනය වන ඇඟඑම් විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමෙන් රටට අවශ්‍ය ආර්ථික සංවර්ධන උපාය මාර්ග හඳුනාගත්තේය. එය වූ කලී නව ලිබරල් ආර්ථික රටාව තුළ වෙළෙඳ කටයුතුවල ලාභදායක තත්ත්වය හමුවේ කුමන භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා සූදානම් කළ යුතු ද යන්න පිළිබඳව කල්තියාම අවබෝධ කර ගැනීමට දැක්වූ දක්ෂතාව ප්‍රකට කරවන්නකි. මේ නිසා එජාප ආණ්ඩුවට ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහන ග්‍රාමීය ප්‍රදේශවලට ගෙනයමින් රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කොට ගැමිජන ජීවිතය නගා සිටුවීමට හැකි විය. නිෂ්පාදනය සහ ඉදිකිරීම් කටයුතු මඟින් රට දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කොට ඊට සරිලන සේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම මඟින් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බව වික්‍රමංසිංහගේ දැක්ම වේ.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජිවිතයේ විශේෂ සංදිස්ථානයක් වූයේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට මහතාට විරුද්ධ දෝෂාභියෝගය කරලියට පැමිණි මොහොතේදී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමට පරිණත නායකයකු ලෙස වගකීමෙන් ඉටුකළ මෙහෙයයි. මෙම තත්ත්වය හේතුකොට ගෙන අභ්‍යන්තර කැරලි මැඩපවත්වා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට පක්ෂය එක්සත් කිරීමට පදනම සකස් විණි. 1993දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමග රනිල් වික්‍රමසිංහ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.

1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසුව එතෙක් භේදභින්නව සිටි පාක්ෂිකයන් එකමුතුකොට පක්ෂය නගාසිටුවා නව ජවයක් ලබාදීමට කටයුතු කළේය. 2001 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙහෙයවීම මගින් එක්සත් ජාතික පක්ෂය නව හැරවුම් ලක්‍ෂ්‍යයකට යොමුකරමින් ආණ්ඩුවක් පිහිටුවීමට නායකත්වය ලබා දුන්නේය. එහිදී එජාපය මන්ත්‍රී ආසන 109ක් දිනා පාර්ලිමේන්තු බහුතරය ලබාගත්හ.

රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත්කර ඇති දේශපාලනය හා ධර්මය (2005), අනාගත අභියෝග (2010) සහ කලියුගය (2014) යන ග්‍රන්ථ මඟින් ශ්‍රී ලංකා දේශපාලනය බෞද්ධ දර්ශනය ඇසුරෙන් ගැඹුරින් විශ්ලේෂණය කර දැක්විමෙන් ශාස්ත්‍රිය විදග්ධ බව පෙන්වා ඇත.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පරිණත බව සමාජ-ආර්ථික ක්ෂේත්‍රය දියුණු කිරීමට ඔහු සතුවූ දැක්ම හේතුකොට ගෙන 2001 වර්ෂයේදී මහ ජනතාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සදහා මෙම ජනතා වරම ලබා දුන්හ. එහිදී රනිල් වික්‍රමසිංහ මෙරට දේශපාලනයේ නැවත වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරිපත් විය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව හොරකම, දුෂණය, වරප්‍රසාද ආදී සමාජයට අහිතකර බොහෝ දේවල් නවතා දැමීමට කටයුතු කළේය. තෝරාපත්වූ අමාත්‍යවරුනට පවා මන්ත්‍රී වැටුප ගැනීමට නියෝග කිරීම මගින් සියලු සහන පොදු ජනතාවට ලබාදීමට සැලසුම් සකස් කරන ලදී.

එල්ටීටීඊ සංවිධානය එතෙක් පවත්වාගෙන ගිය යුද කටයුතු වෙනුවට සටන් විරාම ගිවිසුමක් මඟින් සාම ක්‍රියාවළියක් ඔස්සේ ප්‍රශ්න විසඳාගැනීම සදහා ලෝකයේ ස්ථාන 6ක සාම සාකච්ඡාවට කිහිපයක් ආරම්භ කරන ලදී. එහිදී 2002 සැප්තැම්බර්, නොවැම්බර්වල බැංකොක්වල සාකච්ඡා වට දෙකක්ද 2002 දෙසැම්බර් මාසයේ ඔස්ලෝ නගරයේ ද 2003 ජනවාරි බැංකොක්, 2003 පෙබරවාරි බර්ලින්, ටෝකියෝ නගරවල මෙම සාකච්ඡාව පවත්වන ලදී. එහිදී එල්ටීටීඊ පාර්ශ්වය නියෝජනය කළ සාමාජිකකයන් අතර මිලටරි නායක කරුණා අම්මාන්, එස්.පී. තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම් ආදී පිරිස ඊට සහභාගී වූහ.

ඉන්දීය භූ දේශපාලනයේ කාර්යය මැනවින් අවබෝධ ගත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් දෙරට අතර සමීප සබඳතා ශක්තිමත් කොට එල්ටීටිඊ සංවිධානය පරාජය කිරීමට සැලසුම්ි සකස් කළේය. එල්ටීටිඊ සංවිධානය පරාජය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් සැකසූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලෝපායික ජාලය නිසා උගුලකට හසුවූ බවට වූ සැකය ඉදිරියට දමමින් අවිශ්වාසයෙන් කටයුතු කිරීමට එල්ටීටිඊ සංවිධානය පෙළඹෙන ලදී.

1999 පැවැති ජනාධිපති මැතිවරණයේදී ද රනිල් වික්‍රමසිංහට මෙවැනිම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින 3කට පෙර එල්ටීටීඊ සංවිධානය විසින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දකුණු ඇසට තුවාල සිදුකිරීම නිසා රූපවාහිනී මාධ්‍ය ඉදිරියේ පෙනීසිටිමින් කුමාරතුංග මහත්මිය ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට කටයුතු කරන ලදී. මෙයින් පෙනී යන්නේ 1999 සහ 2005 යන ජනාධිපති මැතිවරණ දෙකම එල්ටීටීඊ සංවිධානය විසින් රනිල් වික්‍රමසිංහව පරාජය කිරීමට කටයුතු කළ ආකාරයයි.

2014 දී ලෝකයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් තාක්ෂණික ආයතනය විසින් පිරිනමන ලද රොබට් ඊ විල්හෙල්ම් අධි ශිෂ්‍යත්වය දිනාගෙන ලෝකයේ වර්තමාන දේශපාලන රාමුව පිළිබඳව ශාස්ත්‍රිය අධ්‍යයනයක යෙදුණහ.

2015 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. එහිදී ආර්ථික කටයුතු, ප්‍රතිපත්ති සම්පාදන, සංස්කෘතික කටයුතු සහ ළමා යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇත.

ශ්‍රි ලංකා සමාජය නැවත ගොඩනැගීම සඳහා යහපාලනය ඇතිකොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මුලික කොමිෂන් සභා පිහිටුවීම, ජනාධිපති විධායක බලතල අඩුකොට ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරීම සහ සමාජ වෙළෙදපොළ ක්‍රමය මගින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු විය.

මෙම මහ මැතිවරණයේදී විිරුද්ධ දේශපාලන පක්ෂ විසින් දෙමළ ජාතික සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වැරදි ලෙසින් අර්ථ නිරූපනය කොට රනිල් රට බෙදීමට සූදනම් වන බව ප්‍රකාශ කළත් රනිල් ප්‍රධාන එජාපය දිනවීම තුළින් මහ ජනතාව එම වැරදි අදහස් ප්‍රතික්ෂේප කර ඇති බව සනාථ විය. ජාතිවාදය බලය ලබා ගැනීමට ඇතැම් දේශපාලන පක්ෂ වලට කෙටි උපායමාර්ග වුවත් රනිල් වික්‍රමසිංහ දිගු කාලීන අති දුෂ්කර ජාතික සංහඳිියාව වෙනුවෙන් පෙනී සිටිියේය. ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ තම දිගුකාලීන අභිප්‍රාය මෙම මහ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට සමත් විය.

2019 වර්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේදී එජාපයේ ඇතැම් පිරිසක් පක්ෂ යාන්ත්‍රණයට අනුගත නොවී සිදුකළ සංවාද සහ මාධ්‍ය ප්‍රකාශ මගින් එජාපයට බලපෑමක් ඇතිකරන ලදී. මෙම මැතිවරණයේදී ඇති කළ පසුබැසීම හේතුකොටගෙන එජාපය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට එම පිරිස කටයුතු කළහ. මෙම පසුබිම හමුවේ 2020 පැවැති මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කිරීමට නොහැකි විය. එසේ ්වුවද එජාපයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ්‍රීධුරය භාර ගැනීමට එතුමාට ඉදිරිපත් වූ පාක්ෂික යෝජනාව පිළිගෙන වර්ෂයකට පසුව පාර්ලිමේන්තුව නියෝජනය කළේය. ඉක්බිතිව ඇතිවිය හැකි රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අදහස් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ආර්ථික අර්බුදය වර්ධනය වීම නිසා රටේ ජනතාව එකල පැවැති ආණ්ඩුවට විරුද්ධව සිදු කළ විරෝධය හමුවේ 2022 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙසටත් පසුව අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් තේරී පත් විය. එවක පැවැති ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර පෝලිම් සහ විදුලි කැපීම් අවසන් කොට මෙරට පැවැති ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළේය. ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරමින් එතෙක් පැවැති සීඝ්‍ර උද්ධමනය අවසන්කොට විදේශ සංචිත වර්ධනය කිරීමට ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවීමට නායකත්වය ලබා දුන්නේය. ආර්ථික අර්බුදය පාලනය කරමින් දුගී දුප්පත් ජනතාව සඳහා අස්වැසුම සමාජ සුබසාධන ක්‍රමය, ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපනයේ නිම්වළලු පුළුල්කොට කෘතිම බුද්ධිය පර්යේෂණ සඳහා පහසුකම් සැපයීම, පාඩු ලබන රාජ්‍ය ආයතන දියුණුකොට ඒවා ප්‍රතිසංවිධානය කිරීම ඇතුළු පාර්ලිමේන්තු අණපනත් රාශියක් සම්මත කර ගැනීමෙන් ශ්‍රී ලංකා සමාජය නිවැරදි දිශාවට ගෙනයාමට නායකත්වය ලබාදීමට සමත් විය. ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ඉදිරියට ගෙනයෑමේදී සියලු දේශපාලන පක්ෂ එක්සත් වීම රනිල් වික්‍රමසිංහගේ දැක්ම වුවද ඊට යහපත් ප්‍රතිචාර එම පක්ෂවලින් නොලැබුණි.

ලෝක දේශපාලනයේ පරිණත නායකයකු වන රනිල් වික්‍රමසිංහ වෙත ඇතැම් අන්තවාදි පිරිස් විසින් අපහාස, උපහාස, අවලාද එල්ල කරනු ලැබුවත් ඒවා උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමේ ශක්තිය රනිල් වික්‍රමසිංහට ඇත්තේ බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය මත තම ප්‍රතිපත්ති සකස් කරගෙන ඇති නිසාය.

ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී පටු මානවවාදී බෙදීම් ප්‍රතික්ෂේප කරමින් ජාතික සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටීමේ නොසැලෙන ප්‍රතිපත්ති සමුදාය රනිල් වික්‍රමසිංහගේ ජීවිතයේ කැපී පෙනෙන ශ්‍රේෂ්ඨ ලක්ෂණය වේ. මෙය මිනිස්කමේ වටිනාකම ජන සමාජය තුළ ස්ථාවර කිරීමට වෙරදරන උතුම් ප්‍රතිපත්තියකි.

පරම ඉවසීම, අධිෂ්ඨානශිලි බව, පොදු සම්මුතිය, දේශපාලන දෘෂ්ටිවාදය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක පහකට ආසන්න පරිණත නායකත්වයට කේන්ද්‍ර වී ඇත. ශ්‍රී ලංකා දේශපාලනයේ නොකැළැල් නායකයෙකු ලෙස ජනතාව පිළිගන්නා රනිල් කරන දේ කියන කියන දේ කරන, නායකයෙකු ලෙස විශ්වාසය දිනාගෙන ඇත.

මහාචාර්ය
ප්‍රිශාන්ත ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment