එක්සත් ජනපද ස්ථිර නියෝජිත අද එයි

123

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (25 දා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහන් සම්බන්ධව සොයා බැලීමටත් ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජනපද කැපවීම සහ මෙරට සමග පවතින දීර්ඝ කාලීන හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමත් ඇයගේ සංචාරයේ අරමුණ වී තිබේ.

කොළඹදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආධාර ලබාදෙන සංවිධාන හමුවීමට අමතරව ඇය ශ්‍රී ලංකාවේ එජා තානාපති ජූලී චංග් මහත්මිය සමගින් එක්ව මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සහ ප්‍රජා සංවිධාන හමුවී එක්සත් ජනපද අරමුදලින් ක්‍රියාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප්‍රතිලාභීන් සහ ඒවා ක්‍රියාත්මක කරන්නන් වෙතින්ම විස්තර විමසීමට ද නියමිතය.

ආහාර සහ කෘෂිකර්ම සංවිධාන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල සහ ලෝක ආහාර වැඩසටහන යන එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම නියෝජිතායතන තුන සඳහා තනි රටක් වශයෙන් විශාලත ම ආධාර සපයන්නා වන්නේ එක්සත් ජනපදයයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 


advertistmentadvertistment