ඇහැටුවැව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුල සොයන්න රාජකාරි කළ 4ක් විභාග දෙපාර්තමේන්තුවට කැඳවයි

305

ගල්ගමුව ඇහැටුවැව පාසලක පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකට අසාධාරණයක් සිදු වී ඇති බවට ප්‍රකාශ වීම නිසා ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම පාසලේ විභාග රාජකාරි සිදු කළ නිලධාරීන් 4 දෙනකුට ඊයේ (19 දා) විභාග දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ප්‍රශ්න පත්‍ර බෙදා දීමේදී විභාග කාර්ය මණ්ඩලය අතින් යම් වරදක් සිදුවීම නිසා තම දරුවන්ට අසාධාරණයක් සිදුව ඇති බවට දෙමාපියන් විසින් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා ඒ ගැන විමර්ශනය කිරීමට මෙම සිවු දෙනා විභාග දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය.

මෙහිදී සිසුන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට සාධාරණය ඉටුකරන බව ද ඒ මහතා කීය. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන තෙක් ප්‍රසිද්ධ කිරීමට තහනම් බව ප්‍රකාශ කර තිබියදී එම ප්‍රශ්න පත්‍ර ඡායාගත කර සමාජ මාධ්‍යවලට බෙදාහැරීමක් සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment