‘ඉයන්’ සුළි කුණාටුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජනතාවට දැඩි පීඩා

199

පැයකට සැතපුම් 150 ක් දක්වා වූ වේගයකින් හමන සුළං හා දරුණු ජල ගැලීම් ඇති කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට පෙරේදා (28දා) දිනයේ කඩා වැදුණු ‘ඉයන්’ සුළි කුණාටුව හේතුවෙන් නිවාස, සිනමා ශාලා, රංගන ශාලා, ව්‍යාපාරික ස්ථාන, පාසල් ඇතුළු ගොඩනැඟිලි රැසකට හානි සිදු වී ඇති අතර ප්‍රාන්තයේ පවතින පාම් ගස් දෙකට ඇඹරී ගොස් විශාල ජනතාවකට දැඩි පීඩා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

‘ඉයන්’ සුළි කුණාටුව ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදීමත් සමගම හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල ගොඩනැගිලි කඩා වැටී ඇති බවත් එම ගොඩනැගිලි හා රථ වාහන රැසක් ජලයට ගසා ගෙන ගොස් මුහුදට වැටී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි. ප්‍රාන්තයේ පවතින ප්‍රධාන පෙළේ රංගන ශාලාවක් වන වෙනිස් රංගන ශාලාවටද කුණාටුව හේතුවෙන් හානි සිදුව තිබේ. ඇතැම් ගුවන් තොටුපළවල් ද වසා දමා ඇති බව වාර් තා වී තිබේ. ශත වර්ෂයකට පමණ පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදුණු දරුණුම සුළි කුණාටුව වන ‘ඉයන්’ කුණාටුව හේතුවෙන් ඊයේ (29දා) වන විට මධ්‍යම ෆ්ලොරිඩාවේ ප්‍රදේශවලට අඟල් 30ක් දක්වා වන වර්ෂාවක් පතිත වී ඇති අතර වැසි සමග ඇති වූ ජල ගැලීම් හා සුළි කුණාටුවේ දැඩි සුළං හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය හා ජල සැපයුම ඇන හිටීමේ සිදුවීම් වාර්තා වී තිබේ. ඊයේ දහවල් වන විට සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක විදුලිය ඇන හිට ඇති බව බලධාරීහු පවසති. කුණාටුව හේතුවෙන් මහා මාර්ගවල හා මාර්ග අසල රැඳී සිටීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ. මේ අතර ෆ්ලොරිඩා වෙරළ ප්‍රදේශය ආසන්නයේදී කියුබානු ජාතික සංක්‍රමණිකයන් 20 දෙනකු රැගත් බෝට්ටුවක් කුණාටුව හේතුවෙන් මුහුදට පෙරළී ගොස් තිබේ. සුළි කුණාටුව කඩා වැදීමත් සමගම තමන්ව සිටින ස්ථානවලින් ඉවත් කර ගන්නා ලෙස විශාල නිවැසියන් පිරිසකගෙන් පොලිසිය වෙත දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් පැමිණෙමින් තිබෙන අතර දැනට හමා යන දැඩි සුළං පැයකට සැතපුම් 45කට වඩා අඩු වූ පසු ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් අරඹන බව ෆ්ලොරිඩා ප්‍රාන්ත පොලිසිය පවසයි. ඉයන් සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment