මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස ලැබූ අයෙක් – බොරැල්ලේදී වෙඩි කා මරුට

194

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී පෙරේදා (20 දා) උදේ 6.00 ට පමණ 54 හැවිරිදි පුද්ගලයකුට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කර පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ අයකු බව හෙළිවිණැයි පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කැලණියේ පදිංචිව සිටි ඉඳුරුගොල්ල විදානආරච්චිගේ සංජීව නමැති අයෙකි. එම පුද්ගලයා කැලණියේ සිට සිය දියණිය සමග යතුරපැදියෙන් බොරැල්ලට පැමිණ ඇත්තේ මොවුන් විසින් පවත්වාගෙන යන පවිත්‍රතා ආයතනයේ සේවකයන්ට මුදල් ගෙවීමටය. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේදී ඔහුගේ දියණිය යතුරුපැදියෙන් බැස ඥාති නිවසකට යමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් එම පුද්ගලයාට වෙඩි තබා ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

වෙඩි වැදී බිම වැටුණු එම පුද්ගලයා ආසන්නයට පැමිණි වෙඩික්කරුවකු නැවත වෙඩි තබා ඇති බවත් කීය. උණ්ඩ 27 ක් පමණ භාවිත කර එම පුද්ගලයාට වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි.

එම සිද්ධිය ඒ ආසන්නයේ සිටි අයකු විසින් වීඩියෝ ගත කර ඇත. බරපතළ තුවාල ලබා වැටී සිටි පුද්ගලයාව එම ස්ථානයට පැමිණි පිරිසක් විසින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ.

මියගිය අය එල්ටීටීඊය සමග සබඳතා පැවැත්වීම හා මුතාලිෆ් ඝාතනයට එල්ටීටීඊ සංවිධානයට සහාය ලබාදීම යන චෝදනා යටතේ බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ පුද්ගලයකු බව හෙළිවී ඇතැයිද ඝාතනයට හේතුවක් මෙතෙක් හෙළිවී නැතැයිද පොලිසිය පවසයි.

මේ පිළිබඳව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක විතානගේ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment