ඇල්පිටියේ ගෙදරක කාන්තාවෝ දෙදෙනෙක් අභිරහස් ලෙස මිය ගිහින්

353

රෙදි පටියක් සොයා ගැනේ

ඇල්පිටිය පහල ඕමත්ත ගනේගොඩ ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් ඊයේ (01) දහවල් හමු වී ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පහල ඕමත්ත, ගනේගොඩ ලිපිනයේ පදිංචි උඩුගමසූරියගේ ඥානවතී (අවු. 80) හා උහන්ඕවිටගේ මල්ලිකා ජයරත්න (අවු. 69) යන කාන්තාවන් දෙදෙනෙකි.

මෙම කාන්තාවන් දෙදෙනා ඥාති සහෝදරියන් වන අතර මොවුන් දෙදෙනා පමණක් මෙම නිවසේ පදිංචිව සිට ඇත.

නිවසේ කිසිවකු පෙනෙන්නට නොසිටි හෙයින් අසල්වැසියකු පැමිණ සොයා බැලීමේ දී සිරුරු දෙක දැක ඇති බැව් පොලිසිය පවසයි. මින් එක් කාන්තාවකගේ මළ සිරුර නිවස තුළ පිහිටා ඇති නාන කාමරයේ තිබියදී හමුවී ඇත.

ඇයගේ ගෙල සිරකර ඇති බවට සැක කළ හැකි රෙදි පටියක් දක්නට තිබූ බවද පොලිසිය පවසයි. අනෙක් කාන්තාවගේ මළ සිරුර නිවසේ කාමරයක ඇඳක් මත තිබී හමුව ඇත. අභිරහස් ලෙස මියගිය උහන්ඕවිටගේ මල්ලිකා ජයරත්න නමැති කාන්තාවගේ ස්වාමි පුරුෂයා විල්බට් නාකන්දල යන විශ්‍රාමික ග්‍රාම නිලධාරියකු වන අතර, ඔහු කලකට ඉහතදී මිය ගොස් ඇත. මිය ගිය අනෙක් කාන්තාව විල්බට් නාකන්දල යන අයගේ සහෝදරිය වෙයි. මෙම කාන්තාවන් දෙදෙනා නිවසේ තනිවම වාසය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

නිවසට ඇතුළු වූ නාඳුනන පුද්ගලයකු හෝ පිරිසක් විසින් මෙකී කාන්තාවන් දෙදෙනා ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර ඇල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද – එස්. කේ. කළුආරච්චි -ගාල්ල, නියාගම වින්සන් විජේසිංහ, ඇල්පිටිය විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment