ඇමැති ප්‍රසන්න රණතුංග රු. මි. 64ක් ඉල්ලූ නඩුවේ අභියාචනා පෙත්සම් විභාගය ජුනි 26 දා

329

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම හා ඒ හා සම්බන්ධ කටයුතු සිදු කිරීමේ දී ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී අත්හිට වූ සිරදඬුවම් හා දඩ මුදල් නියම වී සිටින ඇමැති ප්‍රසන්න රණතුංග එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම විභාගය ජුනි 26 පැවැත්වීමට අභියාචනාධිකරණය අද (22 දා) නියෝග කළේය.

අභියාචනා පෙත්සම සම්පත් අබේකෝන්, පී. කුමාරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබිණි.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළ චෝදනාවකට වරදකරු කෙරුණු ඇමැති ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දු කළේය.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක් ද අධිකරණය විසින් නියම කරනු ලැබීය.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment