එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය වන්නේ කුඩා රටවල ආරක්ෂාව සඳහායි

98

අපේ රටේ කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, රටේ යහපත මුල්කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යෑම අවශ්‍ය වෙනවා. අද යුගයේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධානම අරමුණක් ලෙස සියලු රටවල් සලකන්නේ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමයි; වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමයි. තමන් කාලාන්තරයක් තිස්සේ අදහපු, විශ්වාස කරපු දේශපාලන න්‍යායවලට පවා විරුද්ධව යමින් අද යුගයේදී බොහොමයක් රටවල් චීනය, ඉන්දියාව, වියට්නාමය වාගේ ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නට ක්‍රියාකරන බව අප දකිනවා. මේක තමයි අද යුගයේ අපි දකින යථාර්ථය. එක පැත්තකින් රටේ යහපත, තවත් පැත්තකින් රටේ ප්‍රතිරූපය යන මේ අංශ දෙකම ඉහළින් තබාගත හැකි අයුරින් නිවැරදි සහ ප්‍රායෝගික මූලධර්මවල පිහිටි විදේශ ප්‍රතිපත්තියක් රටක තිබීම අවශ්‍ය වෙනවා.

විදේශ ප්‍රතිපත්තිය යනු, මූලික වශයෙන් රටක් ජාත්‍යන්තරය හා සබඳතා පවත්වන පිළිවෙතයි. අනෙක් රටවල් සමග ගනුදෙනු කරන පිළිවෙතයි. රටේ යහපත සහ රටේ ප්‍රතිරූපය සඳහා එය සෘජුවම බලපානවා. අප විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තීන්දු – තීරණ ගත යුත්තේ පර්යේෂණ පදනම් කරගත් දත්ත පදනම් කරගෙන බව මම විශ්වාස කරනවා. ඒ පර්යේෂණ ස්වාධීන පර්යේෂණ විය යුතුයි. ඒවා පටු දේශපාලන බැඳීම් හෝ පටු පුද්ගල වාසි ප්‍රයෝජන හෝ අනුව පවත්වන පක්ෂපාතී පර්යේෂණ නොවිය යුතුයි. එවැනි පර්යේෂණ පැවැත්වීම සඳහායි ලක්ෂ්මන් කදිර්ගාමර් විදේශ අමාත්‍යවරයාගේ නමින් නම්කර ඇති ආයතනය එදා ඇරඹුවේ. මගේ මතකයට අනුව එය එදා හැඳින් වූණේ “Sri Lanka Institute of International Relations and Strategic Studies” වශයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඒ ආයතනය වඩාත් ශාක්තිමත්ව පවත්වාගෙන යෑම මෙන්ම එවැනි ස්වාධීන සහ විශේෂිත පර්යේෂණ හා අධ්‍යයන කරන ආයතනවල think – tank අවශ්‍යතාව අපේ රටට අද තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ වෘත්තීයමය තත්ත්වය වර්ධනය කිරීමට පියවර ගැනීමේ වැදගත්කම ගැනත්, වෙළෙඳ සබඳතා, ජාත්‍යන්තර සබඳතා, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආදිය පිළිබඳ දැනුම මෙන්ම කුසලතා සංවර්ධනය වැඩිදියුණු කිරීමේ අවස්ථා ලබාදීම ගැනත් වැඩි සැලකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙනුත් මම අවධානය යොමු කරන්නට කැමතියි.

ඒ වාගේම අපි හොඳින් දන්නවා ලෝකයේ දියුණු රටවල විදේශ සේවය සඳහා Mid – Career Eniry ක්‍රමයක් තිබෙන බව. දැන් විදේශ සේවයට තිබෙන්නේ පහළින් පහළට එක ක්‍රමයක් පමණයි. දියුණු රටවල තිබෙනවා වාගේ පෞද්ගලික අංශවලින් හෝ වෙනත් සංවර්ධන අංශවලින් හෝ ආර්ථික ක්ෂේත්‍රය තුළින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා නිපුණයන්, දක්ෂයන් ඇතුළත් කරගැනීමේ ක්‍රමයක් අපේ රටේ විදේශ සේවය සඳහා ඇති කිරීම ගැන මීට පෙර කාරක සභා අවස්ථාවකදී මම යෝජනා කර සිටියා.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා වැඩිකිරීම සඳහා අමාත්‍යාංශය තුළ වෙනම අංශයක් ආරම්භ කර තිබෙන බව මට දැනගන්නට ලැබුණා. මේ ප්‍රයත්නය කොතෙක් දුරට සාර්ථකව කෙරී ඇත්ද යන්න තක්සේරුවක් කර එය වඩාත් හොඳින් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යෑම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමේ වැදගත්කමත් මම මතු කරන්නට කැමතියි.

අපේ රටේ පුරවැසියන් මිලියන ගණනක් අද විදේශ රටවල රැකියා කරනවා. ඔවුනට අද අපේ රටේ තීරණාත්මක මැතිවරණවලදී තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය පාවිච්චි කරන්නට අවකාශයක් නැහැ. ලෝකයේ බොහේ රටවල් මේ සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා. කරුණාකර තවත් ප්‍රමාද නොකර විදේශගත අපේ පුරවැසියන්ටත් රටේ අනාගත ගමන් මග තීන්දු කරන ප්‍රධාන මැතිවරණවලදී ඡන්ද අයිතිය පාවිච්චි කිරීමේ අවස්ථාව සලසාදීම සඳහා අපි කටයුතු කළ යුතුයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ
‘පලස්තීනය’ ග්‍රන්ථය ඇසුරෙනි.


advertistmentadvertistment