කවුද අපට මේ විනාශය සිදු කළේ? ජනපති පාස්කු කොමිසමේ කරුණු වසන් කරනවා…

356

ජනපතිවරණ වේදිකාවේදී පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන
බව කී ජනපති දැන් කොමිසමේ කරුණු වසන් කරනවා

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එහි නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒක පාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරලීම හා සත්‍ය හෙළිදරව් වීම වළක්වාලමින් වත්මන් රට පාලනය කරන පාලකයා කිරීම තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (21 දා) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේදී ඊයේ පාස්කු ප්‍රහාර සැමරුම් පූජාවට එක්වෙමින් පැවසූහ.

එහිදී කාදිනල්තුමා කළ කතාවේ මෙසේද සඳහන් විය.

මේ මෑත කාලයේදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ භයානකම ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැඳින්විය හැකි 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ප්‍රහාරයට, අදට හරියටම වසර 3ක් සම්පූර්ණ වී හමාරය. එදා මේ වෙලාවටම වාගේ මේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර මෙන්ම, මීගමුව කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුරත් මඩකලපුවේ පිහිටි සියෝන් දෙව්මැඳුරත් කොළඹ කොටුවේ පිහිටි කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රීලා හෝටලය හා ගාලු මුවදොර පිහිටි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය යන ස්ථානයන් මේ ප්‍රහාරයෙන් විනාශ වී ඒවායේ ආගමික මෙහෙයන් සඳහා මෙන්ම සංචාරකයන් ලෙස එක්ව සිටි 269 දෙනකුගේ ජීවිත විනාශවී 500කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරන්නට සිදුවූ බව ඒ අඳුරු මතකයයි.

කවුද අපට මේ විනාශය සිදු කළේ? ජනපති පාස්කු කොමිසමේ කරුණු වසන් කරනවා...

දෙව් මැඳුරුවලට පාස්කු ආගමික වතාවත් සඳහාත්, හෝටල්වලට පාස්කු ඉරුදින උදේ ආහාරය ගැනීම සඳහාත්, එක්ව සිටි ඒ අපගේ සොහොයුරු සොහොයුරියෝ, නිමේෂයකින් තමන්ට සිදුවූයේ කුමක්ද යනුවෙන් නොදැන, ජීවිතයෙන් සමුගන්නට හෝ විවිධ ශාරීරික ආබාධවලට ගොදුරු වන්නට යෙදුනාහ.

පළමු පෙළ කතෘන්
මේ සියලු දෙනා තුළ කැකෑරෙමින් පවතින ප්‍රශ්නය වූයේ; කවුද අපට මේ විනාශය සිදු කළේ? ඇයි අපිට මෙහෙම කළේ? යන්නයි. එදා සිට අද දක්වාම අප ඇසූ හා අසන ප්‍රශ්නය වන්නේ මේ අහිංසක ජනතාවට සිදු වූ, මේ ඛේදජනක විනාශය පිටුපස සිටියේ කවුද යන්නයි. එලෙසම මේ අපරාධය එසේ කළේ කුමන හේතුවකටද කාගේ වුවමනාවකටද යන්න අප ඉදිරියේ මතුවූ ප්‍රශ්නයයි. ඒවාට සත්‍යවාදී පිළිතුරු ලබාගැනීම ඒ සියලු දෙනාගේම අයිතියක් බව අපි කවුරුත් පිළිගන්නවා ඇති. මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම සඳහා විවිධ අවස්ථාවලදී පත් කරන ලද විමර්ශන මණ්ඩල, තේරීම් කාරක සභා හා කොමිෂන් සභාවල වාර්තාවන්වල සඳහන් දෑ දැන් එළිදරව් වී ඇත.

මේ වාර්තාවලට අනුව මෙම කුරිරු ක්‍රියාදාමයේ පළමු පෙළ කතෘන් ලෙස සහරාන් හෂීම් නැමැති ත්‍රස්තවාදියා හා ඔහු සමග සියදිවි නසාගත් බෝම්බකරුවන් හයදෙනා සිටි බව පැහැදිලි ය. එලෙසම මේ කණ්ඩායමට නන් අයුරින් සහය දැක්වූ හා ඔවුන් ඇසුරු කළ මෙන්ම ඉස්ලාමීය අන්තවාදය දේශනා කිරීම හරහා ඔවුන් ඒ හිංසාකාරී වැඩපිළිවෙළ වෙත ගෙන ගිය අයද සිටි බව පැහැදිලි ය. ඔවුන් කවුරුන් දැයි මේ වනවිටත් හඳුනාගෙන තිබේ. මේ අයට එරෙහිව නීතියට අනුව නඩු පැවරීමට කටයුතු කිරීම සුදුසු දෙයක් වන බවද පැහැදිලිය. ඒ අතරම මේ ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමීය අන්තවාදයට එහා යන මහා කුමන්ත්‍රණයක් තිබූ බවට හෙළිදරව් වෙමින් තිබේ. ඒ කරුණු වෙතද අපගේ අවධානය යොමු කළ යුතුවේ යැයි මා සිතමි. මෙවැනි කුමන්ත්‍රණයක් සිදුවූ බවට නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී සුල්ෆික් ෆර්සාන් හට ලබාදුන් සාකච්ඡාවකදී හිටපු නීතිපති දප්පුල ද ලිවේරා 2021 මැයි මස 7 වන දින පැහැදිලි ප්‍රකාශයක් කළ බවට සඳහන් වේ.

කුමන්ත්‍රණයක සේයා

මේ චෝදනාව ගැන අප කළ සියලුම ඉල්ලීම් නොසලකා හැර, එතුමාගෙන් ප්‍රශ්න කර තොරතුරු සොයා බැලීමක් නොකිරීම, මේ චෝදනාව යට ගැසීමට දරන ප්‍රයත්නයේ කොටසක් බවට පැහැදිලි වේ. එලෙසම සහරාන් ඇතුළු කණ්ඩායමේ අන්තවාදී නැඹුරුව ගැනද ඔවුන් සතුව තිබූ ආයුධ ගබඩා ගැනද ප්‍රහාරයට පෙර දැන ගෙන සිටියදීත්, එලෙසම ඉන්දීය ඔත්තු සේවා මේ ප්‍රහාරය ගැන, ඒවා සිදුවන්නට පෙරාතුව, හතර වතාවක්ම ආරක්ෂක අංශ හා රහස් ඔත්තු සේවාවට දැනුම්දී තිබියදීත් ඔවුන් හිරභාරයට ගෙන ප්‍රශ්න කිරීමට, එම සේවා ක්‍රියා නොකළේ මන්ද යන්නත් තවමත් විසඳීමක් නොමැති අභිරහසක් ලෙස හැඳින්විය හැක. ඒ අතරම කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් හා හමුදා බුද්ධි අංශ අතර සම්බන්ධතාවයක් තිබූ බවට පිළිගැනීම හා ඔවුන් හමුදා බුද්ධි අංශ වලින් වේතනයක් ලබාගත් බව කියා සිටීමෙන්ද, ටාජ් සමුද්‍රා හෝටලයේ දී බෝම්බයක් පුපුරවා හැරීමට පැමිණි ජමීල් නැමැත්තා ගැන එම අංශය දැන සිටියා පමණක් නොව එදිනම සිය බෝම්බය දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුළ පුපුරවා ගන්නට ප්‍රථම ඔහු සොයා ඔහුගේ නිවෙසටම යෑමටද හමුදා බුද්ධි අංශ ක්‍රියා කළ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් සනාථ වීමෙන් ද බුද්ධි අංශ මේ ප්‍රහාරය කළ අය ගැන ද ප්‍රහාරයේ වත ගොත ගැනද කලින් දැන සිටි බවට සනාථ වීමෙන්ද ඔවුන් මෙය වළක්වා ගැනීමට කටයුතු නොකළේ ඇයි දැයි අපට බරපතළ ප්‍රශ්නයක් මතුවේ. මේ ත්‍රස්ත කණ්ඩායමේ අවි පුහුණු මධ්‍යස්ථානයක් හා බෝම්බ සෑදිය හැකි අවි ගබඩාවක් වනාතවිල්ලුවේදී සොයා ගනු ලැබුවේ 2018 අග භාගය වනවිට දීය. එහෙත් මේ අවි ගබඩාවට පුපුරණ ද්‍රව්‍ය හා ඒ සඳහා භාවිතා වන ඩෙටනේටර් ලැබුණේ කෙසේදැයි කිසිවකු නොදනී. ඒ පිළිබඳ හරියාකාරව විමර්ශනයක් සිදු වූයේද යන්න පිළිබඳව අපි ප්‍රශ්න කර සිටිමු.

කවුද අපට මේ විනාශය සිදු කළේ? ජනපති පාස්කු කොමිසමේ කරුණු වසන් කරනවා...

ඒ අතරම ත්‍රස්ත කටයුතු සඳහා සහරාන් හෂීම් හිරභාරයට ගැනීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා 2018 ජූලි මස 9දා උසාවියෙන් වරෙන්තුවක් ලබාගෙන සිටියදී නාමල් කුමාර යන අය කළ පැමිණිල්ලක් මත එනම්, ද සිල්වා මහතා හිටපු ජනාධිපතිතුමන් හා වත්මන් ජනාධිපතිතුමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි යන පැමිණිල්ල මත ඔහු හිරභාරයට ගැනීම තුළින් සහරාන් තව දුරටත් නිදහස් පුද්ගලයෙක්ව සිටීම ඔහු සැලසුම් කළ ප්‍රහාරය එලෙසම ඉදිරියට ගෙන යෑමට පාර කැපීමක් වූ බව පැහැදිලිය. නාලක ද සිල්වා මහතාට විරුද්ධව ඇති එම චෝදනාව කොතරම් දුරට විමර්ශනය වුණි දැයි ද අද වන විට පැහැදිලි නැත. එහෙත් ඔහු ඇප මත මුදාහරිනු ලැබ ඇත.

වගකීම් පැහැරහැරීම

ඒ අතරම හිටපු ජනාධිපති සිරිසේන මහතා, ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කරන ලෙස, වනාතවිල්ලුවේදී, 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ සොයාගනු ලැබූ විශාලතම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන දැනුවත්ව සිටියදීත්, ඒ ගැන ආරක්ෂක මණ්ඩලයෙන් (Security laouncil) විමසිය යුතු වුවත්, එය නොකැඳවීමද, සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙස ඇතැම් නිලධාරීන් ඔහුගෙන් ඉල්ලා සිටියදී, එහා මෙහා යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා යනුවෙන් කියමින් ඒ අදහසට එකඟ නොවීමද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව තුළ සඳහන් වේ. (ජනාධිපති කොමිෂන් සභා වාර්තාව 1 පිටු 291-295)

සිරිසේන මහතාගේ මේ හැසිරීම් රටාව බරපතළ ලෙස සිය වගකීම පැහැර හැරීමක් බවත් එය සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යන පැහැර හැරීමක් බවත් කොමිෂන් සභාව සඳහන් කර ඇත. (එම පිට 293) මේ ක්‍රියාවන් හා අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බවත් ඒ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතු බවත් කොමිෂන් සභා වාර්තාව සඳහන් කළත් ඒ

ගැන නීතිපතිතුමාත් රජයවත් කටයුතු නොකිරීම අපට කිසිසේත් තේරුම් ගත නොහැකි කරුණක් බවට පත් වී තිබේ. එසේ නම් වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් හෙළිදරව් වේය යන බිය නිසා දැයි මේ රටේ පොදු ජනතාව හා අප තුළ යම් බරපතළ සැකයක් මතු වී ඇත.

ඕනෑකමින් දුර්වල කරන ලද නඩු

හිටපු ජනාධිපති සිරිසේන මහතාට එරෙහිව පමණක් නොව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනකුට එරෙහිව ජනාධිපති කොමිසම සාපරාධී වගකීම් පැහැර හැරීමක් හා වරදක් ඔවුන් තුළින් සිදු වූ නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස කර ඇති නිර්දේශ වසර

ගණනාවක් ගෙවී ගියත් ක්‍රියාත්මක කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම රජයද කටයුතු නොකිරීම ඔවුන්ගෙන් මෙම ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේය යන බියක් නිසා ගනු ලබන ක්‍රියාමාර්ගයක් විය හැකි යැයි සිතන්නෝද වෙති.

එලෙසම පසුගිය රජය සමයේ දී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට විරුද්ධව පවරන ලද නඩුවේ රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස තමන්ට එරෙහිවද පාස්කු ප්‍රහාරය පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී ඇති නිලන්ත ජයවර්ධන මහතා යොදා ගැනීමෙන් ද උසාවිය ඉදිරියේ එම නඩු කටයුත්ත හරියාකාරව මෙහෙයවීමට කටයුතු නොකිරීමෙන්ද විත්තිකරුවන් දෙදෙනා ගැන සුදුසු තීන්දුවක් ලබාදෙන්නට නොහැකි අයුරින් උසාවිය අසරණ කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කාගේ වුවමනාවකට දැයි අපට පැනයක් මතුවේ.

ප්‍රහාරය සිදු වූ පසු එකල ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුර ඉදිරිපිට දී ප්‍රහාරය ගැන මාධ්‍යයට දුන් පිළිතුර වන; “ඔව් අපි මේ ප්‍රහාරය ගැන දැන සිටියා, එහෙත් මේ තරම් දරුණු ප්‍රහාරයක් වේ යැයි කියා සිතුවේ නැහැ” යන වදන් වලින් පවා තමන්ගේ වගකීම ඉදිරියේ බරපතළ ලෙස නොසලකා හැරීමක් කළ බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබියදීත් ඔවුන් නිදොස්කොට නිදහස් කිරීම මියගිය අප සැදැහැවතුන්ට හා අන් අයට මෙන්ම තුවාල ලද අයට නීතිපති දෙපාර්තමේන්තුව හා රජය කළ අපහාසයක් ලෙස අපි සලකමු.

අදිසි හස්තය

මේ දරුණු අපරාධය ගැන ඉන්දියානු රහස් ඔත්තු සේවා විසින් එම සිද්ධීන්ට පෙර සතර වතාවක්ම දැනුම් දෙනු ලැබුවත් එය වැළැක්වීමට කටයුතු නොකළ මේ දේශපාලන නායකයන්ට හා පොලිසියේද බුද්ධි අංශවලද උසස් තනතුරු දෑරු වගකියයුතු නිලධාරීන්ට එරෙහිව ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති නඩු පැවරීම් සිදු නොකොට, පවරා ඇති නඩුද දුර්වල ලෙස මෙහෙයවන්නට කටයුතු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීතරත්වය කෙලෙසන්නට කටයුතු කිරීම නින්දා සහගතය. මේ ක්‍රියාදාමය පිටුපස සිටින්නේ මේ රටේ සියලුම බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේදැයි සැකයක් මෙහිදී අපට මතුවේ. එලෙසම ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකරන්නැයි ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබියදී එවැනි කිසිදු විනය පරීක්ෂණයක් නොකර ඔවුන්ට උසස්වීම ලබා දෙන්නට ක්‍රියා කළ වත්මන් පොලිස්පතිතුමන් පාස්කු ප්‍රහාරයේ අහිංසකයන්ගේ රුධිරයට වගකිව යුතු බව මම ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. ඔහුට එයින් ගැලවී යෑමට යුක්ති ධර්මයත් ස්වභාවධර්මයත් ඉඩ නොදෙන බව ප්‍රකාශ කර සිටිමි.

වැඩිදුර විමර්ශන

එලෙසම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, මෙම ප්‍රහාර හා සම්බන්ධ වෙනත් විවිධ අභිරහස්මය සිදුවීම් කිහිපයක් හා පුද්ගලයන් ගැන තවදුරටත් විමර්ශනයන් සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබේ: හිටපු ජනාධිපති සිරිසේන මහතා විසින් නිදහස් කරන ලද මොහොමඩ් නෆීස් මොහොමඩ් නෆ්රිත් හා මොහොමඩ් නෆීස් මොහොමඩ් නවීන් යන දෙදෙනා හා සහරාන් අතර තිබූ ගනුදෙනු පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව (පිටු අංක 120), හමුදා බුද්ධි අංශය හත්වන බෝම්බකරු ජමීල් සමග පැවැත්වූ සබැඳියාව පිළිබඳව (පිටු 211 – 223), එලෙසම සයින්දමරදුහි ත්‍රස්තවාදී කණ්ඩායම හා පොලිසිය අතර සිදුවූ සිද්ධියේදී මියගියේ යැයි පළමුව සඳහන් කර පසුව අතුරුදන් වූයේ යැයි කියන ලද කටුවාපිටියේ දෙව් මැඳුරේ බෝම්බකරු හෂ්තූන්ගේ බිරිඳ වන සාරා ජෙස්මින් නැමැත්තිය පිළිබඳව (වාර්තාව පිටු 251-252) තවමත් කිසිදු විමර්ශන ප්‍රතිඵලයක් හෙළිදරව් නොවීම තුළ මේ සාක්ෂි වසන් කිරීමට හේතු කවරේ දැයි අප තුළ කුකුසක් ඇතිවේ.

මෙහිදී විභාග නොකර නිහඬතාවයට යටකර ඇති පාර්ලිමේන්තු සභාගර්භයේදී මතු කරන ලද FBI ආයතනය විසින් බුද්ධි අංශ වෙත යොමු කරන ලද ලිපිනය පිළිබඳව අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසීම් කළ විට, විමසුමට ලක්වූ නිලධාරියා, “මේක අපේ Project එකක්” කියා එම විමසුමෙන් ඉවත් කිරීමට හමුදා බුද්ධි අංශ කටයුතු කළේ ඇයි ද කියාත් තමන් භාරයේ සිටි මාතලේ “පොඩි සහරාන්” යන අය යොදවා ගනිමින් ඉන්දුනීසියාවේ ISIS සංවිධානයේ ප්‍රකාශකයකුට දුරකථනයෙන් කතා කර මේ ප්‍රහාරය තමන්ගේ වැඩක් බව ප්‍රකාශ කරවා ගන්නට “සොනික් සොනික්” යන කෝඩ් (CODE) නමකින් හඳුන්වා ගනු ලැබූ හමුදා බුද්ධි අංශ නිලධාරියා කවුද? ඔහු එසේ කළේ නම් එයට හේතුව කුමක් ද කියාත් අපි විමසා සිටිමු. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් හරියාකාර අධ්‍යනයක් සිදු වූයේද යන්නත් අප දැනගත යුතුවේ.

මේ සියලු කාරණාවලදී පැහැදිලි වන එක දෙයක් ඇත. එනම්, මේ ප්‍රහාරයේ පළමු පෙළේ කතෘවරුන්වූ සහරාන් හෂීම් හා ඔහුගේ පිරිස මෙන්ම ඔවුන්ට අනුබල දුන් බවට හඳුනාගත් මුස්ලිම් ජාතිකයන් පිරිස පමණක් මෙම ප්‍රහාරයට වගකිවයුතු බවට තීන්දු කරන රජය හා නීතිපති දෙපාර්තමේන්තුව ඉන් ඔබ්බට නොයා මේ මහා මිනිස් ඝාතනය සිදුවීමට පෙර දැන දැනත් ඕනෑ කමින් ඒ ගැන ක්‍රියානොකළ දේශපාලන නායකයන්, බුද්ධි අංශ නිලධාරීන්, පොලිසියේ උසස් නිලධාරීන්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ද නොතකා සුදනන් සේ හුවා දැක්වීමට ගෙන යන ප්‍රයත්නය ඉතා නින්දිත වූවක් බව කිව යුතුමය.

තේරීම් කාරක සභාව

ඒ අතරම ප්‍රහාරකයන් හා බුද්ධි අංශ අතර තිබූ සබැඳියාවක සලකුණු මතුවෙමින් තිබුණත්, ඒ සියල්ල ගැන නොසොයා, මේ ප්‍රහාරය පිටුපස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය අවසාන වාර්තාවේ සඳහන් කරන කුමන්ත්‍රණයක ඉරියව් ගැන කිසිදු විමර්ශනයක් නොකිරීම සියල්ල රතුපලස යට සඟවා සත්‍යය වසන් කිරීමට දරන බොළඳ උත්සහයක් ලෙස අපි හුවා දක්වමු. එම විධායක සාරංශයේ සඳහන් කළේ: “කිහිප දෙනකු පමණක් දන්න බුද්ධි තොරතුරු පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතළ කරුණු සොයාගැනීම් සිදු කර තිබේ. යම්කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් වසර අගභාගයේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට තුළ බියක් හා අවිනිශ්චිතභාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේ ද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතු යැයිද කාරක සභාව නිරීක්ෂණය කරයි. මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මග පාදනු ඇත. සහසිද්ධිමය වශයෙන් හෝ එසේ නොවී ආරක්ෂක තත්ත්වය සහ බිය මුදාහැරීම ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර සිදුවනු ඇත. මෙයද ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ හමුදා බුද්ධි අංශයේ නායකත්වය 2019 දී වෙනස් වීම යන සන්දර්භය තුළ සිදුව ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක්කර තිබේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මැතිවරණ ක්‍රියාවලිය සහ ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතළ නිරීක්ෂණ වන අතර ඒවා කෙරෙහි ඉක්මන් අවධානය යොමුවිය යුතුය. (3 වන පිටුව, පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා වාර්තාව 2019 ඔක්තෝම්බර් 23)

මේ නිගමනය ඉතා බරපතළ එකක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක නිගමනය වේ. එම නිගමනය සනාථවන කරුණු කාරණා රැසක් පසුගිය තුන්වසර තුළ අපට අසන්නට ලැබුණි. එහෙත් ඒ ගැන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම නීතිපති දෙපාර්තුමේන්තුව ද කරුණු සොයා බැලීමක් කර නැත්තේ මන්දැයි අපි ප්‍රශ්න කරමු. ඔවුන් සොයාගෙන ඇති බරපතළ කරුණු මොනවා දැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමක් හෝ සිදුවීදැයි අපි නොදනිමු. මේ නිගමනයේ සාරංශය වන්නේ: 2019 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දුවන අපේක්ෂකයකුගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා රට තුළ කැළඹිලි ඇති කර ජනතාව එකිනෙකා කෙරෙහි බියගැන්වීමටත්, ඒ තුළින් එක් අපේක්ෂකයකුට වැඩි වාසියක් අත්කර දීමටත්, මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරු එවකට බලයේ සිටි ජනාධිපතිතුමා මෙන්ම බුද්ධි අංශ හා පොලිසිය හිතාමතාම ජනතාවගෙන් සඟවා, එම ප්‍රහාරය වැළැක්වීමට දරන ලද සියලු උත්සහයන් පරදවා, ප්‍රහාරකයන් කරන්නට යන දෙය ගැන දැන දැනත් ඔවුන්ට ඉඩ සලසා දෙමින්, ජාතීන් කොටවමින් එක් පාර්ශ්වයකට බලය අත්කර දීමට බුද්ධි අංශ හා පාලකයන් කටයුතු කළෝය යන අදහස මේ වචන තුළ ගැබ්ව ඇත. වනාතවිල්ලුවේ අවිගබඩාව ගැන කලින් දැනගත්තත්, සහරාන් හා එම පිරිසගේ හිංසාකාරී ත්‍රස්ත නැඹුරුව ගැන දැනගන්නට ලැබුණත්, ඔහු හා ඒ කණ්ඩායම අත්අඩංගුවට ගන්නට ඉඩ නොදී, ඔවුන් අත්අඩංගුවට ගන්නට ගිය නිලධාරීන් බොරු චෝදනා මත හිරභාරයට ගෙන, එය වළක්වා, ප්‍රහාරයට හසුවීමෙන් තමන් පමණක් ආරක්ෂා වීමට රහසිගත ලිපියක් මගින්, නිලධාරීන් තම තමන් අතරේ ආරක්ෂාව සලසා ගත් අයුරුත්, ප්‍රහාරයෙන් මියයන හෝ තුවාල වන අය ගැන කිසිදු තැකීමක් නොකළ අයුරුත් ඉතාමත් පිලිකුල් සහගත ලෙස මෙහිදී හුවා දැක්විය යුතුවේ.

ව්‍යාජ පොරොන්දු

එලෙසම ජනාධිපතිවරණ වේදිකාවේදී තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අවංකව සත්‍යය සොයා යුක්තිය ඉටුකරන බවට වේදිකා මත මොරදෙමින් ඡන්දයට ගිය, අද රට පාලනය කරන නායකයා, බලයට පත්වූ පසු ඒ පොරොන්දු සියල්ල පසෙකලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එම නිර්දේශ සියල්ල ඉටු නොකොට, ඒකපාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරවීමට ක්‍රියාත්මක වෙමින් ඒ සම්බන්ධ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් වීම වළකමින් මේ වනතුරුත් ගෙන යන වැඩපිළිවෙළ අපි ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් මියගිය මිනිසුන්ගේද, තුවාල වූ අයගේද දුක් අඳෝනා අහසට මොරදෙන බැවින් මේ මහා අපරාධයට සම්බන්ධ සියලු දෙනාට වැඩිකල් නොයා තමා කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බව මම තරයේ විශ්වාස කරමි.

වසර 74 ක් පුරාවට මේ රට ගමන් ගත්, අධර්මයේ මාර්ගය වෙනස් වී ජාතීන් හා විවිධ ආගමිකයන් අතර අන්‍යෝන්‍ය ලබැඳියාවද පිලිගැනීමද සියලු ආකාරයේ දූෂණයෙන් තොර පරිසරයක් බිහිවීමද නීතියේ ආධිපත්‍යය දේශපාලනීකරණය වීමකින් තොරව රට තුළ ක්‍රියාත්මක වීමද තුළ සැබෑ සමානාත්මතාවය හා නිදහස අත්දකින සුන්දර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා මෙවන් මොහොතක අපි විශේෂයෙන් කැපවෙමු.

නෝමන් පළිහවඩන – ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment