ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව සුපිරි අටේ වැඩ පෙන්වති

134

2024 විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ සිව්වැනි තරගය ලෙස පැවැති ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ඩන්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 28 ක ජයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවිය.

ඇන්ටිගුවාහි විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය බංග්ලාදේශ කණ්ඩායමට පැවරීය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 140ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු ඉනිමේ පන්දු වාර 11යි පන්දු දෙකක් අවසාන වන විට තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර ඒ වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 2 ක් දැවී ලකුණු 100ක් ලබා සිටියේය. ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 28ක ජයක් හිමිවිය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නජ්මුල් හුසේන් ශාන්තෝ ලකුණු 41ක් සහ තවහිඩ් හරිඩෝයි ලකුණු 40ක් ලැබීය.

පන්දු යැවීමේදී පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර ඔහු ලකුණු 29කට කඩුලු 3ක් සහ ඇඩම් සැම්පා ලකුණු 24කට කඩුලු 2ක් බිඳහෙළීය.

විශිෂ්ට ඉනිමක් දියත් කළ ඩේවිඩ් වෝනර් පන්දු 35 කින් ලකුණු 53 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් රිෂාඩ් හුසේන් ලකුණු 23කට කඩුලු දෙකක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ලකුණු 29කට කඩුලු 3ක් දවාගත් පැට් කමින්ස් සම්මාන ලැබීය.

මේ අතර 2024 විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ තෙවැනි තරගය ලෙස (පෙරේදා) පැවැති ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් ලකුණු 47ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

බ්‍රිජ්ටවුන්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 181 ක් ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 134ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සූර්යකුමාර් යාදෙව් සමත් වූ අතර ඔහු පන්දු 28කින් හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 53ක් ලැබීය. හර්දික් පාණ්ඩයා පන්දු 24කින් ලකුණු 32යි, විරාත් කෝලි ලකුණු 24ක් සහ රිෂාබ් පන්ට් ලකුණු 20ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ෆසහල්හා ෆරුකි ලකුණු 33කට කඩුලු 3ක් සහ රෂීඩ් කාන් ලකුණු 26කට කඩුලු 3ක් බිඳහෙළීය.

තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූ ඉන්දීය පන්දු යවන්නෝ ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූ අතර ඒ අනුව ගුල්බදීන් නයිඩ් ලකුණු 17ක්, අස්මතුල්හා ඔම්සායි ලකුණු 26ක්, සහ නජිබුල්හා ෂඩ්රාන් ලකුණු 19ක් ලැබීය. පන්දු යැවීමේදී ජස්ෆිට් බුම්රහ් ලකුණු 7කට කඩුලු 3ක්, අර්ෂදීප් සිං ලකුණු 36කට කඩුලු 3ක් සහ කුල්දීප් යාදෙව් ලකුණු 13කට කඩුලු 2ක් බිඳහෙළීය. පන්දු 28කින් හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 53ක් රැස්කළ සූර්ය කුමාර් යාදෙව් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment