රුපියල බාල්දු වී ජීවන වියදම දරාගැනීමට නොහැකි තරම් ඉහළ ගිහින්

92

කුමන තනතුරු දැරුවත් ජනතාවට ඇත්ත කිව යුතුයි

අගමැති දිනේෂ් ගුණවර්ධන

රුපියල් බාල්දු වී ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි සියලු දෙනා පිළිගත යුතු බවත් කුමන තනතුරක් දැරුවත් ජනතාවට යථාර්ථය පැවසිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉකුත් 01 දින සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතියේ 77 වන සංවත්සර මහා සභාව කොළඹ දී අමතමිනි.

කම්කරු සමිතියේ සභාපතිවරයා වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ප්‍රධාන ලේකම් අජිත් ධම්මික මහතා නැවතත් එම තනතුරු සඳහා තෝරා පත්කර ගැනීම ද මෙහිදී සිදුවිය.

රුපියල බාල්දුවූ අවස්ථාවක ඇතිවන ආර්ථික පසුබැස්මේ අවාසිය ජනතාවට ඍජුව දැරීමට සිදුව තිබේ. මේ නිසාම යම් යම් යෝජනා නැවත සලකා බලා වෙනසකට භාජනය කළ යුතු කාලය දැන් එළැඹ තිබේ.

නමුත් ඉදිරියේදී රුපියල් කෙතරම් බාල්දු වේදැයි සැකයක් ඇති කරගත යුතු නොවන අතර වත්මන් රජය හැකි උපරිම සවිය ආර්ථිකයට යොදා ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේය.

රටේ දුෂ්කරම කාල පරිච්ඡේදය ඉදිරි මාස කිහිපය ඇතුළත ලිහිල් කර ගැනීමට හැකි වෙතැයි මෙහිදී සිය විශ්වාසය පළකළ අගමැතිවරයා රට හමුවේ ඇති ජාත්‍යන්තර ණය ගැටලුවෙන් ගොඩ ඒමට මුළු රටම එකාවන්ව විශාල උත්සහය යෙදිය යුතු බව අවාධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපා, භාණ්ඩාගාරික සේන සිරිමාන්න, වෘත්තීය සමිති ලේකම් අජිත් බණ්ඩාර යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment