එජාපයේ බලගතුම සන්ධානය තව සති දෙකකින් අරඹනවා

77

එජාපයේ ජාතික ලේකම් රවි කරුණානායක

එජාපය එක්වන බලගතුම සන්ධානය තව සති දෙකකින් අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් ධුරයට පත්වූ හිටපු ඇමති රවි කරුණානායක පවසයි.

එමෙන්ම නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කරගන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවි කරුණානායක මහතා විශ්වාසය පළ කරයි.

එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ අදහස් පළ කළේ, කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මාව පක්ෂයේ ජාතික ලේකම් ලෙස පත් කළා. එක්සත් ජාතික පක්ෂයට නැවත පුනර්ජීවය ලබා දී එක්සත් ජාතික පක්ෂය නඟාසිටුවිය යුත්තේ රට ජනතාව වෙනුවෙනුයි.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර තබා තිබෙනවා. ඒ පනත රටට ජනතාවට සුභවාදී පනතක් බව කිව යුතුයි. මේ හරහා ණය ප්‍රමාණය සහ ජීවන වියදම සීමා වේවි.

විපක්ෂය කරන්නේ ජනපතිවරයා විවේචනය කරමින් බිල්ලෝ මැවීමයි. කෙසේ නමුත් ඔවුන් රට ගොඩනඟන කරුණු කාරණා සම්බන්ධයෙන් විවාදවලට සූදානම් නැහැ. විවාදවලින් පැන යනවා. අප ප්‍රශ්න කරන්නේ විවාදයට එන්න බිය ඇයි කියලයි. විවාදවලට බියේ හැංගිලා සිටින්නේ ඇයි? විවාදයෙන් පැනලා ගියේ අදක්ෂ නිසයි. මම නම් කියන්නේ මේ විවාදයට රනිල් වික්‍රමසිංහත් කැඳවිය යුතුයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියන්නේ බොරුවක් බව කිව යුතුයි. රට බංකොලොත් භාවයෙන් මුදාගන්න අපට හැකියාව තිබෙනවා. අප සියලුදෙනා එකට ඒකරාශී වී රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නිහඬව තිබූ ඡන්ද සියල්ල සක්‍රීය වෙලා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95ක් පමණ ගන්න හැකියාව පවතිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment