සොලිලොකියු ට (Solilloquy) හිමි වූ සම්මානය මුදාගන්න රේගුවට මුදල් ගෙවයි

420

පත්තර රස්සාවෙන් සිනමාව තරණය කළ මහා සිනමාකරු මුහුණ දුන් ප්‍රථම අත්දැකීම

ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය සිනමාකරු දිවංගත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 104 වැනි ජන්ම දිනය ඊයේ (05 දා) යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ලන්ඩන් නුවර ජීවත් වන්ට නම් ලෙස්ටර් මුදලක් හරිහම්බ කර ගත යුතු ය. මේ සඳහා ඔහුට උදව් කළේ ලංකා ගුවන්විදුලියේ ඉංග්‍රීසි අංශයේ බොබී වීරකෝන්ය. BBC ප්‍රවෘත්ති සතිපතා ලංකා ගුවන්විදුලියට සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ඔහු විසින් ලෙස්ටර්ට පවරන ලදි. ඒ අනුව ලෙස්ටර්, සිය කටහඬින් ග්‍රැමෆෝන් තැටියකට නැගූ ප්‍රවෘත්ති London Letter නමින් සතිපතා ලංකාවට එවීමෙන් මුදලක් උපයා ගත්තේය. එම වැඩසටහන නිෂ්පාදනය කළේ පසු කාලයේදී ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් ජෝන් ආලට් ය, ලෙස්ටර්, 1947 ඔක්තෝබර් මාසයේ සිට London Letter යන සිරස්තලය යටතේ UNP Journal පත්‍රයට ද වාර්තා ලියා එවීය. ලංකාවෙහි පළ වූ ප්‍රධාන පෙළෙහි ඉංග්‍රීසි පුවත් පතක් වන Times of Ceylon හි ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේ ඉන්දියානු ජාතිකයෙකු වන ෆ්‍රෑන්ක් මොරායස්ය. මොරායස් විසින් 1948 සිට බලපවත්වන පරිදි ස්වකීය ප්‍රවෘත්ති පත්‍රයෙහි ලන්ඩන් විශේෂ වාර්තාකාර ධුරය ලෙස්ටර් පීරිස් වෙත පිරිනමන ලදී. ලෙස්ටර් සපයන ප්‍රවෘත්ති වාර්තා වලට ඡායාරූප ගත්තේ හෙරිවඩ් ජැන්ස් නම් ශ්‍රීලාංකියෙකි. ඔහු ඇමරිකාවෙන් ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලැබ එංගලන්තයට පැමිණ සිටියේය. ආධුනික හා පර්යේෂණාත්මක චිත්‍රපට නිර්මාණකරුවන්ගේ තරගයක් මේ කාලයේ වාර්ෂිකව එංගලන්තයෙහි පැවැත්විණි.

මේ තරගයෙන් තෝරාගත් හොඳම චිත්‍රපට දහය, නැෂනල් ෆිල්ම් තියටර්හි ප්‍රදර්ශනය කරන ලදි. පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අදහස ලෙස්ටර් පීරිස් තුළ පිළිසිඳ ගත්තේ එබඳු චිත්‍රපට පෙළක් නරඹද්දීය. ඔහු සිය අදහස ඡායාරූප ශිල්පී හෙරි වඩ් ජෑන්ස්ට පැවසී ය. ඔවුහු මි. මී. 16 කැමරාවක් මිල දී ගත්හ. එය සැබැවින් ම බඩු හුවමාරුවක් විය. ඔවුහු ලන්ඩන්හි බොන්ඩ් වීදියේ කැමරා වෙළෙන්දෙකුට තමන් සතුව තිබුණු ස්පීඩ් ග්‍රැෆික් කැමරාවත් පවුම් තිහකුත් දී ඒ වෙනුවට ඇමරිකානු වික්ටර් කැමරාවක් ලබා ගත්හ. ලෙස්ටර් පීරිස් නමැති කෙටිකතාකාරයා, කතා සංකල්පයක් ගෙතුවේය. තිර නාටකය සකස් කළේය. චිත්‍රපටයට නමක් තැබුවේ ය. එනම්, ‘සොලිලොකියු’ යන්නයි. ීදකසකකදුමහ යනු ලතින් බසින් බිඳී ආ පදයකි. ීදකසකදුමසමප හෝ ීදකමි යන ලතින් පදයෙහි අරුත තනි, හුදෙකලා යනුයි. ඛදුමස යන ලතින් පදයෙහි අරුත කතා කිරීම යනු යි. මේ දෙපදය එක් වීමෙන් නිර්මාණය වී ඇති සොලිලොකියු’ යන පදයෙන් නැගෙනුයේ හුදෙකලා කථනය, ස්වයං කථනය, තමා තමන් සමඟ ම කතා කර ගැනීම වැනි අරුත් ය.

සොලිලොකියු කතා සැකිල්ල ත්‍රිකෝණාකාර ප්‍රේම කතාවක ස්වරූපයෙන් රචනා වූවකි. ප්‍රධාන පාත්‍රයා සිත්තරෙකි. ඔහු දුප්පත්ය. ඔහුගේ පෙම්වතිය නිළියකි. ඇය මැදිවියෙහි ධනවත් වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සමඟ පලා ගොස් ය.

සොලිලොකියු ට (Solilloquy) හිමි වූ සම්මානය මුදාගන්න රේගුවට මුදල් ගෙවයි

සිත්තරාට අවශ්‍ය ඇය ඔහුගෙන් මුදා ගන්ට ය. එහෙත් ඒ සඳහා ඔහුට ආත්ම ශක්තියක් හෝ ශරීර ශක්තියක් නැත. එබැවින් ඔහු ඊට විසඳුම් වශයෙන් බොහෝ දෑ සිතන්ට පටන් ගනී. එනම් ඇමරිකානු සොල්දාදුවෙකු වී නම් ඔහුට සිය පෙම්වතිය නැවත ලබා ගන්ට නුපුළුවන් වන්නේද? ධනවතා හා ආරවුලක් ඇති කොට ගෙන ඔහුගෙන් වෙඩි කා මළොත් පෙම්වතිය ඔහු වෙනුවෙන් දුක් නොවන්හිද? ආදී වශයෙනි. ‘සොලිලොකියු’ යනු විනාඩි 20ක් පුරා දිවෙන මෙබඳු උපකල්පන සමූහයකි. විදුලි සෝපානයක පැහැදිලි සහ අපැහැදිලි රූප පෙළකින් හා එතුළ හුදෙකලා වී සිටින සිත්තගේ රූප පෙළකිනි චිත්‍රපටය ඇරඹෙන්නේ. හඬ පටයෙන් සිත්තරාගේ ස්වයං කථනය ඇසෙන්ට පටන් ගනී. “මම සිත්තරෙක්මි. මගේ පෙම්වතිය වසන්නේ මෙහි ය. මෙය සුව පහසු උණුසුම් තට්ටු නිවාසයකි……… ආදී වශයෙනි.

‘සොලිලොකියු’ රූ ගත කෙරුණේ කළු සුදු දළ සේයාපටවලිනි. ප්‍රධාන චරිත තුන සඳහා ලන්ඩන් නුවර ඉංග්‍රීසි වේදිකාවේ ආධුනික නළු නිළියන් වූ ක්ලෙයාර් පොලොක්, රොබට් ජාවිස් හා ලෙන් ස්ප්‍රින්ගර් යන තිදෙනා යොදා ගන්නා ලදි. හෙරිවඩ් ජෑන්ස් කැමරාව මෙහෙය වූයේය. මේ වනාහි සිනමා කැමරාකරණය පිළිබඳ ඔහුගේ කුළුඳුල් අත්දැකීම වුවත් ඇමරිකාවේ සිටිය දී ඔහු The NewYork journal මගින් සංවිධානය කරන ලද නිශ්චල ඡායාරූප තරගයකින් දෙවැනි ස්ථානය දිනා ගෙන තිබිණ. පසුබිම් සංගීතය, ලන්ඩන් නුවර ජනප්‍රිය කැලිප්සෝ කණ්ඩායමේ ප්‍රධානියා වූ බටහිර ඉන්දීය කොදෙව් ජාතික සිරිල් බ්ලේක් විසින් සපයන ලදි. චිත්‍රපටය සඳහා ඔහු භාවිත කළේ ස්පාඤ්ඤ ගිටාරය පමණි. ගිටාර් හඬත් ස්වයං කථනයත් හැර අන් කිසිවක් හඬ පටයෙහි නොතිබිණ.

චිත්‍රපටය මුළුමනින්ම රූ ගත කරන ලද්දේ අයිවන් පීරිස්ගේ චිත්‍ර කලාගාරයේ දී ය. ලෙස්ටර් සහ අයිවන් පදිංචිව සිටියේද එහි ය. එළිමහත් දර්ශන කිසිවක් නොතිබිණ. චිත්‍රපටයේ එක් අවස්ථාවක බීමත් හිඟන්නෙකු පාරේ ඇවිදගෙන යනු සිත්තරාට පෙනේ. එය ද ඉඳුරා එළිමහන් දර්ශනයක් නොව සිත්තරාගේ දෘෂ්ටි කෝණයෙන් කවුළුවක් ඔස්සේ දකින දසුනකි. චිත්‍රපටයට විශේෂයෙන් සකස් කළ කෘත්‍රිම පසුතල (Sets) කිසිවක් නොතිබිණ. විශාල කළු පාට තිර රෙදි එල්ලා කලාගාරය අඳුරු කරන ලදි. කෘත්‍රිම ආලෝකය පතිත කරන්නට යෙදුණේ චරිත සහ අවශ්‍ය රංග භාණ්ඩ මත පමණි. කාමරයක පසුතලයක් අවශ්‍ය තන්හි දී තද අඳුරු පසුබිමක මේසයක් පුටුවක් සහ ජින් බෝතලයක් තබා ඒ උපකරණ මත පමණක් ආලෝකය පතිත කෙරිණ. සමස්ත චිත්‍රපටය ම සිතුවිලි ධාරාවක් බැවින් කාලය හා අවකාශය පිළිබඳ ව අවධානය යොමු නො කරන ලදි.

චිත්‍රපටය සඳහා වැය කෙරුණේ ලෙස්ටර්, ජෑන්ස් දෙදෙනාගේ වැටුප්ය. එබැවින් නිතර මුදල් දුෂ්කරතා පැමිණියේ ය. කාලය ද බොහෝ විට හරස් විය. දෙදෙනාම මේ සඳහා කැප කළේ පත්තර කන්තෝරුවෙන් ලත් මඳ ඉසිඹුව ය. සංස්කරණ කටයුතු කරගෙන යෑම ඉතා දුෂ්කර විය. ඔවුන් ඒ කටයුතු කළේ කොඩැක් ප්‍රක්ෂේපණ යන්ත්‍රයකිනි.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘සොලි ලොකියූ’ නමැති කුළුඳුල් සිනමා නිර්මාණය 1949 මහා බි්‍රතාන්‍යයේ ආධුනික හා පර්යේෂණාත්මක චිත්‍රපට නිර්මාණකරුවන්ගේ උළෙලේ දී ඉහළම ශිල්පීය ප්‍රවීණතාව පළ කරන චිත්‍රපටයට පිරිනැමෙන කෙටි සිනමා අභියෝග කුසලාන දිනා ගත්තේය. ලෙස්ටර් වෙත මේ කුසලාන පිරිනැමුණේ ලොව පිළිගත් සිනමා කලා විචාරක රොජර් මැන්වෙල් අතින් වීම වෙසෙසින් සඳහන් කළ යුත්තකි. මේ චිත්‍රපට තරගයට ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ටේ්‍රලියාව, මහා බි්‍රතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් කෙටි චිත්‍රපට 4000ක් පමණ ඉදිරිපත් කර තිබුණි. ආසියාතිකයෙකු මේ තරගයේදී සම්මානයක් හිමි කර ගත් ප්‍රථම අවස්ථාව ද මෙය වූයේ ය. කෙන් රසල් (Ken Russell යනු ‘වීමෙන් ඉන් ලව්’, ‘ ද මියුසික් ලවර්ස්’, ‘ද ඩෙවිල්ස්’ වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂවරයාය.) ඇලන් පාකර් (Alan Parker යනු ‘ මිඩ්නයිට් එක්ස්ප්‍රස්’, ‘ෆෙම්’ ‘මිසිසිපි බර්නිංග්’ වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂවරයාය.) වැනි සිනමාකරුවන්ගේ තිඹිරිගෙය වුයේ ද මේ චිත්‍රපට තරගය යි.

The Amateur Cine World Magazin නම් වූ සඟරාව ‘සොලිලොකියු’ පිළිබඳ විශේෂ විචාරයක් පළ කළේ ය. ව්‍යාපාරික කටයුතු සඳහා ලන්ඩනයට ගොස් සිටි ඇන්ටන් වික්‍රමසිංහ UNP Journalys ප්‍රථම ලන්ඩන් වාර්තාකරුවා ලත් මේ ජයග්‍රහණය ගැන ඒ පත්‍රයේ 1950 අප්‍රේල් 21 වැනි දා කලාපයට දීර්ඝ විස්තරයක් ලියා එවීය. ලෙස්ටර් සම්මානය ලබා ගන්නා ඡායාරූප බොහෝ පුවත්පත්වල පළ විය.

පුරා පණස් වසකට පසු ලෙස්ටර් පීරිස් සිය කුළුඳුල් සිනමා නිර්මාණය දෙස පෙරළා හැරී බලන්නේ මෙලෙසිනි. අත්දැකීමක් වශයෙන් සොලිලොකියු හි වැදගත්කමක් ඇතැයි මම නොසිතමි. එහෙත් ආකෘතිමය පක්ෂයෙන් එය වැදගත්කමක් දැරීය. විචාරකයන් එය පිළිගත්තේ ද පර්යේෂණාත්මක චිත්‍රපටයක් ලෙසිනි. මේ චිත්‍රපටය කරන අවදිය වන විට මම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට රැසක් නරඹා සිටියෙමි. ඒ, කොළඹ චිත්‍රපට සංගමයේදීත් එංගලන්තයේදීත් ය. ඒවා සවිඤ්ඤාණිකවත් අවිඤ්ඤාණිකවත් මට බලපාන්ට ඇත. සොලිලොකියු ආලෝකකරණය සම්බන්ධයෙන් මා ආභාසය ලබා ඇත්තේ ඕසන් වෙල්ස් (1916 – 1985) ගේ සිටිසන් කේන් (1941) චිත්‍රපටයෙන් බව අද මට පෙනී යයි. සිටිසන් කේන් චිත්‍රපටයෙහි පසුබිම අඳුරු පැහැයක් ගනී. ආලෝක

ගැන්වී ඇත්තේ චරිත සහ වස්තු පමණි. සොලිලොකියු ද එපරිදිමය. සොලිලොකියු, මගේ පසුකාලීන වෘත්තාන්ත චිත්‍රපට වලට පවා කිසියම් ආකාරයක බලපෑමක් කර ඇතැයි මට සිතේ. දෙලොවක් අතර, ගොළු හදවත, නිධානය, අහසින් පොළොවට වැනි චිත්‍රපටවල පමණක් නොව ගෝඩ් කිංග් සහ බැද්දෙගම වැනි චිත්‍රපටවල පවා දක්නට ලැබෙන්නේ මෙහි බලපෑම යයි යම් විචාරකයෙකු කියතොත් මට එය ඉඳුරා ප්‍රතික්ෂේප කළ නොහැකිය. මේ හැම

චිත්‍රපටයක ම කේන්ද්‍රීය චරිතය කිසියම් ආකාරයක විභ්‍රාන්තියකින් යුතු නොවන්නේද?‘

තරුණ ලෙස්ටර්ගේ සිත තුළ ප්‍රථම ප්‍රේමය මෝදු වන්ට පටන් ගත්තේ මෙ සමයෙහි ය. ලෙස්ටර් – අයිවන් දෙදෙනාගේ චිත්‍ර කලාගාරයට යාබදව පිහිටා තිබුණේ සර් රිචඩ් ස්ටීල් පබ් නම් වූ පෞරාණික අවන්හලයි. මේ වනාහි ලන්ඩන් නුවර වාසී බොහෝ කවීන්, ලේඛකයන්, සංගීතඥයන් මධුවිත තොල ගාන්නට පැමිණි තැනකි. ලෙස්ටර්ගේ සහ අයිවන්ගේ හැම හැන්දෑවක් ම ගෙවුණේ මෙ තැනය. එහි අයිතිකරු වූ ඩික්සන් සමඟ අයිවන් මිත්‍ර වූයේය. ලෙස්ටර් මිත්‍ර වුයේ ඩික්සන්ගේ දියණිය සමඟයි. ස්වාමිපුරුෂයාගෙන් වෙන් වී සිය දරුවා සමග එහි විසූ මාග්රට් ඩික්සන් (විවාහක නම :මාග්රට් ඇන්ඩර්සන්) නම් සුදු කත කෙරෙහි ආලයක් ලෙස්ටර් තුළ හට ගත්තේය. එය කෙළවර වූයේ විවාහයෙනි. හෙරි වඩ් ජෑන්ස් මංගල ඡායාරූප ගත්තේය. එහෙත් නෙගටිව් පටයෙහි එකම පින්තූරයක්වත් සටහන් වී තිබුණේ නැත. ඒ, ජෑන්ස්ගේ ජිවිත කාලය තුළ එබඳු අකරතැබ්බයකට මුහුණ දුන් එකම අවස්ථාවයි. රෙපරමාදු ආගම අදහන්නියක විවාහ කර ගැනීම නිසා ලෙස්ටර් කතෝලික පල්ලියෙන් ද නෙරපා හරින ලදි.

එංගලන්තයේ සිටි කාලය තුළ දී ලෙස්ටර් – ජෑන්ස් දෙපොළ එක් වී තවත් කෙටි චිත්‍රපට දෙකක් නිර්මාණය කළෝය. Farewell to Childhood (ළමා වියට ආයුබෝවන්, මි. මී. 16. කළු – සුදු, වි 14යි.) සහ A Sinhalese Dance
(සිංහල නැටුමක්, මි. මී. 8, කළු – සුදු වි. 08 යි.) යන චිත්‍රපට දෙකයි.

ෆෙයාවෙල් ටු චයිල්ඩ්‘, නිහඬ චිත්‍රපටයකි. ලෙස්ටර් ලියූ The Saree නමැති කෙටිකතාව ඊට පාදක වූයේ ය. එයින් කියැවුණේ දඟකාර දැරියකගේ මනස තුළ තමා වැඩිවියට පැමිණ සිටිතියි යන හැඟීමක් පහළ වීම පිළිබඳවයි. මේ චිත්‍රපටය මහාබි්‍රතාන්‍යයේ Amateur Cine ආයතනය විසින් 1950 හොඳම කෙටි චිත්‍රපට 10න් 1ක් ලෙස තෝරා ගන්නා ලදි.

“අ සිංහලීස් ඩාන්ස් ” නමැති චිත්‍රපටයේ එකම චරිතය සඳහා ලෙස්ටර් තෝරා ගත්තේ එවක රාම් ගෝපාල් නමැති නෘත්‍යාචාර්යවරයා සමඟ ලන්ඩනයට පැමිණ සිටි අනුර නමැති තරුණ උඩරට නැටුම් ශිල්පියා යි. 1930 සිට සමස්ත යුරෝපය පුරා උඩරට නැටුම් ඉදිරිපත් කර තිබුණු අනුරගේ ගැයුම් වැයුම් රැඟුම් ගැන ලෙස්ටර් කෙතරම් පැහැදුණේද යත් Anura dances through Europe යන මැයෙන් ඔහු ගැන දීර්ඝ ලිපියක් ද ලිවීය. එහෙත් චිත්‍රපටයේ දී අනුරට ගයන්ට ද වයන්ට ද නටන්ට ද තහනම් විය. ඔහු විසින් කළ යුතුව තිබුණේ නිශ්චල ඡායාරූපවලට පෙනී සිටින්නාක් මෙන් අචල රංග ලීලා දැක්වීම යි. ජෑන්ස් විසින් ඒ අචල රංගලීලාවලත් අනුරගේ වෙස් තට්ටු, අවුල්හර, පාදජාලා වැනි රංගාභරණ ආදියේත් සමීප රූප ගන්නා ලදි. අනුරගේ බෙර වාදන වෙන ම හඬ පටයක පටිගත කෙරිණ. අනතුරුව ලෙස්ටර් විසින් සිදු කරන්ට යෙදුණේ බෙර තාලානුකූලව උක්ත සමීප රූප පෙළ සංස්කරණය කරමින් නැටුමක චලනය නරඹන්නා වෙත ප්‍රදානය කිරීමයි. මේ චිත්‍රපටයට ද 1950 Amateur Cine World සිනමා උළලෙහි දී ගෞරවාර්හ සඳහනක් හිමි විය. ලෙස්ටර් පීරිස්ගේ ලන්ඩන් දිවිය මෙසේ ගෙවී යද්දී ඔහුගේ ජීවිතයට අනියම් වශයෙන් සම්බන්ධ සිද්ධි සමුදායක් ලංකාවෙහි සිදු වෙමින් තිබිණ. ඒ මෙබඳු සිද්ධි පෙළකි.

ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතාවක් ආශ්‍රයෙන් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්ට උනන්දුවක් දැක්වූ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් 1947 විශ්ව රංග මුවිස්ටෝන් නම් සමාගමක් පිහිටුවා ගන්නා ලදී. අනතුරුව එහි වැඩ කටයුතු සඳහා මි. මී. 35 කැමරාවක් ඇතුළු තවත් ආම්පන්න ද ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජුලියෝ පෙට්‍රෝනි සහ කාර්මික ශිල්පියෙකු වූ ෆ්රෙඩ්රිකෝ සෙරා යන දෙදෙනා ද ගෙන්වන්ට යෙදුණි. චිත්‍රපටයේ වැඩ කටයුතු කඩාකප්පල් විය. කැමරා ආම්පන්න ද සමග ඉතාලි සිනමාකරුවෝ දෙදෙනා අතරමං වූහ. එවක අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩී. ඇස්. සේනානායක සහ මුදල් අමාත්‍ය ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන හමු වූ පෙට්‍රෝනි සහ සෙරා විසින් අපූරු යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එනම්, තමුන් දෙදෙනාත් තම ආම්පන්නත් ප්‍රයෝජනයට ගෙන රජයේ චිත්‍රපට ආයතනයක් ආරම්භ කරන ලෙසයි. අගමැති – ඇමැති දෙපළගේ එකඟතාව පළ විය. ප්‍රවෘත්ති නිලධාරී ධුරය ඉසිලූ එච්. ඒ. ජේ. හුළුගල්ලගේ මහත් උද්‍යෝගය නිසා 1948 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාමරයක රජයේ චිත්‍රපට ආයතනය ආරම්භ කරන ලදී. කැමරා ශිල්පියෙකු ලෙස ලංකාවෙන් එක් පුද්ගලයෙකු පමණක් බඳවා ගැනිණ. ඒ වින්සන්ට් පෙරේරා යි.

1949 මැද භාගයේ දී රජයේ චිත්‍රපට ආයතනය මොරටුවේ වෙලෝනා කඩය අසල පොල්වත්තක පිහිටි ගොඩනැගිල්ලකට ගෙන යන ලදි. මේ වනාහි විශ්ව රංග මුව්ටෝන් සමාගම සිය චිත්‍රාගාරය පිහිටුවන්නට අදහස් කර ගත් ස්ථානයම විය. ප්‍රවෘත්ති චිත්‍රපට රැසක් හා ප්‍රශස්ත මට්ටමේ වාර්තා චිත්‍රපට ගණනාවක් නිර්මාණය කොට රජයේ චිත්‍රපට ආයතනයට ශක්තිමත් පදනමක් දැමූ පෙට්‍රෝනිට 1950 අවසාන භාගයේ දී රට හැර යන්නට සිදු විය. ඊට හේතුව, පෙට්‍රෝනි කොමියුනිස්ට් කාරයෙකු යැයි සැක කළ අග්‍රාමාත්‍යවරයා ඔහුට රටින් පිට වී යන ලෙස නියෝග කිරීමයි.

පෙට්‍රෝනින්ගේ පුරප්පාඩුව පුරවන්ට සමත් කෙනෙකු ලංකාවේ සිටියේ නැත. ඒ සඳහා සිය සමාගමෙහි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන රැල්ෆ් කින් ඒවීමට ලන්ඩන් නුවර ‘ද ෆිල්ම් ප්‍රොඩියුසර්ස් ගිල්ඩ්’ නමැති වාර්තා චිත්‍රපට සමාගම එකඟ වූයේ ය. ලෙස්ටර් පිරිස්, රැල්ෆ් කින් හමුවීමට ගියේ ලංකාවට යන කින් ගැන සවිස්තරාත්මක ලිපියක් ‘ ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයට සැපයීමෙහි අරමුණ ඇතිවය.

ලෙස්ටර්, රැල්ෆ් කින් හඳුනා ගන්ට පෙර රැල්ෆ් කින්, ලෙස්ටර් හඳුනා ගත්තේය. සොල්ලොකියු ඇතුළත් වූ කෙටි චිත්‍රපට තරගයෙහි විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙස කින් කටයුතු කර තිබිණ. කින් කීවේ පත්‍ර රස්සාව අතැර දමා තමන් සමඟ රජයේ චිත්‍රපට ආයතනයේ වැඩ කරන්ට ලංකාවට එන ලෙස යි. යළිත් ලංකාවට යන්ට හෝ රජයේ රැකියාවක් කරන්ට තමන්ගේ කැමැත්තක් නැති බව කියමින් ලෙස්ටර් සුහදශීලී ලෙස කින්ගේ ඇරැයුම ප්‍රතික්ෂේප කළේ ය.

ලංකාවට ගිය රැල්ෆ් කින්, යළි යළිත් ලෙස්ටර්ට ලිපි ලියන්ට විය. ලෙස්ටර්, කින්ගේ යෝජනාව ගැන තව වරක් සලකා බැලීය. තමා තුළ චිත්‍රපට තැනීමේ ආසාවක් පවතී. ඒ සඳහා වැය වන්නේ තමාගේ වැටුප යි. ලංකාවට ගියහොත් ආණ්ඩුවේ සල්ලි වලින් චිත්‍රපට තනන්ට හැකි වේ. කින්ගේ යෝජනාව නරක නැත. 1952 අප්‍රේල් මාසයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය බිරිඳත් බිරිඳගේ දරුවාත් සමඟ ලංකාවට ආවේය. ඔහු එන විට ගෙන ආවේ ‘සොලිකිය’ චිත්‍රපටය සහ ඊට ලැබුණු කුසලාන පමණි. අනෙක් චිත්‍රපට දෙක හෙරිවඩ් ජෑන්ස්ට භාර කෙරිණ. ලංකාවේ රේගු නිලධාරින් විසින් ‘සොලිලොකියු’ කුසලානය අනවසර භාණ්ඩයක් ලෙස සලකා අත්අඩංගුවට ගන්නා ලදි. එය යළි ලබා ගත හැකි වූයේ කුසලානයේ වටිනාකමට මුදල් ගෙවීමෙනි.

ලෙස්ටර් ලන්ඩනයට ගියේ යටත්විජිතයක සිටිදීය. පෙරළා ආවේ. නිදහස ලැබූ රටකට ය. සිනමා ක්ෂේත්‍රය ද වෙනස් වී තිබිණ. අද සිංහල චිත්‍රපට කර්මාන්තය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් තිබුණේ ය.

ලෙස්ටර් සිය බිරිඳත් දරුවාත් සමඟ මොරටුව ලක්ෂපතියේ කුලී නිවෙසක පදිංචියට ගියේ රෝලන්ඩ්ස්ර්ඩ්ස් සමාගමට රුපියල් පන්දාහක් දී අලුත් ම අලුත් මොරිස් මයිනර් රියක් මිලදී ගෙනය.

සොලිලොකියු ට (Solilloquy) හිමි වූ සම්මානය මුදාගන්න රේගුවට මුදල් ගෙවයි


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
(‘ලෙස්ටර් ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය සිනමාවේදියා’ නම් කෘතියෙන් උපුටා ගත් ලිපියකි.)
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment