මාලිමාව පෙළපාලියක් ආවේ නැත්තේ සටන් පාඨ නැති නිසයි – දුමින්ද නාගමුව
පෙරටුගාමී මැයි දින රැලිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව සහ ඉන්දියාවේ උවමනාව අනුව ආණ්ඩුව රටට අහිතකර ගිවිසුම්වලට යන බවත් රනිල් වික්‍රමසිංහ ගමන් කළේත් එවැනිම පාරක බවත් රනිල්ගේම පාරේ යෑමට ආණ්ඩුවට තවදුරටත් කල්දිය යුතු නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. 2022 වසරේ අරගලයේදී ජනතාව මැදිහත් වූවාක් මෙන් පාර්ලිමේන්තුවෙන් එළියේ බලයක් ගොඩනැඟීමට ජනතාව පෙළ ගැසිය යුතු යැයිද, ඒ සඳහා සිය පක්ෂ නායකත්වය දෙන්නේ යැයි ද ඒ මහතා කීවේය.
139 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් එම පක්ෂය කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී ඊයේ (1දා) පැවැත්වූ ජන හමුවේදී ගුණරත්නම් මහතා මේ අදහස් පළ කළේය. අයි.එම්.එෆ්. මර උගුලට ඉන්දියානු විජිතකරණයට එරෙහිව එළියේ බලයක්’ යන්න එහි තේමාව විය.
ජනරැලිය පස්වරු තුනට ආරම්භ වුණි.
මීට අදාළ පෙළපාලිය දහවල් එකට තිඹිරිගස්යාය බී.ආර්.සී. පිටියෙන් ආරම්භ වී ක්‍රීඩාපිටිය දක්වා ගමන් කළේය. පසුව සවස තුනට රැලිය ඇරැඹිණි.
එහිදී තවදුරටත් කතා කළ කුමාර් ගුණරත්නම් මහතා මෙසේ ද කීවේය.
එදා අරගලයේ වාසිය ජාතික ජනබලයවේග ආණ්ඩුවක් ගොඩනැඟීමේදී වාසියක් වුණා. තාමත් රටේ ජනතාව මේ ආණ්ඩුව ගැන බලාපොරොත්තු දල්වාගෙන ඉන්නවා. ඒත් මෙයාලා යන්නෙ පරණ අය ගිය පාරෙමයි.
ඉන්දියාවත් එක්ක යුද ගිවිසුම්වලට යන එක අතිශය බරපතළයි. සෞඛ්‍ය බලශක්තියේ ආදී ගිවිසුම් වුණත් එච්චරයි. හැබැයි අනුර කුමාරගේ ආණ්ඩුව එහෙම ගිවිසුම් ගැහුවා. එදා එවැනි ගිවිසුම්වලට විරුද්ධ වුණේ ජවිපෙ. ඒ ජවිපෙ ය ලව්වම ගිවිසුම් ගස්සලා මෝදි ඌරගේ මාළු ඌරගේ ඇඟේම තියලා කැපුවා. මේ ආණ්ඩුවට අපි මෙහෙම විවේචන ගෙන එද්දී තිබුණ ආණ්ඩුවල අය චූන් වෙන්න දෙයක් නෑ. එයාලා අවුරුදු හැත්ත ගාණක් කළේ මේ පාවාදීම. රනිල්ට සජිත්ලට නාමල්ලට දුකයි. මොකද එයාලා ගහන්න හිටපු ගිවිසුම් තමයි මාලිමා ආණ්ඩුව ගැහුවේ. එහෙම නැතුව ඒ ගිවිසුම් ගැන විවේචනයක් ඒගොල්ලන්ට නෑ. එනිසා විපක්ෂය මාලිමා ආණ්ඩුවට කරන එකම විවේචනය මේක බොරු කියන ආණ්ඩුවක් කියලා විතරයි.
පරණ ආණ්ඩුයි මාලිමා ආණ්ඩුවයි අතර කිසි වෙනසක් නෑ. රනිල් හදලා දීපු පාරේ මෙයාලා යනවා. දේශපාලනයේ කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් මෝදිලා ට්‍රම්ලා ඉස්සරහ දණ ගහන පාලනය. අනික සමාජවාදී ක්‍රමයක්. අපි යන්නේ සමාජවාදී පාරේ.
මෙහිදී කතා කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මෙසේ පැවසීය.
සජිත් ප්‍රේමදාස තලවකැලේට පල්ලම් බැහැලා. ඒකෙත් මිනිස්සු නැඟිට නැඟිට යනවලු. පොහොට්ටුව නුගේගොඩ පොඩි හට් එකක් දාගෙනලු. මාලිමාවත් පෙළපාලියක් තිබ්බේ නෑ. පෙළපාලියක් තියන්නෙ නැතුව ඇත්තේ සටන් පාඨ හදන්න වෙන හින්දා වෙන්න ඇති?.
අපි හැදුවා ඒගොල්ලන්ට සටන් පාඨ
මෝදි අයියේ අපි ආවා –
ගෝල්ෆේස් අපි ආවා
ඉන්දියානු එම්බසියත්
වැඳන් පුදන් අපි යනවා
ඔය වගේ සටන් පාඨ තමයි කියන්න වෙන්නෙ මාලිමාව පෙළපාලි ආවනම්.
මෝදි පහුගිය 5 වෙනිදා ලංකාවට ඇවිත් ගිවිසුම් 7ක් අත්සන් කළා. ඒ ගිවිසුම්වල තියෙන්නේ මොනවද ? අපේ රටේ බලශක්ති අයිතිය ඉන්දියාවට පවරන යෝජනා. ජාත්‍යන්තර යුද්ධයක ලංකාව පැටලෙන යෝජනා.
පාර්ලිමේන්තුවේ විපක්ෂය මේ ජනතාද්‍රෝහී වැඩපිළිවෙළ ගැන වචනයක් කතා කරන්නෑ. අද විපක්ෂය දියවෙලා ගිහිල්ලා. ජන බලයක් නෑ. අනුරගේ බොත්තමයි නුවර වැව වටේ චූ ගඳයි ගැන තමයි විපක්ෂය කතා කරන්නේ. මේ වගේ මොන්ටිසෝරි විවේචන හැරුණාම විපක්ෂයට ප්‍රතිපත්තියමය විවේචනයක් නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ ජනතාවගේ බලයක් අවශ්‍යයි කියලා.
මෙහිදී කතා කළ ලහිරු වීරසේකර මහතා මෙසේ කීවේය –
මේ රටේ විදුලි බිල වැඩි කරන්න කියලා අයිඑම්එෆ් එකෙන් ආයෙ කියනවා. ගිය සැරේ පාර්ලිමේන්තුවේදී කියෙව්වේ අයිඑම්එෆ් එකෙන් හදලා දීපු අයවැය. වමේ කියලා ආපු මාලිමා ආණ්ඩුව පෙනී ඉන්නේ ධනපතියන් වෙනුවෙන්. හාල් ප්‍රශ්නෙ හිටියේ ඩඩ්ලිලා එක්ක. හුළංගමුවලා නන්දලාල්ලා ඉන්න ආණ්ඩුවෙන් ජනතාවට මොන සාධාරණයක්ද.
ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ගැහුවේ රට පාවා දෙන ගිවිසුම්. මේව ආපිට හරවන්න පුළුවන් බලය තියෙන්නේ දියවන්නාවෙන් එළියෙ. ඒක මේ රටේ ජනතාව ගෝඨාභයගේ කාලයේදී පෙන්නුවා. වැඩ කරන ජනතාවගේ නිදහසට නමක් තියෙනවා. ඒ තමයි කොමියුනිස්ට්වාදය. සමාජවාදීන් ගොඩනැඟෙන කොමියුනිස්ට්වාදය දිනේවා.
මෙහිදී කතා කළ ගොවි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු විමල් වත්තුහේවා මහතා –
ක්‍රම වෙනසකට මේ රටේ ජනතාව ආණ්ඩුවක් හැදුවා. ඒත් මෙයාලා යන්නෙත් පරණ අයගේ විදිහටමයි. මේ රටේ හාල්, පොල්, ලුණු ප්‍රශ්න ආවා. ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහන ප්‍රශ්න ආවා. හැබැයි මේ ආණ්ඩුව ඒ ප්‍රශ්න ඔක්කොම විසඳුවේ පරණ අයගෙ ක්‍රමයට. ගොවීන්ගෙන් සීයට දහයකටවත් පොහොර සහනාධාරයට අදාළ මුදල් තාම දාලා නෑ. දැන් නාමල් කරුණාරත්න කියනවා පොහොර සහනාධාරය වෙනුවට මුදල් දෙන ක්‍රමයක් හදනවලු. පොහොර සහනාධාරය කපන්න ගත්තේ රනිල්ගේ කාලේ. ඒ 2017දී. එදා ඒකෙදි සල්ලි එපා පොහොර දියව් කියලා ඉදිරියෙන්ම කෑගහපු නාමල් කරුණාරත්න අද රනිල්ටත් ඉස්සරහට ගිහිල්ල පොහොර සහනාධාරය අහෝසි කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම රටේ ගොවියගේ ඉඩම් බහුජාතික සමාගම්වලට දෙන්න මේ ආණ්ඩුව වැඩ කරනවා. ගොවියාගේ ගෙදරම තියලා ඉඩම සමාගම්වලට උගස් කරන කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තමයි මාලිමා ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. අපි ඒක පරාජය කරනවා.
එහිදී කතා කළ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සංවිධායක ලේකම් හේමමාලි අබේරත්න මහත්මිය –
අද වෙද්දි මිලියන 900කට වැඩි කාන්තා ශ්‍රමිකයෝ ලෝකේ ඉන්නවා. අඩු අයිතිවාසිකම් යටතේ අඩු වැටුපට මේගොල්ලෝ සේවය කරන්නේ. ලෝකේ බිලියන 16ක් කාන්තාවෝ නිවෙස්වල ගෘහණියන් විදිහට තමනගේ ශ්‍රමය හෙළනවා. ඒ ලෝක ආර්ථිකයෙන් 40%ක ප්‍රමාණයක්. හැබැයි ඔවුන් ඒ වැඩ කරන්නේ වැටුපට නෙවෙයි. සමහරවිට කාන්තාවෝ රාත්‍රී වැඩ මුර කරන. ඔවුන් බහුතරයක් කිරි දෙන අම්මලා. අද වෙද්දී ඒ දරුවන්ගෙත් ජීවිත අවදානමට වැටිලා. අදටත් පාලකයන්ට සැලසුමක් නෑ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ගැන.
අනුරාධ හිරිපිටියගේ