ඉන්දියාවේදී ඇල්ලූ අයිඑස් ආධාරකරුගේ ගෝලයා මත්කුඩු සහ මුදල් සමග ඔරුගොඩවත්තේදී දැලේ

142

ISIS සංවිධානයට ආධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සැලසුම් සකස් කිරීම සම්බන්ධව ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් රවුෆ්ඩීන්ගේ ගෝලයා හෙරොයින් සහ ජාවාරමෙන් ඉපැයු මුදල් ද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත පාලම ආසන්නයේදී ඉකුත් 14 දා විශේෂ කාර්ය බළකාය සිදු කළ මෙහෙයුමකදී සැකකරු කොටු වී ඇත. හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන පුද්ගලයකු මුදලින් රුපියල් 202,930.00 ක්, ජංගම දුරකථනයක් සහ යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා දැනට ISIS සංවිධානයට ආධාර අනුබල දීම හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සඳහා සැලසුම් සකස් කිරීම සම්බන්ධව ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකු වන අබ්දුල් රහීම් මොහොමඩ් රස්ඩීන් (රවුෆ්ඩීන්) නමැත්තා සමග සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ (බුද්ධි) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණයෙන් බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment