ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව හරහා හමා ගිය ‘බෝම්බ කුණාටුව’ නමැති දරුණු හිම කුණාටුව මගින් ඇති කළ අධික ශීතල කාලගුණ තත්ත්වයට නිරාවරණය වීමෙන් ඊයේ (26දා) වන විට පුද්ගලයන් 38 දෙනකු මිය ගොස් තිබිණි. මෙම මරණවලින් 34ක් ඇමරිකා එක්සත් ජනපදයේ සිදුව ඇති අතර කැනඩාවෙන් මරණ 04ක් වාර්තා වී තිබිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 55කට අධික ජනතාවක් මෙම නත්තල් සමයේ නිවෙස්වලටම කොටු කිරීමට දශක හතරකට පසු හමා ආ මෙම දරුණු හිම කුණාටුවට හැකි වී ඇත. ඊයේ උදෑසන වන විට හිම කුණාටුව හේතුවෙන් විදුලි රැහැන්වලට හානි වීම නිසා විදුලිය විසන්ධි වීමෙන් ඇමරිකාවේ දෙලක්ෂයකට ආසන්න පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබිණි. අධික හිමපතනය හා දැඩි සුළං හේතුවෙන් සංචාරයන් සීමා වී බොහෝ දෙනකුට නත්තල් සමයේ සිය පවුලේ සාමාජිකයන් වෙත යෑමට ද නොහැකි වී ඇත. හිම කුණාටුව පැමිණෙන බව සැල වීමත් සමග ගුවන් සමාගම් සිය ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීම හේතුවෙන්ද බොහෝ දෙනකුට සිය නිවෙස්වලට ද යෑමට අසීරු තත්ත්වයක් උදා කර තිබිණි.
ආක්ටික් කලාපයේ සිට හමා ආ මෙම බෝම්බ හිම කුණාටුවෙන් සිදු කළ හානියේ සැබෑ ස්වරූපය මෙතෙක් හෙළි නොවුණද එය මධ්‍යම ඇමරිකාවට අයත් මෙක්සිකෝවේ කෙළවරේ පිහිටි රියෝ ග්රෑන්ඩේ ගඟ දක්වාම බලපෑම් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම හිම කුණාටුවෙන් දරුණුම බලපෑමක් ඇති වූ ඇමරිකානු නගරය ලෙස නිව්යෝක් ප්‍රාන්තයේ පිහිටි ‘බෆලෝ’ නගරය හඳුනාගෙන ඇති අතර වර්මොන්ට්, ඔහියෝ, මිසුරි, විස්කොන්සින්, කැන්සස්, කොලරාඩෝ මෙන්ම දකුණු ෆ්ලොරිඩා යන ප්‍රදේශවල ජනතාව හිම කුණාටුවේ බලපෑමෙන් මියගොස් තිබේ. කැනඩාවේ ඔන්ටෙරියෝ හා ක්විබෙක් පළාත්වලට කුණාටුව දැඩි බලපෑම් එල්ල කර තිබිණි.
හිම කුණාටුවේ බලපෑම ඉදිරි දින කිහිපය තුළදී අඩු වනු ඇතැයි කාලගුණ විශේෂඥයන් අනාවැකි පළ කළද එම කුණාටුවෙන් එල්ල විය හැකි ජීවිතයට තර්ජනයක් වන අනතුරු ඇති වීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යම ගමනක් හැරෙන්නට වෙනත් ගමන් බිමන් යෑමෙන් වැළකී නිවෙස්වලටම වී සිටින ලෙස මහජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒමන්ති මාරඹේ