උසාවිය භාරයේ තිබූ රඹුක්කන සිද්ධියේ බී වාර්තාව  ටිපෙක්ස් ගා මකලා

516

පොලිසිය සමාව ඉල්ලයි

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරු සියයකට අධික පිරිසක් නොමිලේ පෙනී සිටිති

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ වගන්ති කීපයක් ටිපෙක්ස් යොදා මැකීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙක් පෙරේදා (20දා) රාත්‍රී කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ සමාව අයැද සිටියේය.

කෑගල්ල ප්‍රදේශයේදී පසුගිය 19 වැනිදා සිදු වූ උද්ඝෝෂණයක් අතරතුර තරුණයකු මියයෑම, පිරිසක් තුවාල ලැබීම හා දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් පොලිසිය පෙරේදා (20දා) බී වාර්තා දෙකක් මගින් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත කරුණු වාර්තා කළේය.

ඉන් එක් බී වාර්තාවක් මගින් දේපළ හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉදිරිපත් කර පොදු දේපළ පනත ඇතුළුව චෝදනා කීපයක් යටතේ කරුණු වාර්තා කර තිබිණි. සැකකාර ශිෂ්‍යයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා ඉදිරිපත් වෙමින් ඇප ලබා ගත්තේය.

අදාළ ගැටුම සම්බන්ධව සියලු ස්ථානීය පරීක්ෂණ මහෙස්ත්‍රාත්වරිය විසින් සිදු කරනු ලැබුවාය. මේ සඳහා පොලිස් නිලධාරීන් හා නීතිඥවරුන් සියයකට අධික පිරිසක් සහභාගි වූ අතර ස්ථාන පරීක්ෂණය රාත්‍රී හත පමණ වන තෙක් පැවැත්විණි. එම සිද්ධියේ විවිධ අවස්ථා ඇසින් දුටු කීප දෙනෙක් ස්ථාන පරීක්ෂණයේදී මහෙස්ත්‍රාත්වරිය වෙත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ප්‍රකාශ ලබා දුන්හ.

අදාළ ගැටුම සිදු වූ ස්ථානවල සීසීටීවී කැමරාවලට අලාභ හානි සිදු වී තිබූ බව මහෙස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට භාජන විය. විසිරී තිබූ ලේ පැල්ලම්ද, ගැටුම් සිදු වූ ස්ථානයද, ගින්නට බඳුන් වී තිබූ ත්‍රිරෝද රථයද මහෙස්ත්‍රාත්වරියගේ නිරීක්ෂණයට ලක් විය.

ස්ථානීය පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ තිබූ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි වූ චෝදනාව (නොසැලකිලිමත් ලෙස සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද – උපරිම දණ්ඩනය වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමකි) මහෙස්ත්‍රාවරිය ස්ථානීය පරීක්ෂණයේ යෙදී සිටිමින් සිටින අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර මකා දමා තිබෙනු අධිකරණයේ නිරීක්ෂණයට භාජන විය.

පොලිසියේ එම ක්‍රියාව සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයේ දැඩි අප්‍රසාදය හා විරෝධය එල්ල විය. අධිකරණය භාරයේ තිබූ එම බී වාර්තාව අධිකරණයේ අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයෙන් සමාව අයැද සිටි අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද පොරොන්දු විය.

මෙහිදී නීතිඥවරුන් කරුණු දක්වා සිටියේ මුලින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත්ය. එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිලධාරීන් මෙතරම් බරපතළ සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නේදැයි තමන්ට සැක බවත් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමකට බාර දීමට නියෝග කරන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විමසීම ඊයේ (21දා) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් තම ප්‍රවෘත්ති මගින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටවල සංස්කරණය නොකරන ලද දර්ශන එම ආයතනය භාරයේ සුරක්ෂිතව තබා ගැනීමට නියෝගයක් හා එකී වීඩියෝ පට එම ආයතනය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝගයක්ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

අදාළ සිද්ධියේදී පොලිසිය අවම බලය පාවිච්චි කර ඇති බව පිළිගෙන ඇති නිසා වෙඩි තැබීමේ නියෝගය නිකුත් කළ පොලිස් නිලධාරියා හා වෙඩි තැබීම කළ පොලිස් නිලධාරීන් මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවන් ලෙස ඇතුළත් කරන ලෙසද නීතිඥවරු ඉල්ලා සිටියහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥවරුන් වන රියන්සි අර්සකුලරත්න, සරත් ජයමාන්න, උපුල් ජයසූරිය, උපාලි මොහොට්ටි හා ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල යන මහත්වරුන් සමග නීතිඥවරු සියයකට අධික පිරිසක් කිසිදු නොමිලේ පෙනී සිටියහ. ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පනවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණු අතර අධිකරණ කටයුතු පෙරේදා රාත්‍රී 11.00 පමණ වන තෙක් පැවැත්විණි.

මරණ පරීක්ෂණයේ සාක්ෂි සටහන් කර ගැනීම හා පෙර දිනයේ ඉල්ලීම්වලට අදාළ නියෝග නිකුත් කිරීම ඊයේ සිදු කිරීමට නියමිතව තිබිණි.

කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment