හිඟුරක්ගොඩ – පන්නේගමුව සතොස සහල් මෝල් – වැඩ නැතත් කෝටියක් ගිලලා

102

විගණනයෙන් හෙළිවෙයි

සමුපකාර තොග වෙළෙද සංස්ථාවට අයත් හිඟුරක්ගොඩ හා පන්නේගමුව සහල් සැකසීමේ සංකීර්ණවල 2021 වර්ෂයේදී කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුකොට නොමැති අතර එහෙත් සේවක වැටුප්, අතිකාල දීමනා ඇතුළු සේවක පිරිවැය සඳහා රුපියල් එක්කෝටි තිස්නවලක්‍ෂ දෙදහස් හාරසිය හතළිස් දෙකක (13,902,442) වියදමක් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම සහල් සැකසීමේ සංකීර්ණ දෙක දැනට වසර 18 කට ආසන්න කාලයක සිට ඌන උපයෝජිතව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම සහල් සංකීර්ණ දෙකෙහිම පැයකට සහල් කිලෝග්‍රෑම් 2000 ක් බැගින් සැකසීමේ ධාරිතාවක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද 2021 වර්ෂයේ සේවකයන් 03 සිට 20 දක්වා සංඛ්‍යාවක් යොදවා තිබුණි. එමෙන්ම මෙකී සහල් සැකසීමේ සංකීර්ණ දෙකට අනුබද්ධ ගබඩා 04ක් නිෂ්කාර්යව පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සංස්ථාවේ දේපළ ආදායම් ඉපයීම සඳහා කාර්යක්‍ෂමව යොදාගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත. මෙහිදී සංස්ථාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සීමාසහිත වූ අතර එම වී තොග සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරීමට කටයුතු කර ඇති බවය. එම කාලය තුළ සතොසට ලබාගත හැකිව තිබූ සීමිත වී තොග ප්‍රමාණය පමණක් ඇඹරීම සිදුකළ බවය. ප්‍රධාන වශයෙන් තෙත සහිත වී නිෂ්පාදන වන බැවින් එම වී තොග මිලදී ගෙන ඇඹරීම සඳහා මාස කිහිපයක් ගබඩාගතව පවත්වා ගැනීමට අවශ්‍ය වී වියළීමේ පහසුකම් සතොස සතුව නොමැති බවද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. මෙකී සහල් සැකසීමේ සංකීර්ණයට අනුයුක්ත සේවකයන් සහල් සැකසීමේ කටයුතු සඳහා පුහුණු සේවකයන් බැවින් ඔවුන් වෙනත් කාර්යයකට යෙදවීමට නොහැකි බවත් ගබඩා නිෂ්කාර්යව පැවතියත් එකී ගබඩා නඩත්තු සහල් සැකසීමේ යන්ත්‍ර පවිත්‍ර කිරීම, භූමිය ආරක්‍ෂා කිරීමේ කටයුතු සඳහා එම සේවකයන් යොදාගනු ලබන බවය. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ගනුදෙනු සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් කොට තිබුණි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment