ඇමැතිගේ තර්ජනයෙන් ලෙඩවූ කැලණිවැලි ප්‍රධානියෙක් අයිසීයූ එකේ

1908

ජීවන් තොණ්ඩමන් ආධාරකරුවන් සමග නුවරඑළිය පොලිසියේ යකා නටයි

කැලණිවැලි වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අනුර වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කාර්යාල අඩස්සියේ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසියට කර තිබූ පැමිණිල්ල වහා ඉවත් කරගන්නා ලෙස කියමින් ඇමැති ජීවන් තොණ්ඩමන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් නුවරඑළිය පොලිසිය වෙත පෙරේදා (01දා) කඩාවැදී කලහකාරී ලෙස හැසිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

එම සිද්ධියෙන් පසු ඊට සම්බන්ධ වූ ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ අතර පසුව ඔවුන් රාජකාරියේ පිහිටුවීමට ද කටයුතු කර තිබේ.

මේ අතර ජීවන් තොණ්ඩමන්ගේ තර්ජනය හා බලපෑම්වලට ලක් වූ කැලණිවැලි වැවිලි සමාගමේ උසස් නිලධාරියකු දැඩි ලෙස රෝගාතුර තත්ත්වයට පත්වූ අතර එම නිලධාරියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී’ කැලණිවැලි වැවිලි සමාගමට අයත් වත්තක සේවකයන් දෙදෙනකු තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීමට ඇමැති තොණ්ඩමන් ඇතුළු පිරිසක් ඉකුත් 30දා එම සමාගමේ ප්‍රධාන කාර්යාලයට පැමිණ එහි විධායක නිලධාරි ඇතුළු කාර්යමණ්ඩලය කාර්යාල අඩස්සියට ගෙන පැය කිහිපයක් තිස්සේ එහි රැඳී සිටිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියට කර තිබූ පැමිණිල්ල වහාම ඉවත්කර ගන්නා ලෙස පොලිසියට බලපෑම් කරමින් තොණ්ඩමන් ඇතුළු පිරිස පෙරේදා (01දා) සවස එම පොලිසියේ කලහකාරී ලෙස හැසිරී ඇත.

පැය කිහිපයකට පසු තොණ්ඩමන් මහතා ඇතුළු පිරිස නුවරඑළිය පොලිසියෙන් පිටව ගොස් තිබුණේ තමන්ට එරෙහිව තිබූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බව කියමිනි’ එහෙත් වැවිලි සමාගමේ නිලධාරීන් පවසන්නේ තමන් කළ පැමිණිල්ල කිසිවිටකත් ඉල්ලා අස්කර නොගත් බවයි’ මෙම සිද්ධියෙන් පසු ඉහළින් ලැබුණු නියෝගයක් මත තොණ්ඩමන් ඇමැතිවරයාට ලබාදී තිබූ ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ ගිනිඅවි සියල්ල තලවකැලේ පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

එහෙත් එම නියෝගය ක්‍රියාත්මක වී පැය හතරක් ගතවීමටත් පෙර නැවත එම ආයුධ ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් වෙත භාරදී ඇමැතිවරයාගේ ආරකෂාවට එම නිලධාරීන් යොදවා තිබේ’ මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ” ඇමැතිවරයාට කිසියම් අනතුරක් සිදුවී නම් එහි චෝදනාව පොලිසිය වෙත එල්ලවන බැවින් ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව නැවත ලබාදීමට කටයුතු කළ බවයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment