ලොව වනසන නත්තල් කොල්ලා

195

වැස්ස ආ නිසා එල්-නිනෝ අහවරද?

පැවති තත්ත්වය උඩු යටිකුරු කරමින් එක්වරම වැසි තත්ත්වයක් අතිවීම ප්‍රාතිහාර්යක් ද? මෙය බොහෝ දෙනකු මා ගෙන් ද ඇසූ පැනයකි. මේ වන විට පැසිපික් සාගර කලාපවල සුලි කුණාටු කිහිපයක් වර්ධනය වී ඇති අතර කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පැවතුන ද ප්‍රභල අඩු පීඩන කලාප වන සුලි කුණාටු දෙසට අනෙක් ප්‍රදේශවලින් සුළං ඇදී යෑමක් සිදුවේ. ඉහත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව හරහා පසුගිය දිනවල මෙවැනි සුළං ධාරා පැවතුන අතර තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් වැසි ඇති කිරීමට වඩාත් සුභදායක වන පරිදි සුළං ධාරා දිවයින ආසන්නයේ දී අභිසාරී වීමක් හෙවත් එකතුවීමක් ද සිදුවුණි. මෙය සාමාන්‍ය නිරිතදිග මෝසම් සුළං ආකාරයටම ක්‍රියාත්මක වූ බැවින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණි. නමුත් මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ පහව යනු ඇත. මීට සමගාමීව එල්නිනෝ බලපෑමද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බැවින් සහ ඉහත දැක්වූ සුලි සුළං හේතුවෙන් ඇතිවූ සුළං ධාරාව දුර්වල තත්ත්වයෙන් අඩු වැඩි වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වයඹ පළාතේ සමහර ප්‍රදේශවලටත් ඉදිරි මාසයේ දී වැසි ලැබීමේ හැකියාව පවතී.

එල්-නිනෝ සහ ලා-නිනා එක් ප්‍රදේශයකට අධික වර්ෂාවත් තවත් ප්‍රදේශයකට ප්‍රබල නියඟයකුත් ඇතිකරන සංසිද්ධියකි.

මෝසම් වර්ෂාව අඩු වී බෝග වගා විනාශ වීම, අස්වැන්න අඩුවීම, ආහාර මිල ඉහළ යෑම, කෘෂි ආදායම අඩුවීම, ජල මූලාශ්‍ර සිඳී යෑම, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු, ජල විදුලිය නිපදවිය නොහැකිවීම ඇතිවෙයි.

කය වෙහෙසෙන ක්‍රියා සිදු කිරීම අවම කරන්න, විස්වාසයක් නොමැති ජල මූලාශ්‍ර වලින් ජලය පානය නොකරන්න, උදෑසන 10 සිට සවස හතර අතර කාලයේදී හිරු එළියට නිරාවරණය වීම අවම කරන්න.

ලෝක ප්‍රජාව අතර වැඩිම කතාබහට ලක් වන මාතෘකා අතරින් කාලගුණ සහ දේශගුණ වෙනස් වීම ප්‍රධානම කරුණක්. මේ යටතේ විවිධ මාතෘකා තිබුණත් ලෝක ප්‍රජාවෙන් තුනෙන් දෙකක් පමණ මුහුණ දෙන එල්-නිනෝ සහ ලා-නිනා සුවිශේෂී අංගයක්. යම් අහිතකර කාලගුණ තත්ත්වයක් ඉතා ප්‍රභල ලෙස ජන ජීවිතයට බලපෑම් කරනවිට එය ආන්තික කාලගුණ තත්ත්වයක් ලෙස හඳුන්වයි. බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා අධිකව අත්විඳීමට සිදුවන හිමපතන, වර්ෂාව සහ නියඟය ප්‍රසිද්ධම උදාහරණ වේ. එල්-නිනෝ සහ ලා-නිනා යනු ඉහත ආකාරයට එක් ප්‍රදේශයකට අධික වර්ෂාවත් තවත් ප්‍රදේශයකට ප්‍රභල නියඟයකුත් ඇතිකරන සංසිද්ධියකි. එල්නිනෝ තත්ත්වය යනු පවතින නියඟය තවත් උග්‍ර කිරීමක් හෝ පවතින වැසි තත්ත්වය තවත් වැඩි කිරීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය. මෙමගින් සිදුවන්නේ ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාව සහ දකුණු ආසියාව වැනි ප්‍රදේශවලට නියඟ තත්ත්වයක් ඇති කරන අතර ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධව සාමාන්‍යයෙන් වර්ෂාපතනය අඩු දකුණු ඇමරිකානු සහ මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශවලට අනපේක්ෂිත ප්‍රභල වර්ෂා තත්ත්ව ඇති කිරීමකි.

සාමාන්‍ය වායුගෝලීය තත්ත්ව යටතේ දකුණු ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැසිපික් සාගරයේ සමකය ඔස්සේ පිහිටන සාගර තීරයට ඉතා ඉහළ සූර්ය විකිරණ ප්‍රමාණයක් ලැබෙන නිසා එම කලාපයේ සාගරයේ මතුපිට උෂ්ණත්වය ( Sea surface temperature (SST) ) අවුරුද්දේ බොහෝ කාලසීමා වලදී අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව වැඩියි. මෙම සාගර තීරය උණුසුම් තටාකය (Warm pool) ලෙස හඳුන්වනවා. මෙම තීරයේ ඔස්ට්‍රේලියාවට ආසන්නව ඇති ඩාවින් (Darwin) නම් ප්‍රදේශය ආශ්‍රිතව සාගරයේ මතු පිට උෂ්ණත්වය උණුසුම් තටාකයේ අනෙක් ප්‍රදේශවලටත් වඩා වැඩියි. (උණුසුම් තටාකය තුළ දකුණු ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර මෙම උෂ්ණත්ව වෙනස ඇතිවෙන්නෙ සාගරයේ අනෙක් ප්‍රදේශ වලින් උණුසුම් තටාකයට එන සාගර දියවැල් (Ocean currents) හේතුවෙනි) එවිට ඩාවින් අසල සාගරයට ඉහළින් වූ වායු ස්ථරය රත්වී ඉහළ යෑම නිසා අඩු වායු පීඩන කලාපයක් සෑදෙනවා. ඒ සමගම ඉහළ ගිය වායු මගින් හොඳින් වලාකුළු වර්ධනය වී මෙම ප්‍රදේශයට වැසි ලබාදෙනවා. ඉහළ යන මෙම වායු ධාරා ඉහළ අහසේ දකුණු ඇමෙරිකාව දෙසට ගමන්කර ඒ ආසන්නයේ දී පොළව දෙසට පහළට ගලා එන අතර පොළවට ආසන්න වන විට හැරී සාගරය ඔස්සේ නැවත ඔස්ට්‍රේලියාව දිශාවට ගමන් කරමින් චක්‍රීය සංසරනයක් සිදුකරනවා. මීට සමගාමීව සමකය ආසන්නයේ ඇති අඩු පීඩන කලාපයට පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධ ගෝලවල ඉහළ අක්ෂාංශ වල සිට වායු ධාරා හෙවත් සුළං ධාරා ගමන් කරනවා. මෙම සුළං ධාරාව වෙළඳ සුළං (Trade winds) ලෙස හඳුන්වයි.

සමකය ඔස්සේ නැගෙනහිර පැසිපික් සාගරයේ දකුණු ඇමෙරිකාව පැත්තේ සිට ඔස්ට්‍රේලියාව දෙසට එන මෙම සුළං ධාරාව සමග සාගරය මතුපිට ජලය ද ඔස්ට්‍රේලියාව දිශාවට ගමන් කරන අතර මේ නිසා දකුණු ඇමෙරිකාව ආසන්න සාගරයේ ගැඹුරේ ඇති සිසිල් ජලය මතු පිටට ගලා එන්නෙ (Upwelling) පතුලේ තිබෙන විවිධ ද්‍රව්‍ය ද සමගින්. මේ ද්‍රව්‍ය හොඳ මත්ස්‍ය ආහාර වන නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව මත්ස්‍ය සම්පත බහුල බැවින් දකුණු ඇමෙරිකාවෙ පේරු, චිලී සහ ඉක්වදෝර් වැනි රටවල් ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලනවා.

වර්ෂ 1560 ගණන්වල දකුණු ඇමෙරිකානු ධීවරයන් නැගෙනහිර පැසිපික් සාගරයේ ඉක්වදෝරය සහ පේරු වෙරළ ආශ්‍රිතව සාගර ජලය උණුසුම් වීමක් නිරීක්ෂණය කළ අතර වැඩිදුර සොයා බැලීමේ දී ඉහත සඳහන් සාමාන්‍ය තත්ත්චයට විරුද්ධව ඔස්ට්‍රේලියාව පැත්තේ සිට දකුණු ඇමෙරිකාව දෙසට උණුසුම් ජල ධාරාවක් එන බව තහවුරු වීම තමයි එල්-නිනෝ සංසිද්ධිය අධ්‍යයනය කිරීමේ මූලාරම්භය වන්නෙ. ඉන්පසු වසර ගණනාවක් තුළ කඩින් කඩ මෙම සිදුවීම ඔවුන් නිරීක්ෂණය කළ අතර සෑම අවස්ථාවකදීම නත්තල් සමය ආසන්නයේ මෙය සිදුවූ බැවින් “නත්තල් පිරිමි ළමයා” (Christ boy$Christ child) යන අර්ථය දෙන ස්පාඤ්ඤ වචනයක් වන එල්-නිනෝ (El-Nino) ලෙස නම්කළා. 1560 ගණන් වලදී පමණ හඳුනාගත් මෙම සංසිද්ධිය පිළිබඳව නාවික දත්ත මගින් ක්‍රමවත් අධ්‍යයනයක් තුළින් 1970 වැනි කාලයේදී එල්-නිනෝ ඇතිවීම පිළිබඳව පිළිගතහැකි මතයක් ඉදිරිපත් කිරීමට විද්‍යාඥයින්ට හැකියාව ලැබුණා.

අද වන විටත් නිවැරදිව හඳුනා නොගත් යම්කිසි හේතුවක් නිසා වෙළෙඳ සුළං ධාරාව දුර්වලවීම හේතුවෙන් දකුණු ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර සමකය ඔස්සේ වූ සාගර තීරයේ සාමාන්‍ය තත්ත්වය බිඳ වැටීමකට ලක්වෙනවා. මේ නිසා සාගරය මතුපිට උණුසුම් ජල ධාරාව දකුණු ඇමෙරිකාව දෙසට ගමන් කරනවා. එවිට ඔස්ට්‍රේලියාව ආශ්‍රිත ප්‍රදේශවලට වඩා දකුණු ඇමෙරිකාව ආශ්‍රිත සාගර ප්‍රදේශ වල උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජලය වාෂ්ප වී ඉහළ යමින් සංවහන ධාරා ඇතිවී හොඳින් වලාකුළු වර්ධනය වෙනවා. මේ අනුව එල්-නිනෝ කාලයේදී පේරු සහ ඉක්වදෝරය වැනි කාන්තාර සහිත ප්‍රදේශවලට අනපේක්ෂිත කුණාටු සහ අධික වර්ෂාපතනයක් ලැබෙනවා. දකුණු ඇමෙරිකාව ආසන්නයේ ඉහළ යන වාතය ඉහළ අහසේ දී ඔස්ට්‍රේලියාව දෙසට ගමන් කර ඒ අසන්නයේ දී පොළව දෙසට පහළට ගලා එන (subsidence) බැවින් ඔස්ට්‍රලෙියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියන් සාගර කලාපයේ වලාකුළු නොසෑදීම නිසා වැසි ලැබීමක් සිදුවන්නේ නැහැ. මෙම තත්ත්වය මාස කිහිපයක් පවතින බැවින් මෙම ප්‍රදේශවලට ප්‍රභල නියඟයක් ඇතිවෙනවා. මේ වනවිට අප අත්දකිමින් සිටින්නේ මෙම තත්ත්වයයි.

දකුණු ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර සාගර තීරයේ සාමාන්‍ය සහ එල්-නිනෝ අවස්ථා වල සාගරයේ සහ වායුගෝලයේ හැසිරීම ( 01 සහ 02- රූප සටහන් අන්තර්ජාලය මගිනි)

ලොව වනසන නත්තල් කොල්ලා

මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි කිරීමට ශ්‍රීමත් ගිල්බ(ර්)ට් වෝකර්(Sir Gilbert Walke) සමත් වුණා. දකුණු පැසිපික් සහ ඉන්දියන් සාගර කලාපවල වසරක් තුළ මුහුදු මට්ටමේ පීඩනය (Sea level atmosphiric pressure) විචලනයේ පැහැදිලි අන්තර් සබඳතාවක් ඔහු විසින් හඳුනාගත්තා. ඉහත කලාප දෙකෙන් ඕනෑම එකක මුහුදු මට්ටමේ පීඩනය වැඩිවන විට ඊට සමගාමීව අනෙක් කලාපයේ මුහුදු මට්ටමේ වායු පීඩනය අඩුවන බවත් එය සී-සෝවක ක්‍රියාව පරිදි සිදුවන බවත් හඳුනාගත් අතර ඔහු විසින් එය දක්ෂිණ දෝලනය (Southern oscillation (SO)) ලෙසත් නම් කළ අතර දක්ෂිණ දෝලනය මගින් එල්-නිනෝ සහ ලා-නිනා ඇතිවීම පැහැදිලි කිරීමට දක්ෂිණ දෝලන දර්ශකය (Southern oscillation index (SOI)) නම් විශේෂිත දර්ශකයක් සකස් කළා. දකුණු ඇමෙරිකාව ආසන්නයේ දකුණ අක්ෂාංශ 17 සහ බටහිර දේශාංශ 150 (17E සහ 150W ) යටතේ ඇති තහිටි (Tahit) නම් ස්ථානයේ වායු පීඩනයෙන් දකුණු අක්ෂාංශ 12 සහ නැගෙනහිර දේශාංශ 130 (12S සහ 130E ) යටතේ ඇති ඩාවින් (Darwin) නම් ස්ථානයේ වායු පීඩනය (මාසයේ වායුපීඩනයන්ගේ මධ්‍ය අගය) අඩු කිරීමෙන් දක්ෂිණ දෝලන දර්ශකය (SOI) ලැබේ. එල්-නිනෝ කාලයකදී තහිටි හි පීඩනය ඩාවින්හි පීඩනයට වඩා අඩු බැවින් SOI අගය සෘණ වේ. සෑම මාසයකදීම අන්තර්ජාලය මගින් SOI ඕනෑම කෙනෙකුටම පහසුවෙන් බැලිය හැක. එසේම සාගර නිනෝ දර්ශකය ( Ocean nino ndex/ONI) ලෙස තවත් ආකාරයකට එල්-නිනෝ ඇතිවීම සැලකිය හැක. එක දිගට මාස පහක් ONI අගය +0.5 ට වඩා වැඩි අගයක පවතීනම් එය එල්නිනෝ තත්ත්වය ඇතිවීමේ මූලික ලක්ෂණය වේ. එසේ නැත්නම් මාස පහකට වැඩි කාලයක් SOI අගය -7 හෝ ඊට අඩු අගයක පැවතීම මගින් එල්-නිනෝ ඇතිවන බව කිව හැක.

එල්-නිනෝ ලොව බොහෝ ප්‍රදේශ වල කාලගුණ/දේශගුණ විපර්යාස වලට සම්බන්ධ වන අතර එහි ගෝලීය බලපෑම ඉතා වැදගත්. නිෂ්චිත කාල පරාසයකදි එල්-නිනෝ අතිවීම නිරීක්ෂනය වී නැති නමුත් එය අවුරුදු 2 සිට 7 දක්වා වෙනස් වෙනවා. නමුත් දළ වශයෙන් අවුරුදු 4කට වරක් එල්-නිනෝ ඇති වන බව විද්‍යාඥයන් සලකයි. දෙසැම්බරයේ ඇතිවන එල්-නිනෝ තත්ත්වය ඊළඟ වසරේ ජුනි- ජූලි පමණ වන විට උපරිමයට එන අතර ඉදිරි මාස කිහිපය තුළ එය ක්‍රමයෙන් අඩුවී යයි.

2023 ජනවාරි සිට ජුලි මස දෙවන සතිය වන තෙක් ගෝලීය දිනපතා උෂ්ණත්වයේ මධ්‍ය අගය රතු පැහැ ප්‍රස්තාරය මගින් දක්වන අතර එල්-නිනෝ නොවන වර්ෂයකදී තිබිය යුතු උෂ්ණත්වය නිල්පැහැ රේඛාවෙන් දැක්වේ. ජනවාරියේ සිට මේ දක්වා ම පැවතිය යුතු උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති බව පැහැදිලිය.

(03 රූප සටහන් අන්තර්ජාලයෙනි)

1979 වසරේ සිට මේ දක්වා ගෝලීය මාසික උෂ්ණත්වයේ මධ්‍ය අගය මෙම සටහනේ දැක්වෙන අතර සාමාන්‍යයෙන් මැයි සිට සැප්තැම්බර් දක්වා උෂ්ණත්වය වැඩි බව පෙනේ (දුඹුරු පැහැය). මේ වසරේ ජුලි මාසය තද දුඹුරු පැහැය මගින් සෙලිසියස් අංශක 17 ඉක්මවා ඇති අතර එය පසුගිය දශක කිහිපයටම වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.

(04 රූප සටහන් අන්තර්ජාලයෙනි)

2000 වසරේ සිට ඒ ඒ වසර වල ජුලි මාසයේ දී වාර්තා වූ ගෝලීය උෂ්ණත්වයේ මධ්‍ය අගයන් සැලකූ විට වගුවේ ඇති අගයන් සැලකිය යුතු තරම් ඉහළ වේ.

ඉහළම අගය 2023 වසරේ ලැබී ඇති බව පැහැදිලි වේ. (2023 ජුලි මස දෙවන සතිය දක්වා දත්ත මගිනි)

(05 රූප සටහන් අන්තර්ජාලයෙනි)

ගෝලීය බලපෑම අනතුරුදායකයි

එල්-නිනෝ මඟින් ඇතිවන ගෝලීය බලපෑම ඉතා අන්තුරුදායක වේ. චිලී සහ ඉක්වදෝරය වැනි රටවලට ලැබෙන අධික වැසි සහ සුලි කුණාටු හේතුවෙන් ජල ගැලීම්, නායයෑම් සහ මේ සමග ඇතිවන මිනිස් සහ වන සත්ත්ව ජීවිත විනාශවීම, වගාබිම් සහ දේපළ හානිවීම, වැසි අවසන් වීමත් සමග ඇතිවන වසංගත රෝග හේතුවෙන් ඉතා අඩු පෝෂණ සහ සෞඛ්‍ය පහසුකම් හමුවේ අන්ත අසරණ භාවයට එම ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට සිදුවේ. මීට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ලෙස ප්‍රබල තාප තරංග (heat waves) සහිත උණුසුම් කාලසීමාවක් ඇතිවන ඔස්ට්‍රේලියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ඉහළ උණුසුම් තත්ත්ව සමඟ ලැව්ගිනි ඇතිවීමට විශාල හැකියාවක් පවතී. එසේම මෙම කාලසීමාවේදී ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියන් සාගර කලාපයේ ද තත්ත්වය යහපත් නොවන්නේ ඇතිවන නියඟය හේතුවෙන් උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණදීමට මිනිසාට මෙන්ම වන ජීවීන්ට ද සිදුවන බැවිනි. මෙම දීර්ඝ කාලය තුළදී දකුණු ඇමෙරිකානු සමක ආසන්න සාගර කලාපයේ මත්ස්‍ය අස්වැන්න ඉතා අඩුවීමත් සමග මසුන් මත යැපෙන පක්ෂීන් ඉතා විශාල ලෙස මිය යන අතර මෙය ජෛවවිවිධත්වයට වැදෙන මරු පහරකි. එසේම මේ වනවිට ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමග ධ්‍රැව ප්‍රදේශවල පෙන්ගුවින් සත්වයන් මිය යෑමට පටන්ගෙන අති බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම

එල්-නිනෝ මගින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම ගත් විට මිනිස් සිරුරේ පැවැත්මට රුධිරය අවශ්‍ය වන්නා සේම කෘෂි ආර්ථිකයක් ඇති අපේ රටෙහි පැවැත්ම ගෙන යන්නේ මෝසම් වර්ෂාවන් බැවින් මෝසම් වර්ෂාව අඩු වී බෝග වගා විනාශ වීම, අස්වැන්න අඩුවීම, ආහාර මිල ඉහළ යෑම, කෘෂි ආදායම අඩුවීම, ජල මූලාශ්‍ර සිඳී යාම, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලු, ජල විදුලිය නිපදවිය නොහැකිවීම ආදිය ප්‍රමුඛ වේ. උග්‍ර ආර්ථික අර්බුධයක් හමුවේ සිටින අපට මෙම තත්ත්වයට මුහුණදීම ඉතා අසීරු බව අමුතුවෙන් කිවයුතු නැත. අප රට තුළ ස්වභාවික ලැව්ගිනි ඇති නොවන තරම් වුවත් සමහර මිනිසුන්ගේ වගකීම් විරහිත අමන ක්‍රියා හෙතුවෙන් සාරවත් රක්ෂිත වනාන්තර කිහිපයක අක්කර විශාල ප්‍රමාණයක් ගින්නට බිලිවූ බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. එසේම පරිසර උෂ්ණත්වය ඉහළ අගයක පැවතීම මෙන්ම සිරුරට දැනෙන උෂ්ණත්වය අනතුරුදායක සීමාවට පැමිණ තිබීම පිළිබඳව විශේෂයෙන්ම කුඩා ළමුන්, වැඩිහිටියන් මෙන්ම විවිධ රෝග වලින් පෙළෙන අය දැඩි අවධානයක් යොමු කළ යුතුය.

වගකිව යුතු ජනතාවක් වශයෙන් මෙම කාල සීමාවේ දී ගැටලු අවම කර ගැනීම සඳහා හොඳින් ජලය පානය කරන්න, ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින්න, දිනපතා ස්නානය මගින් සිරුර සිසිල් කරන්න, උග්‍ර ජල හිඟයක් පවතින බැවින් අරපරිස්සමෙන් ජලය භාවිත කරන්න, අපතේ නොහරින්න, පිරිසිදු භාජනවල ජලය රැස්කර තබා ගන්න, විදුලිය නිපැයුමට ජලය අවම කිරීම සඳහා නිවසේ සහ කාර්යාලයේ අනවශ්‍ය විදුලි පහන් සහ විදුලි උපකරණ ක්‍රියා කිරීම අවම කරන්න, එළිමහනේ දී හිරු කිරණින් ආරක්ෂා වීමට සුදුසු ආලේපන හෝ සුදුසු ක්‍රමයක් යොදන්න, යම් ශාරීරික අපහසුවක් දැනේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

මෙම කාලසීමාවේදී නොකළ යුතු දේවල් ලෙස කය වෙහෙසෙන ක්‍රියා සිදු කිරීම අවම කරන්න, විස්වාසයක් නොමැති ජල මූලාශ්‍ර වලින් ජලය පානය නොකරන්න, විශේෂයෙන් උදෑසන 10 සිට සවස හතර අතර කාලයේදී හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කරන්න, අපහසුතා ඇතිවූ විට නිසි වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීමෙන් වළකින්න, මද්‍යසාර සහ කෝපි වැනි පානයන් හැකිතාක් අවම කරන්න.

මේ වන විට විදුලිය උත්පාදනයට මෙන්ම වගා කටයුතු සඳහා භාවිතයට ගත හැකි ජලාශ අඩියටම අවසන්ව අති බවත් එසේම වගා බිම් අක්කර හැටදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් එම අගය තවත් වැඩි විය හැකි බවත් මාධ්‍ය මගින් නිරතුරුව අසන්නට ලැබේ. ඉදිරි මාස දෙකක පමණ කාලයේ දී මෙම එල්-නිනෝ තත්ත්වය ක්‍රමයෙන් පහ වුවත් සිදුවූ හානිය බරපතළ බව ඉතා පැහැදිලි කරුණකි. “මෙවන් තත්වයකට මුහුණ දීමට මූලික ක්‍රමවේදයක් තිබුණා ද?” යන්න පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීම හෝ එකිනෙකාට චෝදනා කර ගැනීමට වඩා අනාගතයේ ඇතිවන මෙවන් තත්ත්වයකට මුහුණදීමට ක්‍රමවත් සහ ඵලදායි ක්‍රමවේදයක් සකස් කිරීමට කතිකාවතක් ආර්ම්භ කළ යුතු බව දැන්වත් අවධාරණය කළ යුතුය.

අසීරු අවස්ථාව අවසන් වන තෙක් “අපි වෙනුවන් අපි”සංකල්පය මූලික කර ආරක්ෂා වීමට වගකිවයුතු ජනතාවක් ලෙස උපරිමයෙන් උත්සාහ කරමු!

කාලගුණ විද්‍යාඥ
චමින්ද ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment